දෙවන ලෝක යුද සමය සිහියට නැගෙන අපූරු Jeep සවාරිය



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

Colombo by JEEP



2017-05-02-ent-224

 

මනසට යම් මානසික නිදහසක් ලබාගැනීමේ අරමුණෙන් සංචාරයෙහි නිරත වන සංචාරකයන් වැඩි පිරිසක් උත්සාහ ගන්නේ නිස්කලංක ඉසව්වකට ගොස් එම මානසික සුවය ලබාගැනීමටය. මෙවර "තරුණයා" සංචාරය තුළින් අප ඔබව රැගෙන යන්නේ එවන් මානසික සුවයක් ලබාගැනීමට හැකි ඉසව්වකට නොව, විවේකී දවසක වෙනස්ම අත්දැකීමක් ලබාගැනීමට හැකි සංචාරයක් වෙතය.

පවුලේ සියලු දෙනා හෝ යහළුවන් සමග නිරත වන්නේ නම්, අප ගමනාගමන පහසුකම් සපුරා ගැනීමට යොදා ගන්නේ ඉඩපහසුකම් හොඳින් තිබෙන සැපපහසුකම් ඉහළ මට්ටමක තිබෙන කුමන හෝ වාහනයකි. නමුත් මෙම සංචාරයේදී ගමනාගමන පහසුකම් සපුරා ගැනීමට වාහනයක් අවශ්‍ය වන්නේ නැත. මෙය හුදෙක්ම වාහනයක නැගී ගමන් කරන සංචාරයකි. අප මෙවැනි අත්දැකීමක් ලබාගන්නේ කුමන හෝ ජාතික වනෝද්‍යානයක් නැරඹීමට යාමේදී පමණකි. නමුත් මෙම සංචාරය එවන් වූ සංචාරයක්ද නොවේ.

මෙය කොළඹ නගරය වටා යන සංචාරයකි. මේ සඳහා යොදා ගන්නේද බැලූ බැල්මට සෆාරි ගණයට අයත් වන ජීප් (Jeep) රථයි. බැලූබැල්මට එසේ පෙනුණත් මෙම සංචාරක ජීප් රථ කියා නිමකළ නොහැකි වටිනාකමකින් යුක්තය. සංචාරය ඇරඹීමට පෙර අප එම ජීප් රථවල තිබෙන විශේෂත්වය පිළිබඳව සොයා බැලුවෙමු.

කොළඹ නගරයේ සුවිශේෂි ස්ථානයක් කරා සංචාරකයන් රැගෙන යන මෙම ජිප් රථ අතරින් ජීප්රථ ද්විත්වයක් නිෂ්පාදනය කර ඇත්තේ 1942 වර්ෂයේදීය. වසර 75ක් පමණ පැරැණි එම ජීප් රථ ද්විත්වයම දෙවන ලෝක යුද්ධය සඳහා භාවිත කර තිබීම නිසා එහි වටිනාකම කියා නිමකළ නොහැකිය. ෆෝර්ඩ් විලීස් (Ford Willys) සහ විලීස් - එම්.බී. (Willys – Mb) යන කාණ්ඩයට එම ජීප්රථ යුගලය අයත් වෙයි.

1948 වසරේදී එංගලන්තයේදී නිෂ්පාදනය කරන ලද ලොව පැරැණිතම ලෑන්ඩ් ලෝවර් (Land Lover) ජීප් රථයක්ද මෙම ජීප්රථ අතරට අයත් වේ. ධාවන තත්ත්වයට සුදුසු මෙවැනි ජීප්රථ ලංකාවටම තිබෙන්නේ දෙකක් පමණක් බව අපට දැනගැනීමට හැකිවිය. ඊට අමතරව 1945 වසරේදී වියට්නාම් යුද්ධය සඳහා භාවිතයට ගත් විලීස් (Wilys M38A1) ජීප් රථයක්ද එම ජීප් ගොන්නේ තිබේ.

මෙම ජීප්රථ පෙළ අයත් වන්නේ නිශාන්ත අබේසේකර නම් පුද්ගලයෙකුටය. ඔහු මෙම ජීප්රථ මිලදීගෙන ධාවන තත්ත්වයට ගෙන ඒම සඳහා 1985 වසරේ සිට 2015 වසර දක්වා වනතුරු අවුරුදු 30ක පමණ කාලයක් කැපකිරීම් කර තිබේ. ඉන්පසුව ලෝකයේ ප්‍රථම වතාවට දෙවන ලෝක යුද්ධයේ සහ පෞරාණික වටිනාකමක් සහිත ජීප්රථවලින් සංචාරකයන්ට නගර පෙන්වීම සඳහා මීට අවුරුදු 02කට පමණ පෙර %Colombo BY JEEP^ නමින් ජීප්රථ සේවයක් ආරම්භ කර තිබේ.

