නිස්කලංක පරිසරයක පිහිටි ඓතිහාසික රිදී විහාරය
කුරුණෑගල වෑඋඩවිල්ල හත්පත්තුවේ මාදුරු කෝරළයේ රිදීගම නම් වූ සුන්දර ගම්මානයේ නිස්කලංක පරිසරයක පිහිටි ඓතිහාසික රිදී විහාරයේ ඉතිහාස කතාව අනුරාධපුර යුගයේ දුටුගැමුණු මහරජුගේ පාලන කාලය දක්වා දිවයන්නකි. දුටුගැමුණු මහරජතුමාගේ පාලන සමයේදී අනුරාධපුර සිට මලය රට තෙක් දිවයන මාර්ගයක් රිදී විහාරය පිහිටි කැලෑබද භූමිය අසලින් වැටී තිබුණි. දිනක් මෙම මාර්ගයේ ගමන් කළ ගැල් වෙළෙඳුන් කණ්ඩායමක් සිය නැතිවූ ගොනුන් සොයමින් සිටින අතරතුර ඉන්ද්‍රගුප්ත මහරහතන් වහන්සේ පෙන්වූ මගක ගමන්ගන්නා විට ලෙනක තුළ වූ රිදී ඉල්ලමක් දැක, ඒ පිළිබඳ වහාම දුටුගැමුණු රජුව දැනුවත් කළ අතර, රජු මේ අසා මහත් සතුටට පත්ව වස්තු හිඟය නිසා මග නැවතී තිබූ රුවන්වැලිසෑයේ ඉදිරිකටයුතු සඳහා ලෙනෙහි වූ රිදී කැණීම් සිදුකොට රැගෙන ගොස් තිබේ. දුටුගැමුණු රජු ඊට කෘතගුණ දැක්වීම පිණිස එම ස්ථානයේ රිදී විහාරය කරවූ බව කියවේ. පුරාණ ජනප්‍රවාද අනුව රිදී විහාරයේ නිර්මාණ කටයුතු සඳහා විශ්වකර්ම දිව්‍ය පුත්‍රයාද පැමිණි බව කියැවේ.
හින්දු ආභාසය ලැබූ ‘වරකා වැලඳු’ විහාරය
ඉන්ද්‍රගුප්ත මහරහතන් වහන්සේ මෙම විහාරය පිහිටි ගල් ලෙනට වැඩම කර වෙළෙඳුන් පූජා කළ වරකා වැලඳු නිසාවෙන් මෙම විහාරය ‘වරකා වැලඳූ විහාරය’ නමින් ප්‍රසිද්ධව ඇත. මෙම විහාරය රිදී විහාර භූමියේ ඇති සුවිශේෂිතම ගොඩනැගිල්ලක් වන්නේ මෙය හින්දු දේවාලයක ස්වරූපයක් දක්වන නිසාය. මෙහි දේවාලයක මෙන් බුදු පිළිමය තබා ඇති කුටියට ඇතුළු වීමට තිබෙන්නේ මණ්ඩපයක් ඔස්සේය. මණ්ඩපයේ වහලය දරා සිටීමට එක් පැත්තක කුලුනු හතර බැගින් විවිධ කැටයම් වලින් අලංකාර කළ කුලුනු අටක් දැකගත හැකිය.
මහා විහාරය
රිදී විහාරයේ ඇති ප්‍රධානතම විහාරගෙය වන්නේ රිදී හමුවූ ලෙනෙහි ඉදිකළ ‘මහා විහාරය’ හෙවත් ‘පාත විහාරය’යි. මහා විහාරයට ඇතුළු වන දොරටුව ඉහළින් ඇති ගලෙහි යටි පැත්තේ සිතුවම් රාශියක් අදටත් දැකගත හැකිය. නමුත් ස්වාභාවික හේතූන් නිසාවෙන් ඒවායේ වර්ණ බොහෝසෙයින් මැකී ගොස් තිබෙනු දැකගත හැක. බුදුගෙයට ඇතුල්වන දොරටුව ඉහළින් පිහිටි මකර තොරණද රිදී විහාරය සතු තවත් එක් අද්විතීය නිර්මාණයකි. මෙහි ඇති සැතපෙන බුදුපිළිම වහන්සේ උඩරට කලා සම්ප්‍රදායට නෙළා ඇත. ඒ ආසන්නයෙන් ධර්ම භාණ්ඩාගාරික ආනන්ද මහ රහතන් වහන්සේගේ, මෛත්‍රී බෝධිසත්වයන්ගේ හා දුටුගැමුණු රජුගේ යැයි සැලකෙන ප්‍රතිමා දක්නට ඇත. දුටුගැමුණු රජතුමා