බලංගොඩ මානවයාගේ පාහියන්ගල නවාතැන



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

බුලත්සිංහල, අතුර හන්දියෙන් හැරී පටු තාර පාර දිගේ යනවිට ඒ මහා ගල් කුල පෙනේ. ගල් වඩුවකු විසින් කපා ඍජු බිත්තියක් නිර්මාණය කළාක් මෙන් පෙනෙන ඒ දැවැන්ත ගල්කුල කාගේ නිර්මාණයක් දැයි හිතේ කුහුලක් හටගනී.

බලංගොඩ පරපුරේ ආදිමානවයා පාහියන් භික්ෂුව මෙන්ම ද මේ ගල්කුල හා සම්බන්ධකම් පැවැත්වූ ඉතිහාසයක් තිබුණෙන් මේ ගල්කුල කපා ඍජු බිත්තියක් හැදුවේ ඒ යුග දෙකෙන් එකක විය යුතුය.

එහෙත් ගල් පතුරක් උල්කර ගෙන පුංචි සතුන්ගේ මස් හූරා ගත් බලංගොඩ  පරපුරේ මානවයාට මෙබඳු විශ්මකර්ම වැඩක් කරන්නට  නුපුළුවන

එසේනම්?

පාහියන් භික්ෂුව චීනයෙන් වැඩම කළ කෙනෙකි.

චීනා කම්මැලියෙක් නොවේ. එහෙත් මෙවැනි දැවැන්ත ගල් කුලක ඍජු බිත්තියක් හදන්නට චීනාටත් බැරිය. ඇරත් පාහියන් භික්ෂුව මෙහි පැමිණයේ ගල්කුල ඔප මට්ටම් කරන්නට නොවේ. වන්දනාවේය.

එසේනම් මේ ගල්කුල කාගේ නිර්මාණයක්ද?

එකත් එකටම සොබාදහමේ  වැඩක් විය යුතුය.

සොබා දහම  අප හිතනවාට වඩා වැඩකාරයෙකි. ඒ වැඩ ගැන හිතන කොට අපට පුදුම නොවී සිටිය නොහැකිය.

ඒ පුදුමය හිතේ පොතේ හංගාගෙන අපි ඉදිරියටම ගියෙමු.

පාහියන් පන්සල  කිට්ටුවටම යනවිට රථ ගාලක් හමුවේ.  එහි රථය නතර කළ අපි අර ගුප්ත කන්ද දෙස බලාගෙනම ඉදිරියට ගියෙමු.

20200417Travel-(1)

පාහියන්ගල පන්සලට පිවිසෙන මාර්ගය රූස්ස ගස් වලින් සෙවන ලද්දකි. අතීතයේ රහස් සඟවා ගත් වනපෙතකට මැදිවූ පාහියන්ගල තවමත් ඈත ය.

සෙල් ලිපියකි.!

හැබැයි මෙය අතීතයේ රජ සමයේ ලියූ සෙල් ලිපියක් නොවේ. මෑතක වටකුරු සිංහල අකුරෙන් ලියා ඍජු අතට සවිකළ එකකි.

එහි ඇත්තේ පාහියන්ගල නම හැදුණු හැටිය. එයට අනුව අතීතයේ මහානාම නම් රජු ලංකාව පාලනය කළ සමයේ චීන ජාතික පාහියන් නමැති භික්ෂුව ලංකාවට පැමිණි බවත් උන්වහන්සේ සිරිපා වන්දනාවේ යද්දී මේ පාහියන් ගල පාමුල ඇති විශාල ගල් ලෙනේ නවාතැන් ගත් බවත් එනිසා මේ ලෙනට පාහියන් ලෙන නමත් මේ ගලට පාහියන්ගල නමත් ලැබුණු බවය.

