දෙමෝදර ආරුක්කු නවයේ පාලම
කොළඹ බදුල්ල දුම්රිය මාර්ගයේ ඇල්ල හා දෙමෝදර දුම්රිය ස්ථාන අතර පිහිටි කඳු දෙකක් යාකරන මෙය, අඩි 25 ක් පළලට අඩි 300 ක් දිගට හා අඩි 80 ක් උසට වන සේ මුහුදු මට්ටමින් අඩි 3 100 ක් ඉහලින් පිහිටා ඇත. මෙහි ඉතිහාසය ගත්විට මෙහි නිර්මාණකරුවා සම්බන්ධයෙන් නිල නොවන හා නිල වශයෙන් වාර්තා වී ඇති කරුණු අතර පවතින්නේ විවාදාත්මක තත්ත්වයකි.
දුම්රිය මාර්ගය ඉදිකිරීමේදී ඇල්ල දුම්රිය ස්ථානයෙන් ඔබ්බෙහි තිබුණු මහා නිම්නයක් හරහා වංගුවක් සහිතව පාලමක් දැමීය යුතු ස්ථානයක් හමුවූ බවත්, එහිවූ සංකීර්ණත්වය හේතුවෙන් බ්‍රිතාන්‍ය ජාතික ඉංජිනේරුවන්ට දුම්රිය මාර්ගය ඉදිකිරීම අතරමග නවත්වන්නට සිදුව ඇතැයි කියැවේ. මේ පිළිබඳව සැල වූ “අප්පුහාමි” නම් පුද්ගලයෙක් ඔහු සතු දැනුම යොදාගෙන ආරුක්කු පාලමක් සම්පූර්ණයෙන් කළුගල් කුට්ටි භාවිතයෙන් මෙතැන ඉදිකළ බව ජනප්රවාදයේ ඇති කතාවයි.
නමුත් මෙම පාලම ඉදිකිරීම සම්බන්ධයෙන් පවතින ලිඛිත වාර්තා වල පැහැදිලිවම පෙන්වාදෙන ආකාරයට ආරුක්කු නවයේ පාලමේ සැලසුම් සකස් කිරීම සහ ඉදිකිරීම භාරකර ඇත්තේ එවකට දුම්රිය මාර්ග සඳහා මෙවැනි ආරුක්කු පාලම් ඉදිකිරීම සම්බන්ධයෙන් විශේෂඥ ඉංජිනේරුවරයෙකු වූ හැරල්ඩ් කුත්බර්ට් මාවුඩ් (Harrold Cuthbert Marwood) හටය.
බ්‍රිතාන්‍ය ඉංජිනේරුවන් විසින් මෙහි ඉදිකිරීම් සඳහා දේශීය කොන්ත්‍රාත්කරුවන් කිහිපදෙනෙකු මෙන්ම ශ්‍රී ලාංකික ඉංජිනේරුවරුන් කිහිපදෙනෙක් සම්බන්ධකරගෙන ඒ අතර වූ එක් කීර්තිමත් ලාංකික ඉංජිනේරුවරයකු වූයේ ඩී.ජේ. විමලසුරේන්ද්‍ර මහතාය. ආරුක්කු පාලම ඉදිකිරීම සඳහා භාවිතා කර ඇත්තේ කළුගල් කුට්ටි නොව අනුපාතයන් අනුව මිශ්‍ර කරගත් කොන්ක්‍රීට් මිශ්‍රණයකින් සෑදූ කොන්ක්‍රීට් ගල් විශේෂයකි. මෙම කොන්ක්‍රීට් ගල් එකක් මත එකක් තබා සිමෙන්ති බදාම යොදා සවිකර තිබේ. පාලමේ කුළුණුවල පාදම් තනා ඇත්තේ පොලව යටට අඩිගණනාවක් කැණීමෙන් පසු ස්ථර කිහිපයකට කබොක්ගල් කුට්ටි සහ මයිකා මිශ්‍රිත සිමෙන්තියෙන් සකසාගත් සවිමත් කොන්ක්‍රීට් මිශ්‍රණයක් භාවිතයෙනි.
සටහන සහ ඡායාරූප - නඳුන් ශ්‍යාමාල්