'පුංචි සිංහරාජය' නමින් විරුදාවලියලත් 'කන්නෙලිය රක්ෂිතය'



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2016-10-16-ent-25

කාර්ය බහුල ජීවිතවලින් තරමක් හෝ මිදී යම්තාක් දුරට අස්වැසිල්ලක් ලබාගැනීමේ අරමුණින් සුන්දර පරිසරයක නිදහසේ කාලය ගත කරන්නට බලාපොරොත්තු වන අයට අපූරු තැනක් හඳුන්වාදීමට අපි මෙවර සිතුවෙමු. තම ගතත් සිතත් එකසේ ප්‍රබෝධයෙන් පිනවාගැනීමට උචිත ස්වභාව සෞන්දර්යෙන් අනූන චමත්කාර වනපෙතක මං සලකුණු ගෙන එන්නයි මෙවර අපගේ සූදානම.

2016-10-16-ent-13කොළඹ සිට ගාල්ල නගරයට ගොස් ගාල්ල - උඩුගම මාර්ගය ඔස්සේ හෝ දක්ෂිණ ලංකා අධිවේගී මාර්ගයේ බද්දේගම පිවිසුම් මඟ හරහා උඩුගමට පැමිණ, උඩුගම සිට හිනිදුම දක්වා දිවෙන මාර්ගයට ඔබ්බෙන් පිහිටි නන්නිකිත ඇළ දක්වා දිවෙන කුඩා පටු මාර්ගය ඔස්සේ ගමන් කරන විට මෙරට සංචාරකයන්ගේ මෙන්ම විදෙස් සංචාරකයන්ගේ සිත් ඇදගත් "කන්නෙලිය" රක්ෂිතය හමුවෙයි. මෙය ජෛව විවිධත්වය පිළිබඳව උනන්දුවක් දක්වන පිරිසගේ විශේෂ අවධානයට ලක්වූ චමත්කාර ජනක දකුණු ආසියාවේ පිහිටි ශාක සම්පත අතින් ඉහළම වටිනාකමකින් යුතු වනාන්තරයක්ද වෙයි.

 

අතීතයෙන් බිඳක්

කන්නෙලියේ අතීතය රජ සමය දක්වාම දිවයයි. විජයබාහු රජතුමා හා සොලීන් අතර මෙම ප්‍රදේශවල සටන් පැවති බව ජනප්‍රවාදයේ සඳහන් වෙයි. කන්නෙලිය යන්න කන්‍ය එළිය යන්නෙන් බිඳී ආ බව ඇතැමුන් විශ්වාස කරන අතර, වලගම්බා රජු මෙම ප්‍රදේශ ආශ්‍රිතව සැඟවී සිටින කාලයේ කුසගින්නේ සිටි කාන්තාවකට තම බත්පත ලබාදී "කන්න ලිය" යැයි පැවසූ ස්ථානය කන්නෙලිය බවට පත් වූ බව ඇතැම්හු පවසති.

1934 වර්ෂයේදී වන සංරක්ෂක දෙපාර්තමේන්තුව විසින් කන්නෙලිය වනාන්තරය රක්ෂිත වනාන්තරයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ. පසුව, 1990 දශකයේ මුල් භාගයේදී මෙය සංරක්ෂිත වනාන්තරයක් ලෙස නම් කිරීමට ඔවුන් පියවර ගෙන තිබේ. එමෙන්ම යුනෙස්කෝ (UNESCO) ආයතනයේ මිනිසා සහ ජෛවගෝල වැඩසටහන යටතේ 2004 වසර්ෂයේදී මෙය අන්තර්ජාතික ජෛවගෝල රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.

 

සුවිශේෂත්වය

කඳු හා නිම්නවලින් යුත් මීටර් 60–425 උච්චත්වයකින් යුතු කන්නෙලිය රක්ෂිතය තුළ ඉහළ ජෛව විවිධත්වයක් දක්නට ලැබේ. එක් කුඩා ප්‍රදේශයක හමුවන වැඩිම ජෛව විවිධත්වය වාර්තා වන්නේද මෙය තුළය. ඒ නිසා මෙම වනය ජෛව විද්‍යාත්මක උණුසුම් කලාප හෙවත් Bio Diversity Hot Spot ලෙස හඳුන්වනු ලැබේ. අධික ජෛව විවිධත්වයක් පැවතුණද මේ තුළ ප්‍රාථමික වනාන්තර ඇත්තේ සුළු ප්‍රමාණයකි. වනාන්තරය පුරා පැතිර පවතින්නේ අලුතින් වැඩුණු ශාකවලින් යුත් ද්වතීය වනාන්තර (Secondary forest) වලිනි. මීට හේතුවී ඇත්තේ 1960 දශකයේ සිට 1970 අගභාගය වන තුරු තුනී ලැලී සංස්ථාවේ ගාල්ල ගිංතොට කම්හල වෙත තුනී ලැලි නිෂ්පාදනය සඳහා දැව ලබාගැනීමට දැඩි ලෙස මේ තුළ තිබෙන ශාඛ විනාශයට පත් කිරීමය.

