බුදු රැස් දහරින් ගත සිත සනසන පුදබිම 'නෙල්ලිගල'
අදින් ආරම්භ වන්නේ ඇසළ මාසයයි. ඇසළ මාසය ආරම්භ වූ සැණින් අපගේ සිත දිව යන්නේ ඓතිහාසික සෙංකඩගල පුරවරය වෙතය. ඒ බුදුන්ගේ මුදුන් මල්කඩ බඳු ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂිකව පවත්වන්නා වූ පෙරහර මංගල්‍යය නිසාවෙනි. ඇසළ පොහෝ දිනයෙන් ඇරඹෙන මෙම මංගල්‍යය නිකිණි මස පවත්වනු ලබන රන්දෝලි පෙරහර දක්වා දිවයයි. එම කාලසීමාව තුළ දී ශ්‍රී දළදා මාලිගාව වන්දනාමාන කිරීමට බැතිමතුන් ලක්ෂ ගණනින් මහනුවර නගරය වෙත පැමිණෙති.
සෙන්කඩගල පුරවරයේ වන්දනා ගමනක් හෝ සංචාරයක නිරතවන බැතිමතුන්, සංචාරකයන් මෙතෙක් කලක් ගත සිත පුබුදුවා ගැනීම සඳහා ගොඩවැදුනේ ගඩොලාදෙණිය විහාරය, ඇම්බැක්කේ දේවාලය සහ ලංකාතිලක විහාරය, කන්දේ විහාරය වෙතය. එමෙන්ම විනෝදවීම සඳහා පේරාදෙණිය මල්වත්තට පිවිසෙයි.
එහෙත් මහනුවර නගරය අවට අපට ගත සිත එක ලෙස පුබුදුවා ගත හැකි ස්ථාන රාශියක් තිබේ. %තරුණයා^ පුවත්පත් සංචාරක කණ්ඩායම සෑම විටම උත්සාහ ගන්නේ අපගේ පුංචි දිවයින තුළ පිහිටා තිබෙන ඇස නොගැටෙන ස්ථාන වෙත ගමන්කර ඒ පිළිබඳ තොරතුරු සාධක ඔබට ලබාදීමටය. ඒ අනුව මෙවරද අපි එවන් වූ සොඳුරු ඉසව්වන් වෙත ගමන් කළෙමු.
ලක්දිව රාජධානි ඉතිහාසය පිරිස්සීමේ දී අවසාන රාජධානිය ලෙස හැඳින් වෙන්නේ මහනුවර රාජධානියය. විවිධ සස්කෘතික අංශයන්ට ආකරයක් වූ මහනුවර නගරය ලෝක උරුම නගරයක් ලෙසද නම්කර ඇත. මහනුවර සේම යටිනුවර ප්‍ර‘දේශයද බොහෝ ඉතිහාස කතාවන්ට පාදක වූ ප්‍ර‘දේශයකි. මෙවර අපගේ ගමනාන්තය වූයේ යටිනුවර නගරයට ඔබ්බෙන් පිහිටි පිළිමතලාව නගරයට ආසන්නව පිහිටි නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයයි.
නෙල්ලිගල පිම් බිම වෙත ප්‍රධාන මාර්ග රැසක් ඔස්සේ පිවිසීමට හැකිය. අප කොළඹ-නුවර මාර්ගයේ මහනුවර දෙසට බස් රථයකින් ගමන් කර පිළිමතලාව නගරය පසු වෙනවාත් සමග හමුවන පොල්ගහමුල හන්දියෙන් බැස එතැන් සිට වම් අත දෙසට දිවෙන මාර්ගයේ මුරුතලාව ගම්මානය පසුකර කිලෝ මීටර් 07ක් දුර ගෙවා කොම්බෑකඩුව ගම්මානයේ නෙල්ලිගල පර්වත මස්තකයේ පිහිටා තිබෙන මෙම බෞද්ධ මධ්‍යස්ථානය වෙත අපි ළඟා වුණෙමු.
මීට වසර 2 ½ ට පෙර මෙය බෞද්ධ ජනතාවට වන්දනාමාන කිරීමට හැකි ස්ථානයක් ලෙස ගොඩනැගීමට මෙහි නිර්මාතෘ වතුර බුබුලේ ධම්මරත්න හිමියන් කටයුතු කර ඇත.