පාහියන් භික්ෂුව අපේ දේශාටන ඉතිහාසයේ අතිශය ප්‍රචලිතය. රොබට් නොක්ස්, කැප්ටන් ඩේවි වැනි සුද්දන් පසුකාලීනව ලංකාවේ සංචාරය කර ඒ සටහන් කෘතිවල ලිවීම නිසා ප්‍රචලිත වූයේ යම්සේද පාහියන් භික්ෂුවද අර සුද්දන්ටත් කලින් ලංකාව පිළිබඳව සංචාරක සටහන් ලියා තැබුවේය. පාහියන් භික්ෂුවගේ නම දේශාටන ඉතිහාසයත් සමග නිතර නිතර කියැවෙන්නේ ඒ නිසාය. අපේ සංචාර ගැන ලියා තැබීම වටිනා කටයුත්තක් බවට ඒ ඉතිහාසය දෙස් දෙයි.

පසෙක ඉපැරණි පන්සලකි. ඉතිහාසයේ කිසියම් යුගයක කිසියම් කෙනෙකු විසින් මෙහි පන්සලක් ඉදිකළ බව ඒ අතීත ගොඩනැගිලි කියාපායි.

සියල්ලටම පෙර ඒ ඉතිහාසය සොයා දැන ගැනීම වැදගත්ය.

20200417Travel-(5)

මේ ඉදිකිරීම්වල විශිෂ්ටත්වයක් නොමැත. ඒ නුවර යුගයේ බිතු සිතුවම් සහ මූර්තිවල ස්වභාවයයි. ඒ නිසා පාහියන්ගලට මේ පන්සල නිර්මාණය වී ඇත්තේ නුවර යුගයේදී බව උපකල්පනය කළ හැකිය. ඊට රාජ්‍ය අනුග්‍රහයක් ලැබී නොමැත. රාජ්‍ය අනුග්‍රහය ලැබිණි නම් මේ පන්සල වඩාත් විශාල නිර්මාණයක් විය යුතුය.

දකුණු දෙසින් පඩිපෙළකි. ඉපැරණි ගල් පඩිවලින් නිර්මිත මේ පඩිපෙළ බැලූ බැල්මට අඩි දෙතුන්සීයක් ඉදිරියට විහිදෙයි. ඒ පඩිවල ඉපැරණි බ්‍රාහ්මී හැඩයේ අක්ෂර ලියැවී තිබේ.

හිතට කුහුලකි.

මේ පඩිපෙළ අතීත නිර්මාණයක්ද?

නොඑසේනම් අතීතයේ ගල්පතුරු මේ පඩිපෙළට භාවිත කළේද?

පඩිපෙළ දෙපස වනාන්තරයයි. විසල් කෙසෙල් ගස්, පඳුරු ගැහී තිබේ. ඉන් වැඩි කොටසක කෙසෙල් කැන්ද දකින්නට ලැබිණි. හැබැයි මේ කෙසෙල් ගස් අපේ ගම් පළාත්වල කෙසෙල් ගස්වලට වඩා උසින් වැඩිය.

වේලාව මධ්‍යාහ්න දොළහයි. හිරු හරියටම හිස මුදුනේය. මේ ගිම්හාන හිරු වුවද හිරුගේ එළිය ගතට දාහයක් නොදෙන තරමට සිසිල් කර ඇත්තේ හිසට සෙවන සපයනු ලබන තුරු හිස් විසිනි.  විවිධ වර්ගවල ගසින් වැලින් සැදුණු මේ පරිසරයම හිත නිවයි.

තරමක් ඈතින් රතුපාට විදුලි බුබුලු තොගයක් පෙනේ. එක්තරා ගසක් වසාගත් ඒ විදුලි බුබුලු එකක්වත් දැල්වී නැත.

දහවල් කාලයේ විදුලි බුබුලු නිවා දැමූ නිසාද? එහෙත් එසේ නම් ගහකට විදුලි බුබුලු සවි කළේ කුමකටද?

ප්‍රශ්න ගොඩකි.

ඒ විදුලි බුබුලු නොව කිසියම් ගෙඩි වර්ගයක් බව පසක් වූයේ තවත් පඩි ගණනාවක් නැග අර වැලට ළංවූ ඉක්බිතිවය. කිසියම ගසක මුහුණෙහි හැදුණු වැලක හටගත් ගෙඩි, රතුපාට විදුලි බුබුළුවල හැඩය ගෙන තිබේ.

