බෙම් ගං මෝයේ තනිවුණු පංචකප දූව



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-07-06-ent-06

බෙම් ගඟ මුහුද වැළඳ ගන්නේ බෙන්තොටිනි. නිරතුරු රළ බිඳෙන සප්ත මහා සාගරයේ ලූණු රසැති ජලය සමග ගඟ දිය මුසුවන තැන, පුංචි දූවක් පෙනේ.

අඩි සියයක් තරම් උසට පෙනෙන මේ දූව අඩුම තරමින් අක්කර පහක් වත් ඇතැයි සිතෙයි.

තුන් පැත්තකින් මුහුදෙන් ද ඉතිරි පැත්ත ගෙඟන් ද මායිම්වූ මේ දූවේ ඉහළම ස්ථානයක ලෙලදෙන්නේ බෞද්ධ ධජයකි. එනිසාම බොදුනුවන්ගේ පිංබිමක් බවට ඉඟිකෙරෙන මේ සුන්දර පුංචි දූව දෙස බලමින් බෝට්ටු එහා මෙහා ගමන් කරන හැටි පෙනෙයි.2018-07-06-ent-20

සෙනරත් සුබසිංහ මහතාත් මමත් අපේ ඇබාත් සිටින්නේ බෙම් ගඟ ඉවුරේය. ගඟ ඉවුරේ පිිහිටි සිරි රේවත ධම්ම නිකේතන විහාරස්ථානයේය. මෙම දූව අයත් වන්නේද මෙකී විහාරයටමය.

‘මහත්තයලා ගිහින් දූපත බලලා එන්න.’

විහාරාධිපති වලල්ලාවිට සාරානන්ද හාමුදුරුවෝ සිනාමුසුව පවසති.

ඒ එක්කම විහාරස්ථානයේ වාසය කරන සඳුන්, අපව ගෙඟන් එතෙර කරනු පිණිස පැමිණියේය.

ගඟ ඉවුරේ තැනූ පුංචි ලී ජැටියකි. එතැනම බෝට්ටුවක් නතර කර තිබේ. ඒ මේ පන්සලට අයත් බෝට්ටුවක් බැවින් මොහොතකින් අප ගෙඟ් අනෙක් ඉවුරේ පිහිටි වෙරළ කරා රැුගෙන යනු ලැබිණි. බෝට්ටුව වෙරළේ සුදු වැලි මත නතර කෙරිණි. අපි බෝට්ටුවෙන් වෙරළට බහින විට දිය රැුල්ලක් පැමිණ අපේ දෙපා දොවන්නට උත්සාහ ගත්තේය.

ගඟ වැල්ලට දෙපා තැබූ අප ඊළඟට අර දූවේ ඉහළට නගින්නට වීමු. ඒ සඳහා ගලින් තැනූ පඩිපෙළක් විය.

‘ඉස්සර මේ පන්සලේ හිටපු හාමුදුරු කෙනෙක් තමයි මේ ගල් පඩි බැන්දෙ. ඒ හාමුදුරුවො කඩියෙක් වගේ. සිමෙන්ති කොට්ටයක් වුණත් උස්සගෙන යන්න පුළුවනි.’

අපේ මග පෙන්වන්නා වූ සෙනරත් සුබසිංහ මහතා විස්තර කළේය. ඔහු වූ කලී මේ පන්සල සමග දීර්ඝ කාලීන සම්බන්ධතා ඇති උපාසක මහත්තයෙකි.

ගල් පඩිපෙළ දිගේ ඉහළට ගිය අපට පෙනුණේ පාවහන් ගලවා ඇතුළුවන්න යන පුවරුවයි. හැබැයි එය තිබුණේ ඉංග‍්‍රීසි බසිනි.

මේ බොදු පුද බිමේ දේශ සීමාවයි. ලංකාවේ කුමන පන්සලකට ගියත් සෙරෙප්පු මෙන්ම හිස් වැසුම් ද ඉවත් කළ යුතුය.

ඉන් ඔබ්බෙහි පුංචි ගොඩනැගිල්ලකි. ඒ අවට පිරිසුදු සුදු වැලි සහිත මිදුලකි. ඒ මිදුල කෙළවර පොකුණකි.

මම මොහොතකට ඒ පොකුණ දෙස බලාසිටියෙමි. පොකුණ අසලම වූ ගසෙන් වැටුණු කොළද ගෙඩිද මල්ද පොකුණු දිය යටට කිමිදී තිබේ. මේ එක ගෙඩියක් කදුරු ගෙඩියක් තරම් ලොකුය. මල තනිකරම රේණු ගොඩකි. ගසේ කොළ අඩියක් තරම් දිග අඟල් හතරක් තරම් පළලය.

‘මේ ගහ මොකක්ද?’

මම සඳුන්ගෙන් අසමි.

