පාරු පාලමේ සිට සෙලෙස්තිනා සොයමු
වර්තමානයේ 'කොළඹ' කිව්ව ගමන් ම අපේ හිතේ මැවෙන්නේ බොහොම ජනාකීර්ණත්වයෙන් පිරුණු තදබදයෙන් පිරීගිය නගරයක චිත්‍රයක්. සුනිල් එදිරිසිංහ මහතාගේ මියුරු හඬින් ගැයෙන 'පාරු පාලමෙන් කොළඹට' ගීතය පැරණි කොළඹ නගරයේ තිබූ අසිරිය වර්ණනා කරමින් ලියැවුණු ගීතයක්. මේ අපූරු ගීතය දවසක් අහම්බයකින් වගේ කන වැකුණු අවස්ථාවක අපටත් හිතුණා ඒ ගීතයෙන් කියැවෙන සුන්දර කොළඹ හොයාගෙන යන්න.
පාරු පාලම
ගීතයෙන් කියන විදිහට ම අපි මුලින්ම ගමන් ඇරඹුවේ 'පාරු පාලමෙන්'. අද පාරු පාලම තිබූ තැන දකින්න ලැබෙන්නේ කවුරුත් දන්නා 'තොටළඟ පාලම'යි. සීමිත ඉතිහාස කතා අනුව 1822 අවුරුද්දේ එඩ්වඩ් බාන්ස් ආණ්ඩුකාරවයාගේ මැදිහත්වීමෙන් කැළණි ගඟ හරහා මේ පාරු පාලම ඉදිවෙන්නේ රජයේ ඉන්ජිනේරු දෙපාර්තමේන්තුවේ කාර්යයක් හැටියටයි. ජනතාවට වගේම ගැල්කරුවන්ට මේ පාලමෙන් ලොකු සේවයක් සැලසුනා. කොහොම වුණත් කොළඹ නගරයේ ඇතිවුණු දියුණුවත් සමග පාරු පාලම වෙනුවට අලුත් පාලමක අවශ්‍යතාවය සපුරමින් 1897දී ජෝන් ප්‍රේසර් නැමැති විශේෂඥ ඉන්ජිනේරුවා යකඩ පාලමක් ඉදිකරනවා. වික්ටෝරියා රැජිනගේ දියමන්ති ජුබිලිය යෙදී තිබුණේත් ඒ අවුරුද්දේ නිසා මේ පාලම නම් කරන්නේ 'වික්ටෝරියා පාලම' නමින්. අවුරුදු අනූපහකට ආසන්න කාලයක් ආයු වළඳපු වික්ටෝරියා පාලම අබලන් වීමත් සමග ම එය ඉවත්කරමින් 1992 අවුරුද්දේ ඉදිකළ ජපන් මිත්‍රත්ව පාලම තමයි අද පාරු පාලම තිබූ තැන දැකගන්න තිබෙන්නේ.
ගෑස් පහ හංදිය
ගැල් පේලියට ගෑස් පහ හංදියට ළං වෙන්න හවස් වුණත් අපි නම් පැය භාගයක් ඇතුළත ගෑස් පහට ළංවුණා. ගෑස් පහට නම ලැබුණු හැටි හොයාගෙන ගිය අපට දැනගන්න ලැබුණු විදිහට මේ හංදියේ වටරවුම ආලෝකමත් වෙලා තියෙන්නේ ගෑස් ලාම්පු පහකින්. ඒ නිසා මෙතැනට ගෑස් පහ හංදිය කියලා නම ලැබුණාලු. ඒ වගේම ගෑස් පහ හංදියේ පිහිටලා තිබුණා යැයි කියන ගෑස් සමාගම තිබූ තැන අද දකින්න ලැබෙන්නේ රථ ගාලක්.
ගෑස් පහ හංදියේ දකින්න ලැබෙන විශේෂිතම තැන තමයි බ්‍රිතාන්‍ය යුගයට අයත් පැරණි නගර ශාලාව. බ්‍රිතාන්‍ය ගෘහ නිර්මාණ ශිල්පයට අනුව ඉදිකරන මේ නගර ශාලාව විවෘත කෙරෙන්නේ 1873 අවුරුද්දේදියි. අවුරුදු පනහක කාලයක් නාගරික මූලස්ථානයක් ලෙසත් නාට්‍ය ශාලාවක් ලෙසත් භාවිතා කළ මේ ගොඩනැගිල්ල වර්තමානයේදී ගිනි නිවන හමුදාවේ කාර්යාලයක් ලෙස භාවිතා වෙනවා. ඊට අමතරව නාට්‍ය ශාලාව සහ පහල මාලයේ තිබෙන කෞතුකාගාරය ජනතාවට අදටත් විවෘතව තිබෙනවා.
කම්බා නැති සෙක්කු වීදිය
'සෙක්කු වීදිය' අද හඳුන්වන්නේ ගෑස් පහ හංදිය සමීපයේම තිබෙන ශ්‍රී කදිරේසන් වීදියයි. මේ වීදියේ පිහිටා තිබෙන ශ්‍රී කදිරේසන් කෝවිල නිසා සෙක්කු වීදිය යන නම ඉවත් වෙලා ශ්‍රී කදිරේසන් වීදිය කියලා හඳුන්වන්න හේතුවෙලා තිබෙනවා. ඉස්සර මේ වීදියේ කම්බා රෙදි විකුණන්න තිබුණා කියලා මතයක් තිබුණත් මෙහි පදිංචිකරුවන් නම් කියන්නේ මේක සාමාන්‍ය ගෙවල් තිබුණු පාරක් කියලයි.
කයිමන් දොරකඩ
අපේ ඊළඟ නැවතුම වුණේ සෙලෙස්තිනාට ඉන්න කිව්ව 'කයිමන් දොරකඩ' අසලයි. අද එතැන සෙලෙස්තිනා නැති වුණත් කයිමන් දොරටුව නම් තවමත් බොහොම හොඳින් දැකගන්න පුළුවන්. පෘතුගීසීන් හදපු කොළඹ බලකොටුවේ ඉතුරු වී තිබෙන කොටසක් තමයි මේ ඝන්ඨාර කුළුණ. ලන්දේසී යුගය වෙනකොටත් මේ පවුර සහ දොරටුව ඒ විදිහටම තිබුණා. ලන්දේසි මේ දොරටුව හැඳින්නුවෙ කයිමන් දොරටුව නමින්. ලන්දේසි බසින් කයිමාන් කියන්නෙ කිඹුලන්ට. 16 වැනි සියවසට අයත් වෙන මේ ඝණ්ඨාරය කෝට්ටේ රාජකීය නගරයේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ තිබිලා පසුකාලීනව ලන්දේසින් කයිමන් දොරකඩ කුළුණෙහි සවිකරපු බව කියැවෙනවා.
සටහන සහ ඡායාරූප - නඳුන් ශ්‍යාමාල් / කැළුම් විශ්වනාත්