බ්‍රිතාන්‍ය සමයේ ඉදි වූ සුන්දර උද්‍යානය
සති දෙකක්ම අපි ඔයත් එක්ක නැවතිලා හිටියේ හෝර්ටන් තැන්නේ... මතකනේ සීතලත් එක්ක සුන්දරත්වය අහුරු පිටින් විඳගත්ත හැටි.........
ඉතින් ඔන්න අපි ආයෙත් කොළඹ... ඔන්න මේ සතියේ අපි ඔයත් එක්ක යන්න හිතුවා බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරැන්ගේ කාලයේ ඉදිකළ සුන්දර උද්‍යානයක් බලන්න... කොළඹ ඉඳන් කිලෝමීටර් 29ක දුරක් ගෙවාගෙන අපි ගියේ ගම්පහට. අද අපි walk 111 එක්ක ඔයාලව එක්ක යන්නේ කොහෙද දන්නවද? ගම්පහ අස්ගිරිය උද්භිද උද්‍යානයට........ හෙනරත්ගොඩ උද්භිද උද්‍යානය නමින් හඳුන්වන්නේත් මේ උද්භිද උද්‍යානයම තමයි. අක්කර 43ක භූමි වපසරියකින් යුත් මේ උද්‍යානය ආරම්භ කර තියෙන්නේ වර්ෂ 1876 දී. ඒ යුගය සාක්ෂි දරන ආකාරයට එදා එහි ඉඩහසර වෙන්වුණේ රබර් වගාවට. ඒ යුගයේ රබර් කියන්නේ ඉහළ ඉල්ලුමක් තිබුණ ප්‍රධාන අපනයන වෙළෙඳ බෝගයක්. හෙවියා බ්රසීලියන්සිස් නමින් නම් කළ පාරා රබර් වගාවේ පළමු රබර් ගස ඉදිවුණේත් මේ උද්‍යානයේ. කුරැලු වර්ග අසූවක් සමනල විශේෂ ගණනාවක් අද නිදහසින් සැරිසරන මේ උද්‍යානයට අද වැඩිපුරම එන්නේ තුරැණු පෙම්වතුන් කියලා කීවොත් අපි හරි කියලයි මට හිතෙන්නේ.
බැලූ බැලූ බොහෝ දෙස කොළ පැහැයෙන් දිලිසෙන නිසා හිත නිවන ශාන්තියක් මේ උද්‍යානයේ බොහෝ අහුමුළුවල ලැඟුම් අරන්. හැබැයි මල් පිපෙන ගස් වර්ග වෙනුවට මේ උද්‍යානයේ වැඩිපුරම තියෙන්නේ මල් නොපිපෙන කොළ පාට ගස් වර්ග. ලස්සන පාම් වර්ග වගේම ඕකිඩ් විශේෂත් මේ හරිත පැහැ අස්සේ ඉඳගෙන උද්‍යාන සුන්දරත්වය ඒකාලෝක කරනවා .
ප්‍රේමය නිදහසේ සිමෙන්ති බංකුවකට බරදී සල්ලාපයක් සමඟ විඳින්න කැමති පෙම්වතුන් වගේම තමන්ගේ wedding ෆොටෝ Pre shoot ගන්න ෂා මරැ තැනක් කියලා හිතන අයත් මේ තැන තෝරාගන්නවා. ඒත් ඒ දේට විතරක් නෙවෙයි නිකම් මතකයක් විදිහට සේයාරැවක් ගන්න පුංචි කැමරාවක් උද්‍යානය තුළට ගෙනිච්චත් ඒ වෙනුවෙන් සැලකිය යුතු මුදලක් නම් ගෙවන්න ඕන. පේරාදෙණිය හග්ගල වගේ ලංකාවේ ප්‍රධානම උද්භිද උද්යානවලවත් ක්‍රියාත්මක නැති ඒ වගේ නීතියක් සංචාරකයන් වෙනුවෙන් අසාධාරණයි කියන එක තමා එහි අසිරිය දකින්න විඳින්න එන හුඟක් දෙනා කියන්නේ. අත්තනගලු ඔය ගලාගෙන යන්නෙත් මෙහි එක පසෙකින්. ඔයා කැමති නම් වෙනමම ප්‍රවේශ පත්‍රයක් අරගෙන හංස බෝට්ටුවක් පදින්නත් පුළුවන්. හැබැයි ඒ ගන්න ප්‍රවේශ පත්‍රය වලංගු වෙන්නේ පැය බාගයක කාලයකට. පැය බාගය ඉවරවුණු ගමන් හා දැන් එන්න කියන විසිල් එක වැදෙනවා. අපිත් හංස බෝට්ටු පැදලා ඒ විසිල් එක වදින්න විනාඩි දෙක තුනක් තියෙද්දී ඔන්න ඉවුරට ළඟා වුණා.
හවස් වෙන්න වෙන්න ඒ උද්‍යානයේ ඇසට හසුවෙන චමත්කාරය මනරම්. අපිත් පැය දෙකකට වැඩි කාලයක් ඒ අපූරැ සුන්දරත්වය විඳගත්තා. සෙල්ලම් කරන්න පෙර සූදානමකින් ගියොත් ලොකු පිට්ටනියකුත් උද්‍යානය ඇතුළත තියෙනවා. ඉතින් ඔයත් ගිහින් එන්න. එන ඉරිදාත් අපි යමු කොහේ හරි ඇවිදින්න.
එහෙනම් ලෑස්ති වෙලා ඉන්න. අපි එනවා එන ඉරිදට.
Text -Saara / Pic- Channa Kassapa Koralearachchi