වර්තමානයේ පවා දැව හෙලීම සඳහා ඉදිකරන ලද ගොඩනැගිලි සහ තාරදමා සකස්කළ මාර්ග පද්ධති වනාන්තරය තුළදී දැකගත හැකිය. ලෑලි සඳහා දැව කැපීම නතරවීමෙන් පසු වනාන්තරය ඝනව වැඩී තිබෙන අතර, අද වනවිට වන විනාශයක් සිදුවී ඇති බවට සලකුණුද මැකීගොස් තිබේ.

 

ජෛව විවිධත්වය

ශාක විශේෂ

කන්නෙලිය වනාන්තරයෙන් ශාඛ විශේෂ 301ක් වාර්තා වී තිබේ. මෙම ශාඛ විශේෂවලට ශාඛ, පදුරු සහ පැලෑටි අයත්වන අතර, ඉන් 25%ක්ම ශ්‍රී ලංකාවට ආවේණික වේ. මෙම ශාඛ විශේෂ අතුරින් ශාඛ විශේෂ 15ක් විශේෂයෙන්ම වඳවීයාමේ තර්ජනයට ලක්වී තිබෙන අතර, විශේෂ 26ක් අප රටෙන් වඳවීයාමේ තර්ජනයට ලක්ව තිබේ. මෙම වනාන්තරය තෙත් කලාපීය වනාන්තර අතුරින් ඉහළම ආවේණික, කාෂ්ට ශාඛ විශේෂ ප්‍රතිශතයක් (60%) සතුවන තෙත් කලාපීය වනාන්තර ලෙසද හඳුන්වාදීමට හැකිය.

 

සත්ව විශේෂ

කන්නෙලිය තුළ අනෙකුත් වැසි වනාන්තරයකට නොදෙවෙනි මට්ටමේ ඉහළ සත්ව විවිධත්වයක් දක්නට ලැබේ. මේ තුළින් පක්ෂි විශේෂ 120ක් පමණ හඳුනාගෙන තිබෙන අතර, එම පක්ෂීන් අතරට ශ්‍රී ලංකාවට අවේණික පක්ෂී 23න් 14ක් මේ වනවිට එහි වාසය කරන බවට තොරතුරු අනාවරණය කර තිබේ. එමෙන්ම මෙම වනාන්තරය තුළින් ක්ෂිරපායී විශේෂ 20ක් පමණ හඳුනාගෙන තිබෙන අතර, ඒ අතරින් ගෝනා විශාලතම ශාක භක්ෂක සත්ත්ව විශේෂය ලෙසත්, දිවියා විශාලම මාංශ භක්ෂක සත්ත්ව විශේෂය ලෙසත් වාර්තා වී තිබේ.

ඊට අමතරව රක්ෂිතය තුළින් උභයජීවී විශේෂ 19ක් හඳුනාගෙන තිබේ. ඒ අතරින් රැක් මැඩියන්, මොට හොඬු මැඩියා, ගල්පර මැඩියා ප්‍රධාන වශයෙන් හඳුන්වාදීමට හැකිය. එමෙන්ම ශ්‍රී ලංකාව තුළදී හමුවන විශාලතම සර්පයා වන ඉන්දියානු පිඹුරා, මූදු කරවලා, පළා පොළඟා, දෙපත් නයා ඇතුළු උරුග විශේෂ 50ක් ද මේ ආශ්‍රිතව හඳුනාගෙන තිබේ.

මේ වනවිට වනාන්තර තුළින් සමනල විශේෂ 53කට අධික සංඛ්‍යාවක් සහ පිනුම් කටුස්සා, බෝදිලිමා, රළු අං කටුස්සා, ගැටහොඬු කටුස්සා වැනි කටුසු විශේෂ රාශියක්ද කන්නෙලිය තුළින් හඳුනාගෙන තිබේ.