පඩිපෙළ දෙපස පුවරු කිහිපයකි. එකක කෙසෙල් ගසක පිංතූරයකි. එහි සටහන්ව ඇත්තේ එම කෙසෙල් විශේෂය ඇටි කෙහෙල් බවය. එසේනම් මේ අවට තිබෙන උස් කෙසෙල් විශේෂය ඇටි කෙහෙල්ය.

තවත් පුවරුවක කියැවෙන්නේ ඇඹුල් ඇඹිලිය ගැන ය. පුංචි දවස්වල මේ ඇඹුල් ඇඹිලිය අපේ ගෙදර මිදුලේද තිබූ බව මට මතකය. ඉතා කුඩා කොල විශේෂයක් වූ ඇඹුල් ඇඹිලිය මාලුව ඇඹුල් රසයකින් යුතුවිය. ඒ ඇඹුල් ඇඹිලිය මේ වන පෙතේ  තිබෙන බවකි.

පඩිපෙළට විරාමයකි. එය හරස් කර යකඩ බාධකයක් දමා ඇත. වම් පැත්තේ පාරකි. මේ පාර පන්සලේ සිට තනා ඇත්තේ මෙතෙක් පැමිණි පඩිපෙළ වෙනුවට විකල්ප මාර්ගයක් ලෙසිනි.

එහෙත් ඉදිරියෙන් ඇති ඉතිරි පඩි ටික නොනැග පාහියන් ලෙනට පිවිසිය නොහැක.

ඉතින් අපි ඒ පඩිපෙළ තරණය කරන්නට වීමු.

20200417Travel-(6)

බලංගොඩ මානව සමයේදී පාහියන්ගල මානව සමූහය වාසය කළ දැවැන්ත ලෙන වෙත ඒ පඩිපෙළ වැටී තිබේ.

ලංකාවේදී හමුවන විශාලතම ලෙන ලෙස සැලකෙන පාහියන්ගල ලෙන දැන් අපේ නෙත් අභියසය. අඩ කවයක් සේ පෙනෙන මේ ලෙනේ උස අඩි එකසිය පනහක් පමණද දිග අඩි දෙසීය හැත්තෑවක් පමණද වෙතැයි කියති.

සිහින් දූලි අංශූ හාත්පස පාවෙනු පෙනෙයි. ඒ දූවිලිවල ගන්ධය නහයට දැනෙන්නේ ඒ සිහින් දූවිලි අපටත් හොරෙන් අපේ පපු තුළට රිංගාගන්නා නිසාය.

මේ දූලි වසර තිස් දහසකට කලින් පාහියන්ගල මානව පරම්පරාවේ ඒවාදැයි නොදනිමි.

වසර තිස් දහසකට කලින් මේ ආදි මානවයන් මේ ලෙනේ ජීවත් වූයේ කෙසේද?

අඩුම තරමින් ආදි මානවයන් දෙතුන් සීයක්වත් මේ ගුහාව තුළ ජීවත් වන්නට ඇත. කැලේ කරක් ගසා පුංචි සතකු දඩයම් කරගෙන ගින්නෙන් පළහා  පුංචි භුක්ති විඳින්නට ඇත. ඇටිකෙහෙල් වැනි පලතුරුද වෙනත් කැලෑ කොලද පලතුරුද බුදින්නට ඇත. ඔවුන්ගේ විවේකය ගත කරන්නට ඇත්තේ ගස්වැල්වලින් ගෙඩිවලින් හදාගන්නා වර්ණවලින් සිරුරු පාට කර ගනිමින් ගුහා චිත්‍ර අඳිමින් විය යුතුය. ඔවුන්ට සංගීතයක් නොතිබුණුත් ප්‍රාථමික නැටුම් විනෝදය සපයන්නට ඇත.

