පාරු පාලමේ සිට සෙලෙස්තිනා සොයා ගියෙමු
වර්තමානයේ 'කොළඹ' කිව්ව ගමන් ම අපේ හිතේ මැවෙන්නේ බොහොම ජනාකීර්ණත්වයෙන් පිරුණු තදබදයෙන් පිරීගිය නගරයක චිත්‍රයක්. සුනිල් එදිරිසිංහ මහතාගේ මියුරු හඬින් ගැයෙන 'පාරු පාලමෙන් කොළඹට' ගීතය පැරණි කොළඹ නගරයේ තිබූ අසිරිය වර්ණනා කරමින් ලියැවුණු ගීතයක්. මේ අපූරු ගීතය දවසක් අහම්බයකින් වගේ කන වැකුණු අවස්ථාවක අපටත් හිතුණා ඒ ගීතයෙන් කියැවෙන සුන්දර කොළඹ හොයාගෙන යන්න. පහුගිය දවසේ අපි නැවැතුනේ කයිමන් දොරකඩ අසලින්නේ. ඉතින් කයිමන් දොරකඩට පස්සේ අපිට හම්බෙන බේරේ වැවෙන් අද කතාව අපි ආරම්භ කරමු.
හඳ පෑයූ බේරේ වැව
එදා සෙලෙස්තිනාගේ සිනහව බේරේ වැවට උපමා කළත් අද නම් බේරේ වැව කිසිම උපමාවකට ගන්න බැහැ. ඒකට හේතුව අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. කොහොම වුණත් මේ බේරේ වැවට ලොකු ඉතිහාසයක් තිබෙනවා. හය වන විජයබාහු රජුගේ සේනාවේ ප්‍රහාරවලින් කොළඹ බලකොටුව ආරක්ෂා කරගන්න පෘතුගීසින් 1521දී බේරේ වැව නිර්මාණය කළ බව කියැවෙනවා. කොළඹ නගරයේ තිබූ සහ දැනට තිබෙන ඇල මාර්ග බොහෝමයක් බේරේ වැවට සම්බන්ධ වෙනවා. ඒ වගේම බේරේ වැවේ දූපත් කිහිපයක් පිහිටා තිබුණු බවත් කොම්පඤ්ඤ වීදිය කියන්නේ ඉන් එක දූපතක් බවටත් මතයක් තිබෙනවා.
පාරු පැදපු බස්තියන් ඇලේ පයින් යමු සෙලෙස්තිනා
අපේ ගමනේ එක් දුෂ්කර කොටසක් වුණේ බස්තියන් ඇල සොයා ගිය ගමනයි. ඇත්තටම බස්තියන් ඇලක් දැන් ඉතුරු වෙලා නැහැ. ඒ වගේම බස්තියන් ඇල තිබුණු තැන ගැන මතවාද ගණනාවක්ම තිබෙනවා. පිටකොටුව පාවෙන වෙළඳ සංකීර්ණය පිහිටලා තිබෙන්නේ බස්තියන් ඇල ආශ්‍රිතව කියලයි එක් මතයකින් කියැවෙන්නේ. තවත් මතයකට අනුව බස්තියන් ඇල කියන්නේ පිටකොටුවේ පිහිටා තිබෙන හරස් වීදීවලටයි. පොදු මතය අනුව නම් පිටකොටුවේ තිබෙන හරස් වීදි ඉස්සර තිබිලා තිබෙන්නේ ඇල මාර්ගයක් විදිහටයි. ඉංග්‍රීසීන්ගේ පාලන කාලයේදී මේ ඇල මාර්ගය ගොඩ කරලා සංවර්ධනය කරලා තිබෙනවා.
කබාකුරුත්තාව
කබාකුරුත්තාව කියන ඇඳුම තමයි ගම්පෙරළිය චිත්‍රපටයට යොදාගෙන තිබෙන්නේ. ඒ කාලේ ජීවත්වුණු කාන්තාවන් අතරේ මේ ඇඳුම ඉතා ජනප්‍රියත්වයට පත් වී තිබෙනවා.
කවි නෑසෙන මහ මංකඩ
දැන් අපි ඇවිත් ඉන්නේ අපේ ගමනේ දුෂ්කරම අවස්ථාවටයි. මහ මන්කඩ කවි මඩුවක් ගැන හෝ මහ මන්කඩ ගැන සැලකිය යුතු තොරතුරක් ලබාගත හැකි මූලාශ්‍රයක් නැහැ. ඒ නිසා අපිට සිදු වුණා පාරු පාලමෙන් කොළඹට ගීතයේ නිර්මාණකරුවා සොයා යන්න. ඔහුට අනුව මහ මන්කඩ කියලා හඳුන්වලා තිබෙන්නේ අද 'ග්‍රෑන්පාස්' ප්‍රදේශයටයි. ඒ කාලේ මහ මන්කඩ ප්‍රදේශය කොළඹ නගරයේ ප්‍රධාන සංධිස්ථානයක් හැටියට සලකලා තිබෙනවා. එහි නිරන්තරයෙන් කවිකාරයන් සහභාගී වුණු කවි මඩු පවත්වා තිබෙනවා වගේම කවිමඩු ජනතාවට විනෝදාස්වාදයක් සපයන ප්‍රධාන අංගයක් වෙලා තිබෙනවා.
ගමනේ අවසානය ට්‍රෑම් කාර් එකෙන්
ට්‍රෑම් කාර් සේවාව කියන්නේ 1960 දශකයෙන් පසු අභාවයට ගිය ප්‍රවාහන සේවයක්. එය සිදුවෙන්නේ බස් රථවල ආගමනයත් සමගයි. එතෙක් කාලයක් ට්‍රෑම් කාර් සේවය ජනතාවගේ ජනප්‍රියතම ප්‍රවාහන සේවය වී තිබෙනවා. ලංකාවේ ට්‍රෑම් කාර් සේවය ආරම්භ වෙලා තිබෙන්නේ දකුණු ආසියාවේ ප්‍රථම ට්‍රෑම් කාර් සේවය විදිහට 1899 වසරේදියි. ට්‍රෑම් කාර් සේවය කොළඹ නගරය පුරාවටම ක්‍රියාත්මක වී තිබෙනවා. 1929 වසරේ ට්‍රෑම් කාර් සේවාවේ නියුතු සේවක පිරිස් වැඩිපඩි ඉල්ලා සිදුකරපු අරගලය නිමාවට පත්වෙලා තිබෙන්නේ පොලිස් වෙඩි පහරින් පස්දෙනෙකු මිය ගිහින් කොළඹ ගෙන්දගම් පොළව රතු පැහැයෙන් තෙත් කරමින්.
සටහන සහ ඡායාරූප - නඳුන් ශ්‍යාමාල් / කැළුම් විශ්වනාත්