පැරණි තාක්ෂණය නවීන තාක්ෂණයෙන් ගෙනෙන ‘පුරාණ තාක්ෂණ කෞතුකාගාරය’
ඈත අතීතයේ සිටම ලංකාවේ විසූ ජනයා සිය දෛනික කටයුතු සහ වෘත්තීය කටයුතු පහසු කර ගැනීම සඳහා විවිධ තාක්ෂණික ක්‍රමවේද භාවිත කර තිබූ බව ඉතිහාසය පිරික්සීමේදී මනාව පෙනී යයි. ලෝකයේ බිහිවූ බොහෝ ශිෂ්ටාචාරවලට සමගාමීව මෙරට සිටි ජනයා භාවිතා කළ තාක්ෂණයන් තාක්ෂණික අංශයෙන් ඉතා උසස් තත්වයක තිබූ බවට නිසැකය. ඔවුන් භාවිතා කළ ඇතැම් තාක්ෂණික ක්‍රමෝපායන් පිළිබඳව අදටත් විශ්වාස කළ නොහැකි අවස්ථා එමටය. එවැනි දියුණු තාක්ෂණ ක්‍රමයන් භාවිතා කළ පැරැණ්නන්ගේ එම තාක්ෂණික කරුණු එක් තැනකට එකතු කරමින් නිර්මාණය වුණු පොළොන්නරුව ‘පුරාණ තාක්ෂණ කෞතුකාගාරය’ පිළිබඳව අද ඔබට ගෙන ඒමට අප සිතුවෙමු.
2019 වසරේදී විවෘත කළ පොළොන්නරුව ‘%පුරාණ තාක්ෂණ කෞතුකාගාරය’^ වන අතර ලංකාවේ පුරාණ තාක්ෂණයන් සම්බන්ධයෙන් ඉදි වී තිබෙන පලමු කෞතුකාගාරය වන්නේද මෙම කෞතුකාගාරයයි.
පුරාණ තාක්ෂණ කෞතුකාගාරය නිර්මාණය කර ඇත්තේ අනෙක් කෞතුකාගාරයන්ට සාපේක්ෂව වෙනස් තේමාවකට අනුවයි. මානවයාගේ ආරම්භයේ සිටම ඔවුන් භාවිත කළ සියළුම පුරාණ තාක්ෂණයන් නොයෙකුත් ක්‍රම ඔස්සේ පුළුල් විග්‍රහයකින් මෙහි ප්‍රදර්ශනය කර තිබේ. මැදිරි කිහිපයකින් සමන්විත මෙම කෞතුකාගාරයේ පලමු මැදිරිය නරඹන්නන්ගේ අධ්‍යන කටයුතු සඳහා වෙන්කර තිබේ. එමෙන්ම පොළොන්නරු යුගය පිළිබඳව සහ එහි තිබූ විවිධ ශිල්පීය ක්‍රමයන් මෙම මැදිරියේ ප්‍රදර්ශනය කර තිබේ. මෙහි දෙවන මැදිරියෙහි ප්‍රදර්ශනය වන්නේ ප්‍රාග් ඓතිහාසික යුගය පිළිබඳවයි. ප්‍රාග් ඓතිහාසික යුගයේ විසූ මානවයන්ගේ අභිචාර විධි, ඔවුන් ජීවිතය ගෙනගිය ආකාරය පිළිබඳව තොරතුරු රැසක් දෙවන මැදිරියෙන් ප්‍රදර්ශනය කෙරෙයි. විශේෂයෙන් ගල් ආයුධ නිර්මාණය, ඔවුන්ගේ දෛනික ක්‍රියාවලීන් සඳහා ඔවුන් තනාගත් තාක්ෂණික ක්‍රමයන් පිළිබඳව මනා දැනුමක්, අත්දැකීමක් මෙයින් ලබා ගත හැකි බව පැවසිය හැක.