ආහාර සඳහා ලුණු එකතු කිරීමට ඔවුන් ද පුරුදුව සිට ඇත. එහෙත් මුහුද තිබුණේ මේ විසල් ලෙනට සැතපුම් සියයකට කිට්ටු දුරකිනි. ඒ දුර ඔවුන් ඇවිද ගියේය. කැලේ මැදින් ගොස් ලුණු පමණක් නොව මුහුදු බෙල්ලන්ද ගෙනා ඔවුන් බෙල්ලන් ආහාරයටත් බෙලි කටු විසිතුරු පලඳනා හදන්නටත් යොදා ගත්තේය.

මේ තොරතුරු වසර තිස් දහසකට පසුව සිටින අප අනුමාන කරන්නේ කෙසේද? ඒ සියලු තොරතුරු ඉතුරු කර ගොස් තිබුණේ ඔවුන්මය. එහෙත් ඒ අතීත තොරතුරු සොයා දැන ගත්තේ පුරාවිද්‍යා කැණීම්වලිනි.

පාහියන් ලෙනේ කැණීම් හාපුරා කියා ඇරඹුණේ 1986 අවුරුද්දේදීය. එතෙක් කලක් මේ ලෙන නුවර යුගයට අයත් කැටයම්වලින් හැදුණු පුංචි විහාරයක් පමණි. ලෙනේ එක් කෙළවරක ප්‍රතිමා මන්දිරයක් තිබිණි.

මේ ගැන කනින් කොනින් ඇහුණු කතා ඔස්සේ ඇතැම් සැහැදැතියෙක් පාහියන් ලෙනට ආවත් ඔහු ආදි මානවයන් ගැන මෙලෝ හසරක් දැන සිටියේ නැත.

 කැණීම් ඇරඹිණි.

වසර විසිපන්දහසකටත් වඩා පැරණි ක්ෂුද්‍ර ශිලා මෙවලම් රාශියක් මෙම කැණීම්වලදී හමුවිණි. පස් තට්ටුවෙන් තට්ටුව ඉවත් කරමින් කැණීම් කරන අතරතුරේ හමුවුණු මිනිස් හිස්කබල කියා පෑවේ ආදී මානවයා පාහියන් ලෙනේ වාසය කරන්නේ වසර තිස්එක් දහසකටත් කලින් සිට බවය.

20200417Travel-(7)

යළි වර්ෂ 2012 දී පාහියන් ලෙනේ කැණීම් ඇරඹිණි. එම කැණීම් වලදී හමුවූයේ සම්පූර්ණ ඇටසැකිල්ලකි. අවුරුදු දහඅටක විස්සක පමණ කෙල්ලකගේ ඇටසැකිල්ලක් වූ එය වසර දහදාහක් පමණ පැරණි බව කාල නිර්ණයේදී සොයාගත හැකිවිය. මේ හමුවීම් බලංගොඩ පරපුරේ මානවයාගේ ජීවන තොරතුරු වර්තමානයේ අපට හෙළිදරව් කරයි. භාෂාවක් නොතිබූ බැවින් ගලකවත් ලියන්නට බැරිවූ ඒ ඉතිහාසය ඇටසැකිල්ලකින් බෙලි කටුවකින් හෙළි දරව් වන හැටි අපූරුය.

අර දැවැන්ත ලෙනේ මැදට වන්නට හාරා ඇති වළ දෙස මම බලා සිටිමි. රහස් රැසක් සඟවාගත් ඒ වළේ බිත්තිවල ගල් පතුරුද රැඳී තිබෙනු පෙනෙයි. ඒ හැම ගල් පතුරක්ම ගුහා පියස්සෙන් ගැලවී බිම වැටුණු ඒවාය. පියස්සේ තවත් ගල් පතුරු අඩක් ගැලවී හෙට අනිද්දාට බිම වැටෙන්නට බලා ඉන්නා හැටි දුටිමි.

මේ වළේ තවත් පස් තට්ටු යට තවත් රහස් රැඳී තිබෙන්නටද බැරි නැත. එහෙත් ඒ රහස් සොයා ගැනීම අනාගතයට බාරය. අනාගතයේදී වඩාත් දියුණු තාක්ෂණයක් යටතේ මේ පොලොව කණින්නට හැකි වුවහොත් තවත් රහස් එළියට එනු ඇත්තේය.

