නෙල්ලි පිරුණු නා සෙවණ
එහෙව් නෙල්ලි... කොළයක් කොළයක් ගානෙ නෙල්ලි... කඩාගන්න අත දිගු නොකළත් ඇස් අගින් බලලා රස බලන්න නෙවෙයි රස විඳින්න පුළුවන්... තද රත්තරන් පාට අව්ව... සිහිල් සුවයක් නොදැවටුණු සුළඟ... හරියට සාර සුබාවට දලුලන්න ඒ නෙල්ලි ගස්වලට ආශිර්වාදයක් වගේ.... ඒ නෙල්ලි ගස් යටින් ඇවිදගෙන යද්දී ඈත ඉඳන් බලාගෙන හිටියේ ඩ්‍රැගන් ෆෘට්... තවත් දෙසකින් ලංකාවේ අපේ පැපොල්... දෙමුහුන් නොවුණු අපේම පැපොල්... දෙළුම් ගස් මල් දරාගෙන ඉඟිකළේ හෙට අනිද්දම පල උපද්දවන්න අපිත් සූදානම් කියන පණිවිඩය... ළා රතු පැහැයට ළා රෝස පැහැය මුසුවෙච්ච නා දලු කොළ පැහැ නා කොළ අතරේ හිඳගෙන සුළඟත් එක්ක ලතාවට නැටවිල්ල....
ඔයාට හිතන්න පුළුවන්ද අද අපි අපේ සංචාරක අත්දැකීම විඳගන්න ඇවිත් ඉන්නේ කොහාටද කියලා.... අපි ආවේ සූරියවැවට.... සූරියවැවේ නා සෙවණ වගා බිමට... නා සෙවණ කියන්නේ සංවර්ධනයේ නව අරැණලු අපේක්ෂාවෙන් දියත්කළ පුළුල් ව්‍යාපෘතියක්... නා සෙවණ වගා බිමේ එක් පෙදෙසක් කුඹුරැ යායක්... නිලට නිලේ දිලිසෙන ගොයමත් එක්ක ශුෂ්ක බිමක් සාර භූමියක් බවට පෙරළු පරිවර්තනයක ප්‍රතිඵල විදිහට තමයි පලින් බර තුරැලතා නන්දෙසින් දිස්වෙන්නේ.
සූරියවැව වැනි දුෂ්කර ගම්මානයකට නා සෙවණ ව්‍යාපෘතිය ඔස්සේ වැටුණු ආලෝකය ඒ ජන ජීවිතයට අද මහා හයියක් වෙලා තියෙනවා. නා සෙවණ ව්‍යාපෘතියේ නියමුවන් වෙන්නේ කොළඹ ගංගාරාමයේ ගංගාරාමාධිපති ආචාර්ය ගලබොඩ ඥානිස්සර හාමුදුරැවෝ සහ ගංගාරාමවාසි ආචාර්ය කිරින්දේ අස්සජී හාමුදුරැවෝ. උන්වහන්සේලා සමඟ මේ ව්‍යාපෘතියටත් ඒ ඔස්සේ ජන ජීවිතය ඔසවා තබන්නටත් අත්වැල් බැඳගත්ත තවත් ගිහිපැවිදි පිරිසක් ඉන්නවා. නා සෙවණ වගාබිමට අවසරයකින් තොරව යන්න බෑ. ඒත් අක්කර ගණනක වියළි බිමක් මේ තරම් සාරෙට අස්වැද්දූ මහිමය මිනිසුන්ගේ චිත්ත ශක්තිය පිළිබඳ හරිම සොඳුරැ හැඟීමක් ජනිත කළ නිසාවෙන්ම මේ බිම ගැන ඔබට කියන්නට අපිට සිත්වුණා. සූරියවැවට ගිය අපට බටහිර පන්නයේ කෑම අතරේ කුරහන් තලප තිබ්බටු වෑංජනය තුඹ කරවිල වැව් මාළු වගේ ගමේ ඌරැවට පිළියෙළ කළ ගමේ කෑම රසවිඳින්නත් හරිම අපූරැ අවස්ථාවක් ලැබුණා. ගමේ අසිරිය ගමේ රස සමඟ ගමේ ළෙන්ගතුකමත් නා සෙවණට ගිය ගමනේදී අපි අත්වින්දා කීවොත් හරියටම හරි. පිච්චෙන අව්වේ සැරත් අඩුවෙන් දැනුණේ ඒනිසාම වෙන්න ඕනෑ කියලයි හැන්දෑවේ කොළඹ එන්න ලෑස්ති වෙද්දී අපට හිතුණේ.
Text -Saara / Pic- Channa Kassapa Koralearachchi