පැරකුම් සමුදුර
සමුද්‍රයක් තිබෙන්නේ රටක් වට කර ගෙනය. යම් හෙයකින් රටක් තුළ සමුද්‍රයක් තිබිය හැකිද?
පිළිතුර ඔව් යැයි කිවහොත් සමහර විට ඔබ මට උපහාසයෙන් සිනාසෙනු ඇත.
නමුත් මම පිළිතුර ඔව් යැයි කියමි.
එවිට පැන නගින ප‍්‍රශ්නය ඒ සමුද්‍රය කුමක්ද කියාය.
පරාක‍්‍රම සමුද්‍රය යැයි මම පිළිතුරු දෙමි.
බොහෝ ඈත අතීතයේ පුලතිසි නුවර රාජධානිය පැවැති සමයේ ගොඩනැංවුණු පරාක‍්‍රම සමුද්‍රය මහා පරාක‍්‍රම බාහු රජුගේ නිර්මාණයකි. වර්ෂ 1153ත් 1186ත් අතර කාලයේ ලංකාවේ රජකම් කළ මහා පරාක‍්‍රම බාහු රජු රජරටට වැව් අමුණු විශාල ගණනක් දායාද කළේය. විහාරස්ථාන බොහෝ ගණනක්ද කරවීය. ඒ සමග ලංකාව සෞභාග්‍යමත් කළේය. ලංකාවේ වැවූ වී පිටරටවලට පවා පැටවීමට තරම් එකල ලංකාවේ කෘෂිකර්මය දියුණු විය. ඒ සඳහා මේ පරාක‍්‍රම සමුද්‍රයේ එකතු වූ මහා ජල කඳ පිටිවහලක් වූයේය.
පොළොන්නරුවට පය තැබූවිට නගරයේ පැත්තකින් පෙනෙන පරාක‍්‍රම සමුද්‍රය වූ කලී පොළොන්නරුවේ සංකේතය යැයි කිවහොත් එය අතිශයෝක්තියක් නොවේ. පසෙකින් පූජනීය නගරයත් අනෙක් පැත්තෙන් පරාක‍්‍රම සමුද්‍රයත් වෙන් කරමින් ඉදිකෙරුණු පාරේ යන විට පරාක‍්‍රම සමුද්‍රයේ සීතල ජලය සිපගෙන හමා එන පවන ගත සනසාලයි. එවිට සිතෙන්නේම වැව් බැම්මට නැග ඒ වැව් බැම්ම දිගේම ඇවිදින්නටය. ඒ සිතිවිල්ල නිසාම මමත් පරාක‍්‍රම සමුද්‍රයේ වැව් බැම්මට නැග්ගෙමි.
පසෙකින් පෙනෙන්නේ දීප උයනයි. ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් 2017 ජුනි 10 වැනිදා ජනතා අයිතියට පවරා දුන් දීප උයන පොළොන්නරුවට එන ජනතාවට නිදහසේ විවේකය විඳගැනීමට නිර්මාණය කරන ලද්දකි.
මහ පැරකුම්බාවන් විසින් ඔහුගේ රාජ්‍ය සමයේදී ද පොළොන්නරුවට දීප උයනක් දායාද කර දෙනු ලැබිණි.
මහා වංශයට අනුව මේ ද්වීපෝද්‍යානය විද්‍යා මණ්ඩපයකින් ක‍්‍රීඩා මණ්ඩපයකින් සහ තවත් මණ්ඩපවලින් සැදුම් ලත් අතර මලින් පිරුණු පොකුණුවලින්ද තල්, කිතුල්, නා, දොඹ, වැනි ශාකවර්ගවලින් ද සමන්විත වීලූ.
මේ දීප උයන පිළිබඳව බොහෝ තොරතුරු චූල වංශයෙහි සඳහන් වේ. ඊට අනුව එදා පැවැති දීප උයනෙහි තිබූ මණ්ඩප අතර, දෝලා මණ්ඩපය, මයුර මණ්ඩපය, සනි මණ්ඩපය, අදස මණ්ඩපය, ශෘංගාර විමන ආදියද වූයේය. ඊට අමතරව, අනන්ත පුෂ්කරණිය නම් වූ ශිලා පොකුණක්ද චිත‍්‍ර පුෂ්කරණිය නම් වූ චිත‍්‍රයන්ගෙන් සමන්විත වූ චිත‍්‍ර පොකුණක් ද වීය. මෙම පොකුණ පරාක‍්‍රමබාහු රජු ස්නානය කළ සහ ජල ක‍්‍රීඩා කළ ඒවා වශයෙන් හඳුනාගෙන ඇත. ඒ ද්වීපෝද්‍යානය අනුව යමින් යළි ඉදිකළ මේ දීප උයනද විවිධ තුරු ලතාවන්ද, මල් පිපුණු පොකුණුවලින් ද සමන්විතය. උයන මැදින් යන ඇල මාර්ගය දෙපස හණ ගස් වවා ඇති අතර විසල් ශාක මේ උයනට සෙවණ සලසයි.