පුරාණ තාක්ෂණ කෞතුකාගාරයේ තෙවැනි මැදිරිය වෙන් කර ඇත්තේ ගල් යුගයෙන් පසුව බිහිවූ අවධියේ කුඹල් කර්මාන්තය සිදු වූ ආකාරය පිළිබඳව දැනුම ලබා දීමටය. එහිදී අතීතයේ මැටි බඳුන් නිෂ්පාදනය කළ ආකාරය, සකපෝරුව වැනි යන්ත්‍ර භාවිත කළ ආකාරය සහ ඒවා නිර්මාණය වූ ආකාරය ඇතුළු අතීතයේ කුඹල් කර්මාන්තයේදී භාවිතා වුණු පැරණි තාක්ෂණික ක්‍රමෝපායන්ද මෙහි දී ප්‍රදර්ශනයට තබා ඇත. එමෙන්ම මුල් කාලීන මානවයන් යකඩ නිස්සාරණ කටයුතු සිදු කළ ලෝහ තාක්ෂණය පිළිබඳවද මෙහිදී ප්‍රදර්ශන භාණ්ඩ තබා තිබේ. ක්‍රි.පූ. 1000 - 900 කාලයේදී පමණ ආරම්භ වූ බවට සැලකෙන ලෝහ තාක්ෂණය ක්‍රමයෙන් දියුණු වූ ආකාරය පිළිබඳව මෙම කෞතුකාගාරයෙන් මනා දැනුමක් ලැබිය හැකිය. එමෙන්ම වාත්තු තාක්ෂණ ක්‍රමවේදයන් පිළිබඳවත් මෙම තෙවැනි මැදිරියේ ප්‍රදර්ශනාත්මක භාණ්ඩ සහ ලිපි මඟින් දක්වා තිබේ.
මෙහි පවත්වාගෙන යන නව්‍යකරණ මධ්‍යස්ථානය තුළින් නවීන තාක්ෂණික ක්‍රමවේදයන් මඟින් නරඹන්නන් හට පුරාණ තාක්ෂණය පිළිබඳ නවමු අත්දැකීමක් ලබා ගැනීමට හැකිය. එහිදී ත්‍රිමාණ තාක්ෂණය (3D) ඔස්සේ සකපෝරුව වැනි උපකරණවල ක්‍රියාකාරීත්වය අත්විඳිය හැකිය. එමෙන්ම නවීන තාක්ෂණය මඟින් සකපෝරුව මෙහෙයවා මැටි බඳුන් නිර්මාණය කර ප්‍රදර්ශන භාණ්ඩවලින් ලබාගත් දැනුම ඒ මොහොතේදීම ප්‍රායෝගිකව අත්හදා බලමින් අත්දැකීමක් ලබාගැනීමටද මෙහිදී අවස්ථාව සැලසේ. තවද Virtual Reality තාක්ෂණය ඔස්සේ සීගිරි උද්‍යානය, රජ මාලිගය වැනි ස්ථානද දැක බලාගැනීමට ද මෙම කෞතුකාගාරය නරඹනන්නන් හට අවස්ථාව සකස් කර ඇත.
පොළොන්නරුව යනු කෘෂිකර්මාන්තයට අරක් ගත් දිස්ත්‍රික්කයක් ලෙස හැඳින්විය හැක. විශේෂයෙන් පොළොන්නරු යුගයේදී ලංකාව කෘෂිකර්මාන්තය අතින් විශාල දියුණුවක් ලබා තිබේ. මේ නිසාම කෘෂිකර්මාන්තය පිලිබඳව සාකච්ඡා කිරීමේදී පොළොන්නරු ගොවියා අමතක කළ නොහැකිය. විවිධ යුගයන්වලදී ලංකාවේ කෘෂිකර්මාන්තය, කෘෂි තාක්ෂණයේ මුල් අවධිය සහ කෘෂිකර්මාන්තයේ විධි පිළිබඳව ප්‍රදර්ශනාත්මක භාණ්ඩ සඳහා මෙහි සිව්වැනි මැදිරිය වෙන් කර තිබේ. අතීතයේදී ලංකාව ස්වයංපෝෂිත ආර්ථිකයක් කරා ගෙනයාමට පැරැණ්නන් භාවිත කළ උපක්‍රම පිළිබඳවද මෙහිදී දක්වා ඇත. එමෙන්ම කෘෂිකර්මාන්තය හා සම්බන්ධ වාරි තාක්ෂණය පිළිබඳවද මෙහි ප්‍රදර්ශන භාණ්ඩ තිබේ. වැවක කොටස්, වැවෙහි සොරොව්, පිටවාන, බිසෝකොටු, වාරි ඇළ ඇතුළු අංගයන් තුළින් සිදුවන සේවාව පිළිබඳව මෙයින් මනා දැනුමක් ලබා ගත හැකිය. ඉතා ආකර්ශණීය ආකාරයෙන් මෙහි ප්‍රදර්ශණ භාණ්ඩ නිර්මාණය කර ඇති අතර ඇතැම් ප්‍රදර්ශණ භාණ්ඩ පුරාවිද්‍යා කැණීම් තුළින් සොයාගත් ස්වභාවික වස්තූන්ය. අතීත ලාංකිකයන් විවිධ ඉදිකිරීම් සඳහා පාෂාණ භාවිතා කිරීමේදී එකිනෙක සම්බන්ධ කිරීම සඳහා භාවිත කළ තාක්ෂණික අංග රැසක් තිබේ. විශේෂයෙන් කැපුම් කට්ටි ක්‍රමය, කුඩුම්බි ක්‍රමය, කප්පිළි ක්‍රමය ඒ අතර ප්‍රධාන වේ. තවද ගොඩනැගිලි, පොකුණු, ගල් කුළුණු, දොරටු, පාලම්, බිසෝකොටු, අමුණු, වෙහෙර විහාර ගොඩනැගීම් සඳහා මෙම ක්‍රමයන් භාවිතා කර තිබේ. අතීත නිර්මාණ ශිල්පීන් ස්ථූප නිර්මාණයෙහිලා යොදා ගත් විවිධ ක්‍රමයන්ද රැසකි. එවැනි දෑ පිළිබඳවද මෙම කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත. එය මෙහි පස්වැනි මැදිරියෙහි ඇත. විශේෂයෙන් මුල් කාලීන මානවයින් වාසස්ථාන ලෙස භාවිතා කළ ලෙන් තුළ කටාරම් කෙටීමේ තාක්ෂණය පිළිබඳවද මෙහිදී මනා විවරණයක් සිදු කරයි.