 

ස්වභාවික මංපෙත්

ස්වභාව ධර්මයේ විස්මිත දායාදයන් ගවේෂනය කිරීමට උනන්දුවක් දක්වන පාරිසරික සංචාරකයන්ට ඉතාමත් හොඳින් එම අත්දැකීම් විදීමට අවස්ථාව සලසාදීම සඳහා වනාන්තරය තුළ ස්වභාවික මංපෙත් රැසක් නිර්මාණය කර තිබේ. ඒවා අතරට ගුහාව මංපෙත, අනගිමල ඇල්ල මංපෙත, යෝධ පුස්වැල මංපෙත, යෝධ නවද ගස මංපෙත, නාරංගස් ඇල්ල මංපෙත, කබ්බලේ කන්ද යන මංපෙත් අයත් වෙයි.

වන පෙතට ඇතුළු වී මීටර් කිහිපයක් ඉදිරියට ගමන්කළ විට රක්ෂිතයේ ගලා එන සිසිල් දිය රැඳි ස්වභාවික නාන තටාකයක් හමුවේ. වනාන්තරයේදී හමුවන දිය ඇලිවලින් ස්නානය කිරීමට අවසර නොලැබෙන අතර, සංචාරය අවසානයේදී මෙයින් ස්නානය කිරීමට අවස්ථාව ලබා දේ. වනාන්තරය මැදින් වැටී තිබෙන මාර්ගය ඔස්සේ ගමන් කරන විට මංපෙතට පහළින් පිහිටා තිබෙන ගුහාය මංපෙත (වවුල් ලෙන) ඔස්සේ ගමන් කිරීම නැවුම් අත්දැකීමක් වන බව නොඅනුමානය. කුඩා දිය පහරක් ඒ තුළින්ද ගලාඑන අතර, ඒ තුළ වවුලන් සිය ගණනක්ද වාසය කරති. ලෙන තුළ තිබෙන අන්ධකාරය සහ සිසිලස අත්විඳගනිමින් අනෙක් පසින් මතුවූ විට වන පෙතේ දෙවැනි ගිමන්හල අසලින් මීටර් 300ක් පමණ පහළට ගොස්, ලී පාලමෙන් එගොඩ වූ පසු වනාන්තරයේ සුන්දරම දිය සුරතලී අනගිමල ඇල්ල දැක බලාගැනීමට අවකාශය ලැබේ.

අනගිමල ඇල්ලට තිබෙන පිවිසුම් මාර්ගය පසුකරගෙන ඉදිරියට යනවිට හෙක්ටයාරයක පමණ භූමි ප්‍රමාණයක පැතුරුණු %යෝධ පුස්වැල^ හමුවේ. සිංහරාජයේ තිබෙන පුස්වැලට පමණක් මෙම පුස්වැල දෙවැනි වේ. මංපෙත දිගේ තවත් කිලෝ මීටර් 05ක් පමණ ගමන් කළ විට %යෝධ නවඳ ගස^ දැකගැනීමට හැකියාව ලැබේ. මෙය අවුරුදු 300-500 අතර අතීතයකට උරුමකම් කියන රුක්ෂයකි. මෙම වෘක්ෂය තුනීලෑලි සංස්ථාව පැවති සමයේ කපාදැමූ වෘක්ෂයන්ගෙන් ඉතුරුවුණු වෘක්ෂයක් බවටද අපට සහාය දැක්වූ මාර්ගෝපදේශකවරිය පැවසුවාය. එතැන් සිට තරමක් දුරට ඉදිරියට ගියවිට වනපෙතේ අවසාන ගිමන්හල හමුවේ. අවශ්‍ය නම් මෙම ස්ථානයේ සිට ආහාර ලබාගැනීමට හැකිය. එම ගිමන්හලේ සිට පහළට ගමන්කළ විට පෙනකැටි විහිදුවමින් ඇද හැලෙන අඩි 200ක උසින් නාරංගස් ඇල්ල නැරඹීමට හැකිවෙයි.

මෙම මංපෙත්වලට අමතරව පිහිටි මංපෙතක් ලෙස %කබ්බලේ^ කන්දද තරණය කිරීමට හැකියාව ලැබෙන අතර, ඒ සඳහා දිනක් ගතවේ. එම කන්ද තරණය කිරීම මිහිරි අත්දැකීමක් වන අතර එහි මුදුනතට ගාල්ල නගරය රමණීය අන්දමින් දැකබලාගැනීමට අවකාශය ලැබේ. (මෙවර සංචාරයේදී අපහට එම ඉසව්ව කරා ගමන් කිරීමට කාලවේලා නොතිබුණු හෙයින් ඉදිරි සතිකයදී එහි සුන්දර දසුන් ගෙන ඒමට බලාපොරොත්තු වෙමු.) මෙම මංපෙත් ආවරණය කරමින් පහසුවෙන් වනය නැරඹීම සඳහා සංචරණ සැලසුම් (Tour Plan) ත්‍රිත්වයක් ඔවුන් විසින් ඒ සදහා ගතවන කාලයත් සමග හඳුන්වා දී තිබේ.