දීප උයනේ කෙළවර ඇති පඩිපෙළ තරණය කළ විට යළිත් නෙතු ගැටෙන්නේ අර මහා පැරකුම් සයුරයි. එහෙත් ඊට මෙහායින් පෙනෙන නටබුන් අත්තිවාරම, පැරකුම් සයුරට කලින් නරඹන්නාගේ මනදොල පුරවයි.
ෂා....
මම අමන්දානන්දයට පත්ව අර නටබුන් අත්තිවාරම වෙත ගියෙමි.
නිශ්ශංකමල්ල රජ මාලිගය යන පුවරුව ඒ පාදම අසල සවිකර තිබේ.
කාමර ගණනාවක් වෙන්කෙරුණු ඒ පාදම වටේටම ගමන් කළ මගේ නෙත් පැහැර ගත්තේ පසෙකින් වූ උස් වූ මණ්ඩපයයි. එහි විසල් සිංහයකු ද ඒ ඉදිරිපිට ගල්කණු රැුසක් ද වූයේය. ඒ ගල් කණු ගණන් කරන්නට අමතක වූ බව මට හැෙ`ගන්නේ දැන්ය.
කෙසේ වුවත් මේ ගොඩනැගිල්ල නිශ්ශංකමල්ල රාජ සභාව බවත් අර විසල් සිංහයා, රජුගේ සිංහාසනය බවත් ඒ ඉදිරිපිට වූ පුවරුවක සටහන් කර තිබේ. නමුත් සිංහයාගේ බඩට පහළින් වූ අවකාශයේ අකුරු වගයක් සටහන් කර තිබෙන අතර එහි ඇත්තේ මේ නිශ්ශංකමල්ල රජුගේ සිංහාසනය බවය. ඒ ඉදිරිපිට ගල් කණු අසල ඇති අසුන්වල යුවරජුද, ඈපාවරුද, සේනාධිපතිද, වෙළෙඳ මණ්ඩල ප‍්‍රධානිද ආදී වශයෙන් රාජ්‍යයේ වැදගත්ම තනතුරු දැරූවන් වාඩි වූ බව ද කියති.
අර ගල් කණුවලට ඉහළින් ලීයෙන් තනා උළු සෙවිළි කළ පියස්සක් ද තිබී ඇත.
විශ්මයෙන් අයාගත් නෙතින් එම රාජ සභාව දෙස බලා උනිමි. මේ අතීතය නරඹන්නට පැමිණ සිටි සංචාරක යුවලක් ගල් කණු අතර සිටිමින් ඡුායාරූප ගන්නා හැටි බලන්නට කදිම දසුනකි.
වැව් ඉවුරේ පලූ ගසකි. හාත්පස තිබුණු විවිධ ශාක වර්ග අතරින් ඉදිරිය බැලූ විට පෙනෙන්නේ වැව් මැද ඇති පුංචි දුපත්ය. ආසන්නයේම ඇති දුපතේ ගල් කණු කිහිපයක්ද ඊට මැදි වූ ගඩොල් ගොඩක්ද තිබේ. එය කිසියම් ගොඩනැගිල්ලක නටබුන් බවට සැකයක් නැත.
තවත් මෙබදුම දුපත් දෙකක් සමුද්‍රය මැද්දේ තිබේ. ඒවාද කිසියම් ගොඩනැගිලිවල නටබුන්වලින් සමන්විතය. සමහරු කියන්නේ ඒවා රජුගේ සීත මාලිගා බවය.
විය හැකිය!
පුලතිසි පුරය යනු වියළි කලාපයකි. වසරේ වැඩිම මාස ගණනක් ගිනි ගහන අව්වෙන් දැවෙයි.
සාමාන්‍ය මිනිසකුට කෙසේ වෙතත් රජෙකුට මේ අහස කඨෝරය. ඉතින් ඔහුට සීත මාලිගයක් අවශ්‍යය. හාත්පස ජලයෙන් මැදි වූ බැවින් මේ සීත මාළිගයට සීතල කෙසේ වෙතත් වියළි බව නොදැනෙනු ඇත.