ලංකා ඉතිහාසයෙහි පරික්ෂා කිරීමේදී එකල නිර්මාණ ශිල්පියා ලෝකයම මවිත කරමින් සිදු කළ මූර්ති, සිතුවම් රැසක් අපට හමුවේ. එමෙන්ම දැව තාක්ෂණයෙන් විස්කම් පෑ කලාකරුවන්ද අතීතයේ ඇත. මූර්ති නිර්මාණයේදී ඔවුන් භාවිත කළ තාක්ෂණවේදයන්, විධික්‍රමයන් පිළිබඳව මෙහි සයවන මැදිරිය වෙන් කර තිබෙන අතර පැරැන්නන් ගොඩනැගිලිවල වහලයන් නිර්මාණය සඳහා යොදාගත් දැව වෑද්දුම් තාක්ෂණය පිළිබඳවද මෙම ප්‍රදර්ශන කුටියෙහි ඇති ප්‍රදර්ශන භාණ්ඩවලින් දැකගත හැකිවේ. එමෙන්ම පේෂකර්ම තාක්ෂණය, ගණිත මිනිත කටයුතු සිදු කළ ආකාරය පිළිබඳව ප්‍රදර්ශන භාණ්ඩ සඳහා හත් වැනි මැදිරිය වෙන් කර තිබේ. තවද අතීත ලාංකිකයන් නාවුක කටයුතු සිදු කළ ආකාරය පිළිබඳව බොහෝ තොරතුරු මෙම ප්‍රදර්ශන කුටියෙහි තිබේ. කුවේණියගේ කපු කැටීමේ සිට විවිධ යුගයන් වලදී රෙදි පිළි විවීම, නූල් නිර්මාණය, ඔවුන් භාවිත කළ තාක්ෂණයන් පිළිබඳව තොරුතුරු රැසක් මෙම කොටසෙහි ප්‍රදර්ශනයට තබා ඇත.
මීට අමතරව ලංකාවට අළුත්ම සහ අමුතුම අත්දැකීමක් වන ඉටි ප්‍රතිමා කෞතුකාගාරයක්ද මෙහි පවත්වාගෙන යෑම බොහෝ නරඹන්නන්ගේ ආකාර්ශනය වැඩී වීමට හේතු වී ඇත. මෙම ඉටි කෞතුකාගාරය තුළ 1948 නිදහසින් පසුව ලංකාව පාලනය කළ බොහෝ රාජ්‍ය නායකයින්ගේ රුව ඉටියෙන් නගා ඇත.
ඉතා දැකුම්කළු සහ ආකර්ශණීය පෙනුමකින් මෙම කෞතුකාගාරයේ ප්‍රදර්ශන කුටි නිර්මාණය කර තිබේ. මෙම කෞතුකාගාරය සතියේ දින හතෙහිම උදෑසන 9.00 සිට සවස 5.00 දක්වා විවෘතව ඇති අතර සති අන්තයේදී බොහෝමයක් නරඹන්නන් පැමිණෙන බව අපට දැක ගන්නට ලැබිණි. එමෙන්ම විවේක පහසුකම්, ආපනශාලා පහසුකම්ද මෙම කෞතුකාගාරයේ තිබෙන අතර දුර බැහැරින් පැමිණෙන සංචාරකයින් සඳහා එය මනා පිටිවහළක් වේ.
කැළුම් දේවින්ද / ඡායාරූප - සුපුන් උදයංග