 

සංචරණ කලාපය

ගතවන කාලය 

අයකරනු ලබන මුදල

ගුහාව මංපෙත,අනගිමල ඇල්ල මාර්ගය 

පැය.03  රු.400

 යෝධ නවඳගස, නාරංගස් ඇල්ල මාර්ගය 

පැය04  රු.800

කම්බලේ කන්ද මාර්ගය 

පැය 06  රු.1000

 

සේවාවන්

මේ සංචාරයේදී කන්නෙලිය වනාන්තරයේ තිබෙන සියලුම සුවිශේෂිතා පිළිබඳ දැනුම්වත් කිරීම සඳහා සෑම සංචාරක කණ්ඩායමකටම මාර්ගෝපදේශකයෙකු ලබාදෙයි. වනාන්තරයේ විවිධ ස්ථානවල නිරීක්ෂණ අට්ටාල සහ ගිමන් හැරීමට ස්ථාන ලබාදී තිබේ.

 

විනෝදාස්වාදය

නිදහසේ ඇවිදීමට ප්‍රිය කරන සංචාරකයන්ට සහ පාරිසරික ඡායාරූපකරණයේ නියැළෙන ඡායාරූප ශිල්පීන්ට ඡායාරූපකරණයේ යෙදෙන්නට මෙම රක්ෂිතය කදිම තෝතැන්නකි. එමෙන්ම මෙම මංපෙත ආවරණය කිරීම සඳහා දින 02ක් ගතවන හෙයින් අවශ්‍ය නම් වනපෙත තුළ නවාතැන් පහසුකම් ගැනීමටද පහසුකම්ද සලසා දී තිබේ. ඒ සඳහා බත්තරමුල්ලේ, රජමල්වත්ත මාවතේ පිහිටි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් එහි සංචාරවයේ නියලීමට මත්තෙන් අවසර ගතයුතු අතර, ඒ පිළිබඳ තොරතුරු 0112-866631 හෝ 0112 866 631 ඇමතීමෙන් ලබාගත හැක.

 

සැලකිලිමත් බව

සංචාරය අතරතුරදී කිසිදු දිය ඇල්ලකට හෝ දිය දහරාවකට බැසීම හෝ ස්නානය කිරීම තහනම්ය. (පිවිසුම් දොරටුව අසල ඇති දිය පහරින් ස්නානය කිරීමට හැක). සංචාරය සඳහා කිසිදු ආකාරයක මත්ද්‍රව්‍ය, දුම්වැටි හෝ සංගීත භාණ්ඩ රැගෙන යාමටද හැකියාවක් නොමැත. පොලිතින් වනාන්තරය තුළට රැගෙන යාමටද අවසර ලැබෙන්නේද නැත. එමෙන්ම කිසිදු ආකාරයක ඉවතලන ද්‍රව්‍ය පරිසරයට බැහැර කිරීමෙන් වැළකිය යුතුය. සුන්දර මතකයන් පමණක් හිතේ තබාගෙන පියසටහන් පමණක් එහි ඉතිරිකර පැමිණීමෙන් මෙම සුන්දර වනපෙතේ මිහිර අනාගත පරපුරටද භුක්ති විඳීමේ භාග්‍ය උදාවේ.

 

සටහන සහ ඡායාරූප - මංජු ප්‍රදීප් කුමාර / තිසර ගංගාදර

 

2016-10-16-ent-40
2016-10-16-ent-39
2016-10-16-ent-38
2016-10-16-ent-37
2016-10-16-ent-36
2016-10-16-ent-35
2016-10-16-ent-34
2016-10-16-ent-33
2016-10-16-ent-32
2016-10-16-ent-31
2016-10-16-ent-30
2016-10-16-ent-29
2016-10-16-ent-27
2016-10-16-ent-26
2016-10-16-ent-24
2016-10-16-ent-23
2016-10-16-ent-22
2016-10-16-ent-21
2016-10-16-ent-20
2016-10-16-ent-19
2016-10-16-ent-18
2016-10-16-ent-17
2016-10-16-ent-16
2016-10-16-ent-15
2016-10-16-ent-14