ඉන්දියාවේ සිට ගෙන එන අතර තුරදී කරත්තය එරීයාම නිසා රිදී විහාරයට අහසින් වැඩියා යැයි සැලකෙන ලෝහ හිටි බුද්ධ ප්‍රතිමාවක් මෙහි ආරක්ෂිතව තැම්පත්කොට තිබේ. පිටවීමට ඇති දොරටුව ආසන්නයේ රිදී විහාරය සතුව තිබෙන තවත් සුවිශේෂී වූ නිර්මාණයක් දක්නට ලැබේ. ඒ දුර්ලභ පංචනාරි ගැටය නමින් හඳුන්වන කැටයම සහිත සම්පූර්ණයෙන්ම ඇත් දළින් නිමවූ උළුවස්සයි. නාරි රූප පහකින් සෑදුණු පංචනාරි ගැටය ඈතට දිස්වන්නේ කළයක ආකාරයටයි. කිසියම් පිරිසක් විසින් මෙහි කොටස් ගලවාගෙන ගොස් ඇති නිසා කැටයම් වලින් ඉතිරිව ඇත්තෙ කිහිපයක් පමණි. සාමාන්‍යයෙන් බෞද්ධ විහාරස්ථානයකදී දක්නට නොලැබෙන්නක් මහා විහාරයේ දක්නට තිබේ. එනම් සැතපෙන පිළිම වහන්සේ ඉදිරියේ වන මල් අසුනේ ජේසුතුමන්ගේ ජීවිතයේ විවිධ අවස්ථාවන් දැක්වෙන සිතුවම් සහිත පිඟන් ගඩොල් අල්ලා තිබීමයි. නමුත් ඒවා යොදා ඇත්තේ පිළිවෙළකට නොවේ. මෙම පිඟන් ගඩොල් ලන්දේසි ආණ්ඩුකාරවරයෙකු විසින් රිදී විහාරයට පූජා කර ඇති බව කියවේ.
උඩ විහාරය
උඩ විහාරය පිහිටා ඇත්තේ මහා විහාරයට ඉහළිනි. එහි ඇති දොළොස් රියනක් උස ඉදි බුද්ධ ප්‍රතිමාව මෙන්ම එහි පිටුපසින් නිර්මාණය කොට ඇති මකර තොරණ ඉතා අද්විතීය නිර්මාණයන් වේ. එහි වර්ණ පවා තවමත් සුරක්ෂිතව පවතින අතර, උඩ විහාරයේ බිත්තිද නොයෙකුත් සිතුවම් රාශියකින් අලංකාර කොට ඇත. ඒවායේ ජාතක කතා වෙනුවට බුදු සිරිතේ අවස්ථා නිරූපණය කොට ඇත.
උඩ විහාරයෙන් මළුවට පිවිසුණ විට වම් පැත්තෙන් හමුවන දාගැබ විශේෂිතය. මෙම දාගැබ ඉදිකර ඇත්තේ වේදිකාවක් මත වන අතර, එයට විහාරය පිහිටි ගල් ලෙනෙහි සෙවන ලැබේ. බැලූ බැල්මට එය පෙනෙන්නේ ගල් ලෙන ඇතුළෙහි පිහිටි දාගැබක් ලෙසටය. සැරසුම් ගල චෛත්‍ය නමින් හැඳින්වෙන රිදී විහාරයේ අනෙක් දාගැබ පිහිටා ඇත්තේ සැරසුම් ගල මුදුනෙහිය. මෙම සැරසුම් ගල චෛත්‍ය වෙත යාමට අතීතයේ තිබූ පියගැටපෙළ තවමත් දක්නට ලැබේ. තවද එම ගලේ සෙල්ලිපි කිහිපයක්ද සංරක්ෂණය කොට තිබෙනු දැකගත හැක. මෙම සැරසුම් ගලේ සිට රිදී විහාර කන්ද අවටින් පිහිටි දොළුකන්ද, ඇටිපොල කන්ද, නෙල්ලිගල සහ ඒ අවට මනස්කාන්ත වටපිටාව ඉතා හොඳින් දැකගත හැක. සැබැවින්ම ඓතිහාසික රිදී විහාර උරුමයේ ඇති අද්විතීය නිර්මාණයන් බොහෝය. වර්තමානයේ රිදී විහාරයේ භාරකාර ධුරය දරන තිබ්බටුවාවේ ශ්‍රී බුද්ධරක්ඛිත නායක හිමිපාණන් මේ උරුමය මතු පරපුර වෙනුවෙන් රැක ගැනීමට ඉටුකරන්නේ ඉතා ප්‍රශංසනීය මෙහෙවරකි.
සටහන සහ ඡායාරූප - නඳුන් ශ්‍යාමාල්