කොළඹ වටා පැය 04කට අධික කාලයක් ගමන් කරන මෙම සංචාරයේදී කොළඹ නගරය තුළ පිහිටා තිබෙන සුවිශේෂී ස්ථාන 20ට අධික ප්‍රමාණයක් නැරඹීමට හැකියාව ලැබේ. ගමන් ආරම්භ කරනුයේ ගෝල්ෆේස් මුහුදු තීරයෙනි. ඉන්පසු පිළිවෙළින් ගෝල්ෆේස් හෝටලය, පැරැණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ල, පැරැණි ප්‍රදීපාගාරය, නව ප්‍රදීපාගාරය, ග්‍රෑන්ඩ් ඔරියැන්ටල් හෝටලය, ලන්දේසි රෝහල, කාගීල්ස් ගොඩනැගිල්ල, ප්‍රධාන තැපැල් ස්ථානය, විහාර මහාදේවි උද්‍යානය, යුද අනුස්මරණ ස්මාරකය, ටවුන්හෝල්, ජාතික කෞතුකාගාරය, තුරඟ තරග පිටිය, නිදහස් චතුරස්‍රය, බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාව වෙත ගමන් කරනු ලැබේ.

මෙම ස්ථාන අතුරින් බොහෝ ස්ථාන අපගේ නෙත ගැටුනද මෙහි අතීත තොරතුරු දන්නා අය ඉන්නේ ඉතා අතලොස්සකි. එම අතලොස්සක් වූ පිරිස අතරේ ඉදිරියෙන්ම සිටින පුද්ගලයෙකු ලෙස නිශාන්ත මහතා හඳුන්වාදිය හැකිය. එම නිසා ඔහු සමග යන මෙම ගමන ජීවිතයට අමතක නොවන සංචාරයක් වනසේම ඉහළ දැනුම් සම්භාරයක් ලබාගැනීමටද හැකි සංචාරයක් වන බව අපගේ මතයයි.

කොළඹ වටා යන මෙම සංචාරයේ ගමනාන්තය වන්නේ කොළඹ නගරයට ඉතාමත් සමීපව පවතින දර්ශනීය පරිසරයක පිහිටා තිබෙන අත්තිඩිය අභය භූමියයි. ‍

කොළඹ දිස්ත්‍රික්කයේ රත්මලාන, දෙහිවල, කැස්බෑව යන ප්‍රා‘දේශීය ලේකම් කොට්ඨාස තුනටම අයත්ව පිහිටා ඇති මෙම භූමියට හෙක්ටයාර 372ක භූමි ප්‍රමාණයක් අයත් වේ. මෙය පාලනය කරනුයේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගිනි. ලංකාවේ අනෙකුත් භූමි ප්‍ර‘දේශ හා සැසදීමේදී සීමිත භුමි ප්‍ර‘දේශයක් සතු බස්නාහිර පළාත වැනි අධික ජනගහනයක්, වේගවත් නාගරීකරණයක් හා අධික පරිසර දූෂණයක් සහිත ප්‍රදේශයක මෙවන් සොඳුරු පරිසර පද්ධතියක් තවමත් ඉදිරි වී තිබීම පුදුම සහගතය.

 

2017-05-02-ent-228

 

මෙම අභය භූමිය නොගැඹුරු මිරිදිය තෙත්බිමකි. පොකුණු, වගුරු හා විසුරුණු පඳුරු හා කුඩා ගස් හා ජලයෙන් යට වුණු තෘණ බිම් ආදියෙන් සමන්විත වේ.

ජෛව විවිධත්වය අතින් ඉතා පොහොසත් ප්‍ර‘දේශයක් ලෙසින් ඉතා වැදගත් තෝතැන්නක් වන මෙහි සංචාරක පක්ෂීන් බොහෝ සෙයින් වාසය කරති. අනූව දශකයේ මුල් භාගය වනවිට මෙහි පක්ෂීන් විශේෂ 160ට අධික ප්‍රමාණයක් වාසය කළ බවට එවකට තිබූ දත්ත වාර්තා පෙන්වා දෙයි. එමෙන්ම සමලුන් විශේෂ 700කට අධික ප්‍රමාණයක්ද, ලංකාවට පමණක් ආවේණික පෘෂ්ඨවංශීන් විශේෂ 15ක්ද මෙහිදී හමුවී ඇත.

