නෙත් සිත් සනහාලන පුද බිම වැවුරුකන්නල
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ස්ථානයක් හිමිවන පළාතක් වශයෙන් දකුණු පළාත හඳුන්වාදිය හැක. මෙහිදී අනිකුත් පළාත්වල මෙන් දැකිය නොහැකි, දකුණටම ආවේණික වූ ඉතා වැදගත් සංදිස්ථාන කිහිපයක් හමුවේ. ඒ අතුරින් ඓතිහාසික වෙහෙර විහාරස්ථාන, ස්වාභාවික පිහිටීම්, සංචාරක ස්ථාන, එම පළාතටම ආවේණික වූ රැකියා මෙහිදී ප්‍රමුකත්වයක් ගනියි. පාසල් නිවාඩු සමය නිසාවෙන් බොහෝ දෙනෙකු ඔවුන්ගේ පවුලේ උදවිය සමග මේ දිනවල සංචාරයන් හි නියැළෙති. බොහෝ දෙනෙකු සංචාරයක නියුතු වනවිට එම සංචාරයන්හිදී බෝහෝ ස්ථාන වෙත ගමන් කර විනෝද වීමට, දැනුමක් ලබාගැනීමට උත්සහා ගනිති. එම නිසාම ගාල්ල, මාතර, හම්බන්තොට නගර ඔස්සේ ගොස් කතරගම වැඳ පුදා ගැනීමට බොහෝ දෙනෙක් ප්‍රිය කරති.
ඒ එම මාර්ගයේ සංචාරය කිරීමට ස්ථාන රාශියක් තිබෙන නිසාය. කතරගම පුරවරයේ සංචාරයක නිරත වන ඔබට ගමන් කළ හැකි එම ස්ථාන පිළිබඳව සංචාරක සටහන් ගෙන ඒමට "තරුණයා" සංචාරක කණ්ඩායම තීරණය කළේ සංචාරක ඔබට යම් දැනුමක් ලබාදීමේ අටියෙනි. ඒ අනුව අප පළමුවෙන්ම ගමන් කළේ මහනුවර යුගයේ රාජාධිරාජසිංහ යුගය දක්වා අතීතයකට දිවයන, ජාත්‍යන්තර කීර්තියට පත්, ලෝකවාසී බෞද්ධයන්ගේ ජනාදරයට පාත්‍ර වූ මාතර, දික්වැල්ලේ පිහිටා තිබෙන සියක් රියන් උස මහා බුද්ධ ප්‍රතිමාවක් නිර්මාණය කර තිබෙන දකුණේ පින් ඇති පිං බිම ලෙස හඳුන්වනු ලබන "වැවුරුකන්නල බුදුරජ මහ වෙහෙර" වෙතය.
පිවිසුම
දෙස්-විදෙස් සංචාරකයන්ගේ මෙන්ම බොදු බැතිමතුන්ගේ ඉමහත් ආකර්ෂණයට ලක් වූ වැවුරුකන්නල පිහිටා ඇත්තේ දකුණු ලක, දික්වැල්ල පුරවරයට ආසන්නවය. කොළඹ සිට කතරගම දක්වා දිවෙන මාර්ගයේ හෝ දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතරට පැමිණ එම නගරය පසුකර කි.මී.15 දුර ගෙවා යනවිට දික්වැල්ල නගරය හමුවේ. දික්වැල්ල නගරයේ සිට බෙලිඅත්ත මාර්ගයේ කි.මී.02ක් ගමන් කිරීමෙන් මෙම ඓතිහාසික පුදබිම වෙත පිවිසිය හැක.
ඓතිහාසික වැදගත්කම
මීට වසර 250කට පෙර රජකම් කළ රාජාධි රාජසිංහ රජුගේ පාලන කාලයේ මෙම විහාරය ආරම්භ වූ බව පැවසේ. මෙම විහාරයට නම ලැබී ඇත්තේ වැව-ඉවුරු-කොන්-ගල යන සිව් වදන් එක් වීමෙනි. පුරාණයේ මෙම විහාරය හඳුන්වනු ලැබුවේ සුදස්සනානන්ද විහාරය ලෙසිනි. එකල මෙහි වැඩසිටි සීලානන්ද නායක ස්වාමීන් වහන්සේ තම නාමයෙන් කොටසක් වූ %ආනන්ද^ යන කොටසත්, තම මෑණියන් වූ මඩකුඹුර වාසල දේවිය විසූ සුදස්සන වලව්වේ සුදස්සන යන කොටසත් එකතු කර සුදස්සනාන්ද විහාරය ලෙස නම් තැබූ බව පැවැසෙයි.