‘මූදිල්ලා ගහක්’

මූදිල්ලා යනු මත්ස්‍ය විශේෂයකි. එහෙත් මේ බෙංගඟ මෝයේ දූවට මූදිල්ලා යනු ශාඛ විශේෂයකි.

මම මොහොතකට ගස යටින් ඉඳ ගතිමි. ගහත් මුහුදත් සිප වැළඳ ගෙන හමාඑන සුළඟ ගතට සුවදායකය.

ඊට ඔබ්බෙන් වූයේ පැරැුණි ගොඩනැගිල්ලකි. එය බුදුගෙය බව සුබසිංහ මහතා පවසයි. අපි බුදුගෙයටත් යළි පැමිණ චෛත්‍යය හා බෝධීන් වහන්සේ වෙතටත් වන්දනාවේ ගියෙමු. චෛත්‍යය හා බෝධීන් වහන්සේ වැඩසිටින්නේ දූපතේ අනෙක් පැත්තේය. විස්තර ඇතිව පවසන්නේ නම් ගඟ පැත්තේය. මේ වන්දනාවට යායුත්තේ අඩි දෙකක් තරම් පළල වැලි ඇතිරූ සක්මන් පාරක් ඔස්සේය. ඉන් ඔබ්බෙහි මුළු දූපතම වන පෙතකි. විවිධ ගස්වලින්ද මීවන සහ වෙනත් මල් පිපෙන ගස් විශේෂයකින්ද දූපත වැසී තිබේ.

බෝධියක් චෛත්‍යයක් පෙනෙන මානයේ ගල් ආසන සහිත බිම් කඩකි. ඒ භාවනා කරන ස්ථානයක්ලූ.

‘මේක සර්ප විමානයක් වෙන්න ඇති.’

මම කියමි.

‘නෑ කිසිම සර්පයෙක් නෑ. මේකෙ ඉන්න කබරගොයි සර්පයන්ට ජීවත් වෙන්න ඉඩ තියන්නෙ නැහැ.’ සඳුන් කීවේය.

අපි යළිත් බුදු මැදුර අද්දරින් මුහුද දෙසට ගියෙමු. උසැති දුනුකෙයියා ගස් අතරින් වැටුණු අඩි පාර කෙළවර වූයේ ගල් පව්වකි.

ඊට ඔබ්බෙන් රළ බිඳෙන මුහුදයි.

මම ගල් පරයක වාඩිවී අඬන වැළපෙන මුහුද දෙස බලාසිටියෙමි. මීටර් සීයකට පමණ දුරින් වෙරළේ රළ පාගන සංචාරක කාන්තාවක් පෙනෙයි. වෙරළ දිගේ දිව යන ඇය මුහුදු දියේ කිමිදි කිමිදී ස්නානය කරයි.

ඇයම පමණි.

බැරි වෙලාවත් ඇය රැුල්ලකට ගසාගෙන ගියහොත් යැයි මසිත බියපත් විය.

හැබැයි ඊට ඔබ්බෙන් වෙරළ තීරය සංචාරක හෝටල්වලින් පිරී ගොස්ය. එනිසා අර කාන්තාවට කරදරයක් නොවනු ඇත.

යළිදු කන්දෙන් බැසගත් අපි ගඟ දෙසට නොයා මුහුද දෙසට ගියෙමු. දුරින් පෙනෙන්නේ පැරෂුටයක් සහිත මෝටර් සයිකලයකි. එය වෙරළ දිගේ දිවගොස් අහසට නැගී නොපෙනී ගියේය.

අපූරුය.

බොහෝ සංචාරකයෝ මෙවැනි යතුරුපැදියක නැගී අහසේ පියාඹන්නට මනාපය දක්වනවා විය යුතුය.

ඉදිරියෙන් පෙනෙන වෙරළේ මේ ක‍්‍රියාකාරකමට ලොල්වූ සංචාරක පිරිස් ගුවන්ගත වන්නට මග බලාහිඳිති.

පැයක් පමණ ගතකර අපි ආපසු බෝට්ටුවට නැග්ගෙමු. ඒ ආපසු ගෙඟන් එතෙරව ගොඩබිමට යන්නටය.

ඊට පෙර මේ දූපතේ නම පැවසිය යුතුය.

පංචකප දූව.

මේ නමේ තේරුම තමා කප පහක් යනතුරු මේ දූපත පවතිනවා කියන එක. පූජාවලියෙ පවා මේ දූව ගැන සඳහන්.

හාමුදුරුවෝ පැවසූ කරුණු මම ඔබට ද කියමි.

 

ශාන්ත කුමාර විතාන

සේයාරූ - ඇලෙක්සැන්ඩර් බාලසූරිය

 

 2018-07-06-ent-07 2018-07-06-ent-09 2018-07-06-ent-10 2018-07-06-ent-11 2018-07-06-ent-12 2018-07-06-ent-13 2018-07-06-ent-14 2018-07-06-ent-15 2018-07-06-ent-17 2018-07-06-ent-18 2018-07-06-ent-19