බුදු රදුන්ගේ ලලාට ධාතූන් තැම්පත් කර තිබෙන පිංබිම
‘සේරුවිල මංගල රාජමහා විහාරය’
වසර 30ක පැවැති කුරිරු යුද්ධය නිමවීමෙන් පසුව රට තුළ නිර්මාණය වූ සාමකාමී පරිසරය නිසා දිවයිනේ සතර දික් භාගයෙන්ම ජනතාවට උතුරු නැගෙනහිර ප්‍රදේශ නැරඹීමටත්, බෞද්ධ සිද්ධස්ථාන, කෝවිල් සහ අනෙකුත් ආගමික සිද්ධස්ථාන වන්දනාමාන කිරීමේ අවස්ථාව උදාවිය. ඒ අනුව ක්‍රිකුණාමලය, යාපනය යන නගර කේන්ද්‍ර කරගනිමින් සිදුකරන සංචාර තුළ දී සංචාරකයන්ගේ අවධානය නිතැතින්ම හිමිවන ස්ථානයක් ලෙස ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පිහිටා තිබෙන මූතුර් නගරයට ඔබ්බෙන් පිහිටි පූජනීය පින්බිමක් ලෙස ‘සේරුවිල මංගල රාජමහා විහාරය’ හඳුන්වාදිය හැකිය.
සම්බුදුරජාණන් වහන්සේගේ පාදස්පර්ශයෙන් අතිපූජනීයත්වයට පත්වූ ශ්‍රී ලංකාවේ බෞද්ධ සිද්ධස්ථාන අතර සුවිශේෂී ස්ථානයක් හිමිවන ඓතිහාසික සේරුවාවිල මංගල රජමහා විහාරය, සේරුවිල යන නාමයෙන්ද හඳුන්වනු ලැබේ. සේරුනුවර යනු කාවන්තිස්ස රජතුමාගේ රාජ්‍ය කාලයේ මාගම රාජධානියේ උතුරු කෙළවර පිහිටි ප්‍රදේශීය රාජ්‍යයකි. සේරුනුවර අසබඩ පිහිටි විශාල විල සේරුවිල නම් වූ බවත්, එය පසුකාලීනව සේරුවිල වශයෙන් ව්‍යවහාර වී ඇත. එමෙන්ම කාවන්තිස්ස යුගයේ සිට සේරුවිල විහාරස්ථානයේ වැඩසිටි රහතන් වහන්සේලා හා භික්ෂූන් වහන්සේලා පැන් පහසුව පිණිස මෙම විලට පැමිණි බැවින් සිවුරු-ආ-විල පසුව සේරුවාවිල වූ බවද කියැවේ.
මාගම රාජ පරපුර ආරක්ෂා කරගෙන සිටි බව කියන සර්වඥයන් වහන්සේගේ ලලාට ධාතුව සහ තපස්සු බල්ලුක වෙළෙඳ දෙබෑයන්ට බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේ ලබා දුන් කේස ධාතූන්ගෙන් කොටසක්ද නිධන් කර සෑදු මහා සෑය ‘මංගල මහා සෑය’ වශයෙන් හඳුන්වනු ලබන අතර, මීට අමතරව දෙදහස් දෙසීය ගණනකට පෙර මෙම ස්තූපය සඟසතු කර පූජා කර ඇත්තේ චුල්ල පිණ්ඩපාතික හා තිස්ස විහාරයේ සාගල නම් භික්ෂූන් වහන්සේගේ උපදෙස් පරිදි බවද ධාතුවංශයේ සටහන්ව ඇත. අතීතයේ ලංකාවේ පළාත් බෙදීම් අනුව, රුහුණු බෞද්ධ රාජ්‍යයේ කෙළවර පිහිටි මෙම පුද බිමෙහි කාවන්තිස්ස රජතුමා විසින් තුන් යොදුනක් මානයේ ගම් බිම් පුදා මෙම පූජනීය පුදබිමෙහි මතු දියුණුවට වැඩ සැලසා තිබෙන බවත් වංශකතාවන්හි සඳහන් වෙයි.