වෙහෙර සංයුතිය
බුදු රජ මහා වෙහෙර බුදු ගෙවල් තුනකින් සමන්විතය. ඒ අතරින් පැරැණිතම බුදුගෙය ඉදිකොට ඇත්තේ 1870 දීය. විශාල මකර තොරණකින් ඇතුළු විය යුතු ඉපැරැණි බුදුගෙය තුළ ජාතක කතා හා බුද්ධ චරිතයේ විවිධ අවස්ථාද ඇඹීමෙන් හා සිතුවමින් අලංකාර කොට ඇත. බුදුන් වහන්සේගේ හා ශ්‍රාවකයන් වහන්සේලාගේ ධාතූන් වහන්සේලා හතළිස් නමක් වැඩ සිටින දාගැබ් වහන්සේ සහිත මෙම පුද බිම තුළ ඉපැරැණි දේවාලයක් සහ සීමාමාලකයක් ඇත. කුඩා කෞතුකාගාරයක් ලෙස වර්තමානයේ පවත්වාගෙන යනු ලබන ඉපැරැණි ආවාස ගෙය තුළ 1926 දී නිර්මාණය කරන ලද ශ්‍රී ලංකාවේ විශාලතම ඔරලෝසුව අදටත් නිවැරදිව වේලාව දක්වයි.
මෙම පුදබිමේ දක්නට ලැබෙන වැදගත් ස්ථාන
පුරාණ විහාරය හා ඇති සිතුවම්
මෙය මෙහි ඇති පැරැණිම විහාරයයි. රාජධි රාජසිංහ රජ යුගයේ ඉදිකර ඇත. මෙහි ඇතුළත බිත්තිවල තවමත් දක්නට ඇත්තේ නවීකරණය නොකරන ලද මහනුවර යුගයේ සිතුවම්ය. වම්පස දැක්වෙන වහල ආධාරක ලීයකින් තොරය. එය මඩොල් කුරුපාව ලෙස හඳුන්වයි.
ඉපැරණි බුදුගෙය සහ එහි ඇති සිතුවම්
විශාල මකර තොරණකින් ඇතුළු විය යුතු ඇඹීමෙන් හා සිතුවමින් අලංකාර කොට ඇති ඉපැරැණි බුදුගෙය තුළ ජාතික කතා හා බුද්ධ චරිතයේ විවිධ අවස්ථා දැක්වේ.
බුද්ධ ප්‍රතිමා වහන්සේ සහ අහස් වෙහෙර
දික්වැල්ලේ විමලතිස්ස නාහිමිපාණන් වහන්සේ විසින් මෙහි ඇති සියක් රියන් (අඩි 150) උස බුද්ධ ප්‍රතිමා වහන්සේ තුන් වසරක් තුළ නිමවා 1969 මාර්තු 02 දා සිට මෙම පූජනීය විහාරස්ථානය වැවුරුකන්නල බුදුරජය මහ වෙහෙර ලෙස නම් කර තිබේ. බුද්ධ ප්‍රතිමා වහන්සේ පිටදී ඇති මහල් 10කින් යුත් ගොඩනැගිල්ල "අහස් වෙහෙර" යනුවෙන් හැඳන්වේ. මෙහි ඇතුළත බිත්තිවල විචිත්‍ර සිතුවම්වලින් යුක්තය.මෙම ගොඩවැගිල්ලේ මුදුනට පිවිසි විට හාත්පස ගම්පියස මැනවින් දර්ශනය වේ.
පුරාණ ළිඳ
සැදැහැවතුන් පවස නිවාලන ආඬිමාන වර්ගයට අයත් පුරාණ ළිඳ පූජා භූමියේ ඉදිරිපසින් දක්නට ඇත.
මුල්ම පුවත්පත
ශ්‍රී ලංකාවේ මුල්ම පුවත්පත මෙම විහාරස්ථානයේ දී දැකබලා ගත හැකිය. %ලක්මිණිපහණ^ නම් වූ එම පුවත්පත මුද්‍රණය කර ඇත්තේ 1862 වර්ෂයේ දී මෙම විහාරස්ථානය තුළදීය.
ධාතු මන්දිරය
ධාතූන් වහන්සේ තැන්පත් කර ඇති දෙමහල් ධාතු මන්දිරයක් මෙම භූමියේ ස්ථාපිත කොට තිබේ.