එහෙත් මේ වනවිට එම ඉසව්වේ අභය භූමියක් දැකීමට නොහැකි තරම්ය. ශ්‍රී ලංකාවේ රක්ෂිත අතුරින් වැඩිම තර්ජනයට ලක්වී තිබෙන අභය භූමිය වන්නේද මෙයයි. එහෙත් මෙම සංචාරයේදී ඔබට එම ඉසව්ව වෙත ගමන් කිරීමට හැකියාව ලැබේ. මෙහි තිබෙන සුවිශේෂීත්වය පිළිබඳවද නිශාන්ත මහතාගෙන් අසා දැනගැනීමට හැකිය. ඔහු මෙම ස්ථානයට සංචාරකයන් රැගෙන යාමෙන් බලාපොරොත්තු වන්නේ එහි තිබෙන වටිනාකම ලෝකයට ප්‍රචලිත කර ඒ වෙතට හිමිවන සංචාරක ආකර්ෂණය වැඩිකර ගැනීමය. ඔබ එහි යන්නේ නම් එහිදී දැකගැනීමට හැකිවන පක්ෂීන් පිළිබඳව ඔබට ඉතා ඉහළ දැනුම් සම්භාරයක්ද ලබාගැනීමට හැකිවෙයි.

නිශාන්ත මහතා මෙම %COLOMBO BY JEEP^ පවත්වාගෙන යනු ලබන්නේ හුදෙක් ලාභය පමණක් අරමුණු කරගනිමින් නොව, සේවාවක් හැටියටය. ඔහු සෑම ඉරිදා දිනයකම වයෝවෘද්ධ වැඩිහිටියන් අත්තිඩිය අභය භූමියට රැගෙන ගොස් ඔවුන්ට යම් මානසික සුවයක් ලබාදීමට කටයුතු කරයි. ඔහු ඒ සඳහා කිසිදු මුදලක් අයකරන්නේද නැත. එමෙන්ම ඔහු පණ මෙන් ආදරය කරන සුරකින ඔහුගේ මෙම ජීප්රථ පදවාගෙන යාමටද සංචාරයේ නිරත ඔබට අවස්ථාව හිමිවෙයි. මෙම සංචාරයේ අමතක නොවන අංගයක් ලෙස ඔය පෙන්වාදිය හැකිය.

මෙම ජීප් රථ සියල්ල ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ නීතිරීතිවලට යටත්වන පරිදි ආරක්ෂාව 100% සහතික වන ලෙස පවතින හෙයින් බියක් සැකක් නොමැතිව ඔබට මෙම අත්දැකීම ලබාගැනීමට හැකිය. මෙහි අයකිරීම් නම් සාමාන්‍ය‘යෙන් විදේශිකයන් සඳහා එක් ජීප්රථයක් සඳහා ඩොලර් 100කි. ශ්‍රී ලාංකික සංචාරකයන් සඳහා එවන් ලෙස නිශ්චිත මුදලක් වෙන්කොට නොමැත. නමුත් සාධාරණ මිල ගණන් යටතේ ඔබට එම සේවාව ලබාගැනීමට හැකියාව ලැබේ. එමෙන්ම මංගල ඡායාරූපකරණ සඳහාද, වෙළෙඳ දැන්වීම්, ප්‍රදර්ශන සඳහාද ඔබට සාධාරණ මිල ගණන් යටතේ මෙම ජීප්රථ ලබාගැනීමට හැකිය.

දෙවන ලෝක යුද සමයේ භාවිත කළ ජීප්රථයක නැගී තේජාන්විත ලෙස කොළඹ වටේ ගොස් අභය භූමියේ සිරිනැරඹීමට ඔබත් කැමතිනම්, 0777 330 900, 077 403 000 යන දුරකථන අංකයන්ට ඇමතීමෙන් හෝ COLOMBO BY JEEP යන ෆේස්බුක් පිටුව ඔස්සේ නිශාන්ත මහතාව සම්බන්ධ කර ගෙන එම අත්දැකීම විඳගන්න.

 

සටහන සහ ඡායාරූප - මංජු ප්‍රදීප් කුමාර / සුපුන් සම්පත්

 

 2017-05-02-ent-227 2017-05-02-ent-226 2017-05-02-ent-225  2017-05-02-ent-223 2017-05-02-ent-222 2017-05-02-ent-221 2017-05-02-ent-220 2017-05-02-ent-219 colo 2017-05-02-ent-217 2017-05-02-ent-216 2017-05-02-ent-215 2017-05-02-ent-214 2017-05-02-ent-213 2017-05-02-ent-212