මම ගුහාවේ කෙළවරටම ගියෙමි. එතැන සිතිජය වැන්න. පොළවත් ගුහා බිත්තියත් එකිනෙකට තුරුලු වූ එතැන සිට මම ගුහා විවරය දෙස බලමි. ගුහාවේ සම්පූර්ණ හැඩය විසිතුරු චිත්‍රයක් ලෙස ඇස ගැටෙන්නේ මෙතැනටය.

පාහියන් ලෙනේ විවරය අලංකාර බව මගේ සිත කියයි. ගුහාවේ කොටසක හරස් බිත්තියකි. මෑතකදී ඉදිකරන ලද ඒ බිත්තිය බුදු ගෙයක සීමාවකි. අඩි විස්සක් තිහක් පමණ දිගකින් යුතු සැතපෙන බුදු පිළිමයක් මේ ලෙන තුළ තනා තිබේ. පෙරකී නුවර යුගයට අයත් බුදුගෙය තිබෙන්නේ මේ බුදු පිළිමයේ පාමුලය.

ශාන්ත මුහුණුවරකින් යුත් මෙම බුදු පිලිමයට දෝත එකතු කර වන්දනා කළ මම මොහොතක් එදෙස බලා සිටිමි. ලෙනෙන් එළියට පැමිණ පර්වත බිත්තියට පිටුපා සිටින විට පෙනෙන්නේ අනන්තය තෙක් විහිදුණු අවකාශයයි. තුරු හිස් වලිනුත් එක් එක් ප්‍රමාණයේ කඳු ශිඛර වලිනුත් සමන්විත සුන්දර පරිසරයක් නෙත ගැටේ. මේ සොබාදහමේ විචිත්‍රම චිත්‍රයක් බව අමුතුවෙන් කිවයුතුද?

මම බොහෝ වේලාවක් ඒ දසුන රස විඳිමි.

දකුණුපසට වන්නට අර විසල් ලෙනේම තවත් කොටසකි. එතැන පොලව පිහිටියේ තවත් ටිකක් පහලිනි. එම කොටසේද කැණිම් වළකි.

රතු පාටින් හැඩ වැඩ කළ මිනිස් ඇටසැකිල්ලක් හමුවූයේ මේ කැණීම් වළෙනි. වරක වළදමා තිබී ගොඩගත් ඇටසැකිල්ලකට වර්ණ ආලේප කර යළිත් සිටුවා පස් දැමුයේ ඇයි? කැණීම්වලදී හමුවන සියලු නටබුන්වලත් සඟවාගත් රහස් තිබේ. මේ ඇටසැකිල්ල පාට ගැල්වූයේ ඇයි? පාට ගල්වා යළි වළ දැමුයේ ඇයි?

 

ඇතැම් විට අතීත මානවයාගේ කිසියම් චාරිත්‍ර විදියක් විය හැකිය. කෙසේ වුව තවමත් ඒවා නොවිසඳුණු රහස් ය.

කොස් දෙල් නා ඇතුළු විවිධ රූස්ස ගස්වලින් වැටෙන සෙවන විඳ විඳ අපි තවත් ටික වේලාවක් ලෙන අද්දර ගත කළෙමු.

දැන් හෝරා දෙකක් පමණ ගෙවී අවසානය.

ලෙන සහිත ගල් පව්වේ ඉහළ කෙළවර අඩි සීයකට වඩා උසින් පෙනෙයි. ඛාදනය නිසා ඒ ගල් බිත්තියේද පතුරු ගැලවී බිමට වැටෙන්නට පුළුවන. හැබැයි ඒ හෙට දවසේදීය.

ඉතින් අපි නික්මුණෙමු. සුන්දර වන ගහනයක ගෙවූ දෙහෝරාවේ මතකය හෙටත් සිතට සතුට දෙන බව මගේ විශ්වාසයයි.

 

ශාන්ත කුමාර විතාන

සේයාරූ- පවනි උමයංගනා

20200417Travel-(8)