උමං විහාරය
මෙම උමං විහාරය තුළ මෙලොව වැරැදි කරන අයට නිරයේ ලැබෙන දඬුවම් මූර්තියෙන් දැක්වේ. යකුන් වැනි බියජනක දේ දුටුවිට බියවන දරුවන් මෙම යම ලොව සිතුවම් සහ පිළිම නැරඹීමට රැගෙන නොයෑමට වගබලා ගැනීම නුවණට හුරුය. මන්ද එම මූර්ති එතරම් භියකරුය.
පිරිත් මණ්ඩපය
මෙහි ඇති පිරිත් මණ්ඩපය මල් ලියකම්වලින් හා බණ කතා සිතුවම්වලින් අලංකාර වී ඇත. එය ඉදිකර ඇත්තේ 1839 වසරේදීය.
කෞතුකාගාරය
මෙම කෞතුකාගාරය තුළ තැන්පත් කර දෑ අතුරින් ඔරලෝසුව විශේෂ වැදගත් තැනක් ගනියි. 1926 දී ඉදිකරන ලද පැරැණි විශාලතම ඔරලෝසුවේ යන්ත්‍රය මෙයයි. මෙය අදටත් නිවැරදිව වේලාව දක්වයි.
ගුරුත්ව බලයෙන් දුවන අරුම පුදුම ඔරලෝසුව
දික්වැල්ල වැවුරුකන්නල බුදුරජ මහා විහාරස්ථානය එහි ඇති සියක් රියන් බුද්ධ ප්‍රතිමාව නිසා ලෝක ප්‍රසිද්ධියට පත්වන විටල එහි කෞතුකාගාරයේ පිහිටුවා ඇති ශ්‍රී‍්‍ර ලංකාවේ විශාලතම යෝධ මහ ඔරලෝසුව ගෙනදී ඇත්තේ ඓතිහාසික වටිනාකමකි. පිත්තල දැති රෝදල දැව කොටස් හා වානේ කේබල් යොදා සකස්කර ඇති යෝධ මහ ඔරලෝසුව 1926 දී ඩබ්ලිව්.එලාරිස් ද සිල්වා මහතා විසින් මග්ගොන මඩමේදී ස්වනිර්මාණයක් ලෙස තනන ලද මෙරට විශාලතම මහ ඔරලෝසුව 1928 දී පූජ්‍ය බජ්ජම සිරිසද්ධාතිස්ස නාහිමියන් විසින් රුපියල් තුන්දහසකට (3000) ලබාගෙන ශ්‍රී වෛජයන්ත පුස්තකාලයේ මහජන ප්‍රදර්ශනයට සුදුසු සේ සවිකර ඇත.
පිත්තල දැති රෝද, දැව කොටස් හා වානේ කේබල් යොදා නිර්මාණය කරන ලද මෙම විස්මිත නිර්මාණයේ දැති රෝද ක්‍රියාත්මක වන්නේ වැරගැන්වීම තුළිනි. (වයින් දැමීම) වැරගැන්වීමෙන් ක්‍රියාත්මක කරන ඔරලෝසුවල දැති රෝද හා කටු ක්‍රියාත්මක වීම දුන්නක් මගින් සිදුකළද මේ විස්මිත ඔරලෝසුවේ ක්‍රියාකාරිත්වය සිදුවන්නේ ගුරුත්වාකර්ෂණ බලයෙනි. ඒ සඳහා යොදාගෙන ඇත්තේ ඔරලෝසුවේ සිට අඩි 20ක් පමණ පහළට කේබල් ආධාරයෙන් එල්ලන ලද පිත්තල සිලින්ඩර් දෙකකි. මේ එක් සිලින්ඩරයක බර රාත්තල් 112කි. ඔරලෝසුවේ දෙපස සවිකොට ඇති සිලින්ඩර දෙකෙන් එක් සිලින්ඩරයක් ඔරලෝසු යන්ත්‍රය ක්‍රියාත්මක කිරීම සඳහාද, අනෙක් සිලින්ඩරය වේලාව සටහන් වන සීනුව නාදවීම සඳහාද යොදාගෙන තිබීම විශේෂත්වයකි.