ඈත ඔරුවක් යාත‍්‍රා කරනු පෙනේ්. හැබැයි එය අගුලකින් පැදිය යුතු පුංචි පහේ ඔරුවකි. සමහර විට එය ධීවරයකුගේ විය හැකිය. නොඑසේ නම් සංචාරක නඩයක් වැවේ යාත‍්‍රා කරනවාද විය හැකිය.
කෙසේ වෙතත් ඒ ඔරුව විසල් ජලතලය අතරින් පැද යන හැටි බලාසිටීමට ප‍්‍රිය උපදවන මනරම් දසුනකි. ඉතින් මම බොහෝ වේලාවක් එදෙස බලා උනිමි.
නැවත වතාවක් පරාක‍්‍රම සමුද්‍රයේ බැම්ම දිගේ ඉදිරියටම ඉදිරියටම ගමන් කළෙමි. අවසානයේ ගමන නතර වූයේ සමුද්‍රයේ ජලය පිටාර ගලන ඇළ මගක් අභියසය. ඒ ඇළෙහි ගිලී දිය නාන්නට බොහෝ අය පෙළඹී සිටිති.
ඊට මදක් ඔබ්බෙන් ඇත්තේ පොත් ගුල් විහාරයයි. මහ පැරකුම්බාවන් විසින් නිර්මාණය කරවන ලද පොත්ගුල් වෙහෙරේ විශිෂ්ඨතම නිර්මාණය වන්නේ පැරකුම්බා ප‍්‍රතිමාවයි. පිහිටි ගලක මැදට වන්නට නෙළන ලද එම ප‍්‍රතිමාවේ දිගු කොණ්ඩයක් ද දිග රැුවුලක්ද ඇතුළත්ය. දෝතින්ම අරගත් පුස්කොළ පොතකි. සමහරු එය ගස්ලබු බෑයක් ලෙස හදුන්වන නමුත් හුදෙක් ඒ විහිළුවටය.
කෙසේ වෙතත් මේ ප‍්‍රතිමාව පරාක‍්‍රමබාහු රජුගේද නැත්නම් පුලතිසි ඉසිවරයාගේද යන්න ගැන නිශ්චිත තීරණයක් නැත.
කුමක් හෝ වේවා, මම මේ ප‍්‍රතිමාව දෙස බලා උන්නෙමි. ඉනික්බිති ඉන් නික්ම යළිත් පරාක‍්‍රම සමුද්‍රයේ ඉවුර අද්දරටම ගියෙමි. එතැන වූයේ කුඩා උද්‍යානයකි. ශරීර සුවතාවය වෙනුවෙන් ඇවිදීම සඳහා දිගු මං පෙතක්ද, ව්‍යායාම කිරීම සඳහා සවි කළ උපකරණ කිහිපයක්ද මේ උයනේ විය.
එහෙත් මා කළේ සිමෙන්ති බංකුවක් මත වාඩි වී වැවේ දිය දහරත් ඊට ඔබ්බෙන් වූ තුරුලතා සමූහයත් දෙස බලා සිටීමය. කෙමෙන් අඳුර ළඟාවිය. එවිට සමුද්‍රයේ එහා සීමාවේ පිහිටි ගොඩනැගිලිවල විදුලි බුබුලූ දැල්විණි.
අලියා ඇවිත්
සුවතා මං තීරුවේ ඇවිදිමින් සිටි අයෙක් පැවසුවේය.
අලි බැලිල්ලත් බලි බැලිල්ලත් සෑහීමකට පත් නොවන දෙයක් බැවින් අපිදු ඒ අලියා බලන්නට ගියෙමු. විදුලිය වැටට ඔබ්බෙන් සිටි ඒ අලියා උගේ පාඩුවේ තණකොළ භුක්ති විඳිමින් සිටියේය.
මේ අලි පරාක‍්‍රම සමුද්‍රය හරහා පිහිනීමටද සමත්තුය. ඔවුන් සමුද්‍රය හරහා එහි එගොඩ මෙගොඩ දෙකෙහිම සැරිසන බව ද කියති.
සන්ධ්‍යාව කෙමෙන් ළංවෙයි. ඉර බැස ගොස් අඳුර හාත්පස වෙලාගන්නට කලින් මින් නික්ම යා යුතුය. එබැවින් පැරකුම් සමුදුරේ ජලය සිප වැළඳගෙන හමායන සිසිල් සුළගේ පහස විඳ විඳ සිටින්නට පුළුවන්කමක් නැත.
ශාන්ත කුමාර විතාන
සේයාරූ: දිනේශ් පෙරේරා