පරණ නුවර ඇත්තොත් නෑව බතලේගොඩ මහ වැව
කාලෙකින් හිතේ හැටියට නාන්න ඇළකට, දොළකට, වැවකට, ගඟකට බැස්සේ නෑ නේද? ඉතින් අද බහිමුද හිතේ හැටියට නාන්න වැවකට. නිලට නිලේ වැව් දිය උතුරන වැවකට. ඔන්න කුරැණෑගල පැත්තේ ගියොත් ඉබ්බාගමුවට ගිහින් මේ වැවේ නාලා එන්නනම් අමතක කරන්න එපා. බතලේගොඩ වැව නමින් හඳුන්වන මේ වැව දිග අතට පැතිර ගිය වැවක්. දැදුරැ ඔය අසබඩ පහත් තැනිතලාවක පිහිටි මේ වැවට ඉබ්බාගමුව ඇලෙන් වගේම කඳුලෑව මිටියාවත පහළට එන ජල මාර්ගයෙනුත් ජලය සැපයෙනවා. බතලේගොඩ වැවේ ඉතිහාසය ක්රිස්තු යුගය දක්වා දිවයන්නක්. අතීත යුගයේ පරණ නුවර නමින් හැඳින්වූ ගම්මානයේ ජීවත් වූ ජනතාව තමන්ගේ එදිනෙදා වැඩකටයුතුවලට වගේම කෘෂිකාර්මික වැඩකටයුතුවලටත් ජලය ලබාගෙන තියෙන්නේ මේ වැවෙන්. මේ වැවට විසල් අලංකාරයක් එක්කරන්න සමත් වෙච්ච යෝධ වේල්ල ගැනත් වැව ගැන කියද්දී නොකියම බෑ. මොකද ඒ යෝධ වේල්ල වැවට එක්කරන සුන්දර අලංකාරය වචනයෙන් විස්තර කරන්න බැරි තරම්.
සීතල වැව් දියේ සැනසෙද්දී ඔයාගේ නෙත් නලවන දසුන් එමටයි. ඈතින් වන ලැහැබ. ඊටත් එහායින් නිල්වන් කඳු ශිඛර. සොබාදහමේ සුන්දරත්වය විඳින අතරතුරේම සුවදායක නෑමකට කියාපු තැන.
විශේෂයෙන්ම සති අන්ත දවස්වල මේ වැවේ නාන්න එන පිරිස වැඩියි. ගමේ අය තමන්ගේ ගෙදරට නෑදෑයෝ මිත්රයෝ ආවොත් දවල් කෑමට ඉස්සර හිතේ හැටියට නාගනෙ එමු එහෙනම් කියලා එක්ක යන්නේ මේ වැවට තමා.
ගමේ අය විතරක් නෙවෙයි ඉබ්බාගමුව පැත්තෙන් විනෝද චාරිකා යන පිරිස් වගේම විදේශිකයනුත් එනවා බතලේගොඩ වැවේ නාලා එන්න. අව් රුස් නාන ගමන් සීතල නිල් දියේ නාන්න. නාලා ගමේ ගෙදරකින් හොඳ රස ගමේ කෑම වේලක් කාලා එන්න තියෙනවනම් කොහොමද නේද? මෙදා සැරේ walk 111 එක්ක අපි ගියෙත් එහෙම නාලා කාලා එන්න ගිය ගමනක් තමා. ඉතින් ඒ ගමන ගැන ඔයාලටත් කීවොත් හොඳයි කියලා අපට හිතුණා.
නාන්න හිතුණොත් නාලම එන්න. එන සතියෙත් අපි එනවා ඔයත් එක්ක කොහේ හරි යන්න.
Text -Saara / Pic- Channa Kassapa Koralearachchi