පාරිසරික වශයෙන් ගත් කළ මධ්‍යම කඳුකරය නම් මාතාවගේ කරුණාව, දයාව නමැති හද මඩල ලෙස අපට මෙම ඉසව්ව හඳුන්වාදිය හැකිය. පසෙකින් ඓතිහාසික හන්තාන කඳු වැටියත්, පසෙකින් හුන්නස්ගිරි කඳු රාජයා පෙරටුකොට ගත් නකල්ස් කඳු වැටියත්, අනෙක් පසින් මාතර පිහිටි අලුදෙණිය කඳුවැටියත්, ඒ වගේම කුරුණෑගල ප්‍ර‘දේශයේ ආදාගල, අලගල්ල, බතලේගල, රාමසර කන්ද සහ ගම්පොළ පිහිටි අම්බුලුවාව, ශ්‍රී පාද පද්මය පිහිටි සමනල කඳු මුදුනත්, පිදුරුතලාගලත්, මෙම ස්ථානයට ඉතා සුපැහැදිලිව දර්ශනය වේ.
නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය යනු තවත් එක් නාම මාත්‍රික බෞද්ධ මධ්‍යස්ථානයක් පමණක් නොව, ගෙවුණු දෙවසර පුරාවට අතිශය භලදායී හා සාර්ථක ඉදිකිරීම් හා වැඩසටහන් රාශියක් සිදුකළ මෑත යුගයේ ශීඝ්‍ර‘යෙන්ම දියුණු වූ මධ්‍යස්ථානයකි. සංචාරක දෙපාර්තමේන්තුවේ විශේෂ සොයා බැලීමකට අනුව මෑත යුගයේ දෙස්-විදෙස් සංචාරකයන්ගේ අතිශය ජනප්‍රියත්වයට පත්වූ මධ්‍යම පළාතේ සුප්‍රසිද්ධම ස්ථානය නෙල්ලිගග ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයයි.
මෙම මධ්‍යස්ථානය හේතු කිහිපයක් නිසා විශේෂත්වයක් උසුලයි. විශේෂයෙන්ම මෙහි පිහිටීම අතිශය නෙත් කළුය. සිත් කළුය. මනරම්ය. ඒ මධ්‍යම පළාත, බස්නාහිර පළාත, වයඹ පළාත සහ සබරගමු පළාත යන දිවයිනේ පළාත් කිහිපයකම පිහිටි මනරම් කඳු පන්තිවලින් වට වූ හරිත උයනක් බඳු සුන්දර ස්ථානයක් නිසත්, බොහෝ කුරුලු කෙබෙයියන්ට පාරාදීසයක් වන නිසාත්ය. එසේම මධ්‍යම පළාතේ ආගමික ස්ථාන අතර නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය සුවිශේෂී වන්නේ බුදු රජාණන් වහන්සේගේ කේෂ ධාතූන් වහන්සේලා සහ ශ්‍රාවක මහරහත් ධාතූන් වහන්සේලා තැන්පත් කොට අඩි 75ක් උසට ගොඩනගා ඇති ශාක්‍ය සිංහ මහ සෑ නම් වූ චෛත්‍ය රාජයානන් වහන්සේත්, සුවිශාලතම ධර්ම ශාලාවක් වන සුභාරතී ධම්සභා මණ්ඩපය ප්‍රධාන විහාරස්ථානයකට අවශ්‍ය සියලු අංගයන්ගේ සම්පූර්ණ නිසාවෙනි.
එසේම ස්වාධීනව අනුන් පාගා නැගිටීමට එම ආයතනයේ දැක්ම නොවන අතර, අසල්වාසී විහාරස්ථාන, දහම්පාසල් සහ සමාජ සුබ සාධන සංගම් වෙත ද්‍රව්‍ය හා ධන පරිත්‍යාගයන් ලබාදෙමින් ඔවුන්ටද ශක්තියක් වෙමින් මේ සුළු කාලයේ ඔවුන් කටයුතු කොට ඇත. තවද බෞද්ධ මධ්‍යස්ථානයක් වශයෙන් මිනිසුන්ගේ දෙලොව සුබ සිද්ධිය හා ඒකායන පරමාර්ථය සපල කර දෙනු වස් විවිධ වැඩසටහන් නිරන්තරයෙන් සිදුකිරීමට කළමනාකාරීත්වය කටයුතු කර ඇත. ඒ අනුව දහසකට අධික සංඛ්‍යාවක් සම්බන්ධ වන මාසික සීල භාවනා වැඩසටහන, ශ්‍රී ලංකාවේ සතර කොනින් පැමිණි 50000කට අධික මහජන සන්නිපාතයක් ලෙස සම්බන්ධ වන ජාතික දහස්පතියා මල් පූජාව, සුවිශේෂී චෛත්‍ය වන්දනා හා පොහෝ දින වැඩසටහන් මෙහිදී සඳහන් කළ හැක. එසේම සෑම පොහෝ දිනකම ලක්ෂයකට අධික පිරිසක් එම මධ්‍යස්ථානයට පැමිණෙන්නේ බොහෝ දුර බැහැර සිටය.