පසුගිය වකවානුවේ දී සිව්වන කාශ්‍යප රජතුමාගේ රාජ්‍ය සමයේ දී කරන ලද ගිරි ලිපියක් 1979 වසරේ දී හමුවී ඇත. එම ලිපියට අනුව මෙම විහාරය හඳුන්වා ඇත්තේ ‘තිස් මහ වෙහෙර’ යනුවෙනි. ඊට අමතරව පස්වන කාශ්‍යප රජතුමා විසින් සටහන් කරන ලද ලිපියක කථිකාවක් පිළිබඳව දක්වා ඇත. එම ලිපියට අනුව දහවන ශත වර්ෂය පමණ වනවිටත් නියත වශයෙන්ම සේරුවිල ප්‍රදේශය සිංහල පාලන තන්ත්‍රයට අයත් සිංහලයන්ම පදිංචිව සිටි ප්‍රදේශයක් බව කියැවේ.
කාවන්තිස්ස රජතුමාගෙන් පසුවද රටේ පාලනය මාගමට නතුව තිබී ඇත. ඒ අනුව මෙම පුදබිම පාලකයන් කීප දෙනෙකු විසින් සංවර්ධනය කරන ලද බව සැලකිය හැකිය.
මෙහි අක්කර කීපයක පැතිර පවතින විවිධ ගොඩනැගිලිවල ශේෂද යුග කීපයකට අයත් වේ. ඒවා ප්‍රධානඝර, බුදුමැදුරු, දානශාලා, ධර්මශාලා ආදී විහාර අංග විය හැකිය. බෝසත් පිළිමයක ශේෂද, නාග පෙන නමයක්ද, සතක් ද සහිත බුදු රදුන්ගේ ශෛලමය හිඳි පිළිම දෙකක්ද ආදී වශයෙන් පුරාවිද්‍යා කැණීම්වලින් හමුවී ඇත. මෙම හිඳි පිළිමයන් හි විශේෂත්වය වශයෙන් සැලකිය හැකි වන්නේ, බුදු රදුන් ජීවමාන කාලයේ මේ භූමියට වැඩම කළ පසු, ඇදහිලිවලට යොමුවී සිටි නාග වාංශිකයන්ගේ ජන විඥානයේ බුදු රදුන් හා බුද්ධාගම කෙරේ තිබූ අපිරිමිත භක්තිය විදහා දැක්වීමට, ඒවා නිර්මාණය කළ ශිල්පීන් විසින් නාගයා සංකේතයක් ලෙස යොදා ගනු ලැබූ බවය.
බුදු රජාණන් වහන්සේ, ලලාට ධාතූන් වහන්සේද, කේශ ධාතූන් වහන්සේලා ද, කකුසඳ, කෝනාගම, කාශ්‍යප යන තුන් බුදුවරයන් වහන්සේලා ද යන සතර බුදුවරයන් වහන්සේලාගේම ධාතූන් නිධන්ගතව ඇති නිසාම මෙම සේරුවිල මංගල මහා විහාරය දිවයිනේ අනෙකුත් සිද්ධස්ථාන අතරින් විශේෂත්වයක් ඇති බෞද්ධ ජනතාවගේ අපිරිමිත ගෞරවයට හා වන්දනා මානයට පාත්‍ර වූ පුණ්‍ය භූමියක් ලෙස හඳුන්වාදිය හැකිය.
ගමන් මාර්ග
කන්තලේ සිට සේරුනුවර දක්වා කි.මී.48ක් පමණ පැමිණ සේරුනුවර (අලි ඔළුව) හන්දියෙන් දකුණට හැරී මුතූර් මාර්ගයේ ඔස්සේ කි.මී.2කින් පැමිණෙන විට හමුවන අරිප්පු හන්දියෙන් හෝ සේරුවිල, සෝමාවතී අලුත් පාර මුණගැසෙන තැනින් වමට හැරී කි.මී. 5ක් ගිය විටද සේරුවිලට ළඟා විය හැක.
මඩකලපුව දෙසින් පැමිණෙන සංචාරකයන්ට වාලච්චේන, වාකරේ සහ වෙරුගල් පාලම පසුකොට කි.මී. 12ක් පමණ මුතූර් මාර්ගයේ ඉදිරියට පැමිණ සේරුවිල සෝමාවතී අලුත් මාර්ගයේ හන්දියෙන් දකුණට හැරී පැමිණීමෙන්ද මෙම පුද බිම වෙත ළඟා විය හැක.