මේ ඔරලෝසුවේ දක්නට ලැබෙන තවත් සුවිශේෂී ලක්ෂණයක් වන්නේ වේලාව සටහන් කරන සීනුව ඔරලෝසුවේ සිට අඩි 150ක් තරම් දුරින් දාගැබ සමීපයේ යකඩ කණු හතරක් මත තැනූ අට්ටාලයක සවිකර තිබීමය. සීනුව නාදවීමට අවශ්‍ය සිලින්ඩර බලය කේබලයක් ආධාරයෙන් ලබාදී ඇත. අඩි හතක් (07)ක් උඩ අඩි හයක් (06) දිග හා අඩි හතරක් (04) පළල යන්ත්‍රයට සවිකර ඇති ඔරලෝසු මුහුණත් දෙකක්ද වන අතර යන්ත්‍රයටම සවිකර ඇති ඔරලෝසු මුහුණත අඟල් හයක (06) විෂ්කම්භයෙන් යුතුවද යන්ත්‍රයට නුදුරින් එළිමහනේ සිටින ජනතාවට වේලාව දැකගත හැකිවන සේ බිත්තියේ සවිකර ඇති ඔරලෝසු මුහුණත අඟල් තිහක (30) විෂ්කම්භයකින් යුතුවද තනා ඇත. මෙහි පැය හා අඩ පැය සටහන්වීමත් සමග සීනුව මගින් දිවා රාත්‍රී දෙකේදීම දාගැබ් වහන්සේට ශබ්ද පූජා නිරායාසයෙන්ම පැවැත්වීම මෙහි ඇති විශේෂත්වයකි.
අධ්‍යාපනික මෙහෙවර
නව මයුර සංදේශයත්, රාජපක්ෂ චරිතයත්, දීඝ කෝසල හා සම්බුලා ජාතික ඇතුළු නිබන්ධන රැසක් පළ කළ ත්‍රිපිටක ධර්මසර පූජ්‍ය පණ්ඩිත වැලහිටියේ සිරිසුමන නාහිමිපාණන් වහන්සේ (1837-1901) විසින් ආරම්භ කරන ලද සුදස්සන පිරිවෙන, බුදු දහම රටට බෙදා හරින කේන්ද්‍රස්ථානයක් විය. ක්‍රි.ව.1901 සිට 1955 දක්වා වැඩ විසූ පූජ්‍ය බජජිම සිරිසද්ධාතිස්ස නාහිමිපාණන් වහන්සේද ක්‍රි.ව.1955 සිට 1982 දක්වා වැඩ විසූ රාජකීය පණ්ඩිත විමලතිස්ස නාහිමිපාණන් වහන්සේද මෙම පූජණීය විහාරස්ථානයේ දියුණුවට කරන ලද සාසනික සේවාව අතිමහත්ය.
ධර්ම ශාස්ත්‍රීය පොතපත 50ක් පමණ රචනා කළ, 1945 සිට මෙහි වැඩ සිටින ආචාර්ය දික්වැල්ලේ තිස්ස නාහිමිපාණන් වහන්සේ විසින් මෙම විහාරස්ථානයේ දියුණුවට කරන ලද සාසනික සේවාවද අනුපමේය වේ. මහා බුද්ධ ප්‍රතිමා වහන්සේ ඉදිකිරීම, සුධර්මා දහම් පාසල, කුමාර දහම් පාසල, විද්‍යාතුංග පිරිවෙන හා සිරිසද්ධාතිස්ස දහම් පාසල, දෙමහල් ධාතු මන්දිරය, මෙන්ම අහස් වෙහෙර, උමං විහාරය, සීලතරන ශාලාව, සිරි සැදැහතිස් සිහිවටනය, විද්‍යාගාරය ඉදිකරවන ලද්දේ උන් වහන්සේ විසිනි.
සැලකිලිමත් බව
මෙය පින් බිමක් නිසාවෙන් ඔබ එහි යන්නේ නම් සංවරව හැසිරීමට සහ නිශ්ශබ්දව වන්දනාමාන කිරීමට වගබලා ගන්න. එමෙන්ම භූමිය අපිරිසිදු වන සේ පොලිතීන්, ප්ලාස්ටික් බෝතල්, හඳුන්කූරු පෙට්ටි, ආහාර ද්‍රව්‍ය තැන තැන නොදමා අපද්‍රව්‍ය බහාලන ස්ථාන වෙත දමන්න. එමෙන්ම කුඩා දරුවන් එහි තිබෙන මූර්තිවලට භිය වීමට ඉඩකඩ ඇති බැවින් ඔවුන් රැගෙන යාමේදී ඒ පිළිබඳවද සැලකිලිමත් වන්න.
දසත සුපතළ වැවුරුකන්නල දනන් සිත් තුළ සුවය දනවයි
ඒ පින්බිම දියුණුව සැදීමද වදින නමදින ඔබට බාරයි
සටහන / ඡායාරූප - මංජු ප්‍රදීප් කුමාර, සුපුන් සම්පත්