ආයතනයක් වශයෙන් සමාජයේ සුබ සාධනය සඳහා ඔවුන් නිරන්තයෙක් කැප වෙයි. ඒ සඳහා ශාක්‍ය සිංහ සත්කාර පදනම නමින් සුබ සාධන සේවාවක්ද ආරම්භ කර ඇති අතර, එමගින් ප්‍ර‘දේශයේ බොහෝ දෙනෙක් වෙත සහනශිලී දෑත් දිගුකර හමාරය. ජාතික තරුණ භික්ෂු සංවිධානය මගින් ප්‍ර‘දේශයේ තරුණ භික්ෂූන් වහන්සේගේ ආරක්ෂාවට හා අභිවෘද්ධියට කටයුතු කරමින් සිටියි. එම ආයතනය මගින් ප්‍රකාශයට පත්වන %කර්ම^ ජාත්‍යන්තර බෞද්ධ පුවත්පත හරහා දිවයිනේ සෑම ප්‍ර‘දේශයකටම ධර්ම ප්‍රචාරක කටයුතු සිදුකරමින් සිටියි. එසේම මුස්ලිම් ජාතිකයන් බොහෝ සේ වෙසෙන ඔවුන්ගේ ආගමික ස්ථාන 13ක් හාත්පසින් ඇති මෙම ස්ථානයේ කිසිදු ජාතිවාදී ගැටලුවක් උද්ගත නොවන අයුරින්ද ඔවුන් සමග සුහදව හා සංසිදියාවෙන් ඔවුන් මෙම ගමන පැමිණ ඇත.
ශ්‍රී ශාඛ්‍යසිංහ සුගන්ධ කුටිය සම්බුදු සසුනට පූජා කිරීමේ මෙම අවස්ථාව නෙල්ලිගල ඉතිහාසයේ තවත් ඓතිහාසික සන්ධිස්ථානයකි. මෙම සුගන්ධ කුටියෙහි අප බුදු පියාණන් වහන්සේගේ කේෂ ධාතූන් වහන්සේලා, ශ්‍රාවක මහරහත් ධාතූන් වහන්සේලා තැම්පත් කිරීමට නියමිතය. එසේම ඉදිරි වර්ෂයේ දී ඉන්දියාවේ ආනන්ද බෝධියෙන් ලබාගත් බෝ අංකුර 1500ක් ලංකාව පුරා විහාරස්ථානවලට බෙදා දීමටත් ඔවුන් මේ වනවිටත් සියලු කටයුතු සූදානම් කර ඇත.
උක්ත අරමුණු අනුව ඔවුන් නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ කළමනාකාරීත්වයේ බලාපොරොත්තු වන්නේ බෞද්ධ ආයතනයක් ලෙස %බෞද්ධ ධර්ම ගම්මානයක්^ ලෙසින්ද, දේශීය අනන්‍යතාවය සුරකින අයුරින් %දේශීය සංස්කෘතික ආයතනයක්^ ලෙසින්ද බොහෝ දෙනාට ආධාර උපකාර කරන %සත්කාරක මධ්‍යස්ථානයක්^ ලෙසින්ද අන්‍යාගමිකයින් තලා පෙළා දැමීම පිණිස සංවිධානය වන මධ්‍යස්ථානයක් ලෙසින් නොව ඔවුන්ට සහනශීලී දෑත් දිගු කරන ආයතනයක් ලෙසින්ද එසේම හැම සිත සුව පිණිස දොර ගුලු විවර වූ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයක් ලෙසින් ද පවත්වාගෙන යාම අපගේ ඒකායන අරමුණුය. එයම අධිෂ්ඨානයයි.