දසුනින් නෙතත්, දහමින් සිතත් සනහන 'සිතුල්පව්ව'
කතරගම පූජා භූමිය වන්දනාමාන කිරීම සඳහා සංචාරයක නිරත වනවිට ගමන්ගන්නා මාර්ගයේ දී හමුවන සංචාරක ස්ථාන පිළිබඳව සංචාරක ඔබව දැනුම්වත් කිරීම සඳහා ඇරඹි ලිපි මාලාවේ මෙවර ගමනාන්තය වන්නේ දසුනින් නෙතත්, දහමින් සිතත් සනසන දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයට හා ඌව පළාතේ මොනරාගල දිස්ත්‍රික්කයට අයත්ව ව්‍යාප්ත වී තිබෙන යාල වනෝද්‍යානය තුළ පිහිටි ‘සිතුල්පව්ව’ රජමහා විහාරයයි. මෙම පූජනීය පුදබිම වෙත ගමන් කිරීමට ප්‍රධාන මාර්ග ද්විත්වයක් පවතී. ඉන් එක් මාර්ගයක් තිස්සමහාරාමයේ සිට යෝධ කණ්ඩිය පාර හරහා යාල වනාන්තරය මධ්‍ය‘යෙන් වැටී තිබේ. එම මාර්ගයේ කිලෝමීටර 35ක් පමණ දුර ගෙවා හෝ කතරගම සිට කිලෝමීටර් 18ක පමණ දුරක් යාල වන මැදින් පැමිණ මෙම ගත-සිත පුබුදුවාලන පූජා භූමිය වෙත පිවිසීමට අවස්ථාව සැලසෙයි.
කුමන මාර්ගයෙන් පැමිණියත්, මෙම පූජා භූමිය වෙත පැමිණීමට ස්වභාවධර්මයේ අපූරු නිර්මාණය වූ යාල මහා වනාන්තරය පසුකළ යුතුය. අහිංසක සාවුන්, මුවන්, ගෝනුන් මෙන්ම රුදුරු අලි, කොටි, වළසුන්ගේ නෙත් පිනවන දසුන් ඔස්සේ සහ කුරුල්ලන්ගේ කීචි-බීචි නාදය ඔස්සේ මෙම ඉසව්වට පැමිණෙන මාර්ගය ඉතා දැකුම්කළුය.
මෙම පුණ්‍ය භූමිය වසරේ වැඩි කාලයක් යාල මහ වනය අත්විඳින කර්කෂ දේශගුණයට සාර්ථකව මුහුණ දෙමින් නොසැලී සිටියි. මෙම පූජා භූමිය මහා වංශයේ හඳුන්වා ඇත්තේ ‘චිත්තල පබ්බත’ විහාරය යනුවෙනි. සෙල්ලිපිවල සඳහන් වන්නේ ‘චිතල පබත’ යනුවෙනි. ‘චිතල පබත’ යන්නෙහි අර්ථය වන්නේ ‘සිත සතුටු කරන පව්ව’ යන්නය. අතීතයේ සෙල්ලිපිවල සඳහන් එම ෙතාරතුරු කොතරම්දුරට සත්‍යදැයි බැලීමට ඔබ එහි යා යුතුමය. මෙම අසිරිමත් ඉසව්ව වට වී තිබෙනුයේ බටහිරින් කතරගම කන්දත්, උතුරෙන් හපුතලේ සහ බණ්ඩාරවෙල කඳු වැටියත්, ගිණිකොන දෙසින් පෙනෙන මහ සයුරත්, කුඩා රාවණා සහ කෝට්ටේ ප්‍රදීපාගාරයත්, ආකාශචේතිය, මැණික් ගඟ සහ මිනිස් ගල් කන්දෙනි.
සිතුල්පව්ව සිද්ධස්ථානයට වැඩි වශයෙන් බැතිමතුන් පැමිණෙන්නේ පොසොන් පොහොය දිනයට බව අපට එහිදී දැනගන්නට ලැබුණි. මෙහි ප්‍රධාන චෛත්‍ය පිහිටි කුඩා ගල්පර්වතයට නැගුණු විට මනස්කාන්ත දර්ශනයන් මවන පරිසරය මනාව දිස්වේ. මෙම පිංබිම තුළ ඇවිද යන ඔබට මහ රහතන් වහන්සේ, වැඩ සිටි ගල්ලෙන් රාශියක් සහ දිගින් අඩි 100ක් පමණ වූ පොහොය ගෙයක නටඹුන්ද සංඝවාසය අසල තිබේ.
වංශ කතාවලට අනුව ක්‍රිස්තු පූර්ව තුන්වන ශත වර්ෂයේ දී කාවන්තිස්ස රජතුමා විසින් සිතුල්පව්ව කරවන ලද බව සඳහන් වේ. එවකට මෙහි දොළොස් දහසක් භික්ෂු සංඝයා වැඩ සිටි බවද පුරාවෘත්තයන් හි සඳහන් වෙයි. එම පුරාවෘත්තාන්තයන්ට අනුව කාවන්තිස්ස රජතුමා විසින් දානශාලා, ලැඟුම්ගෙවල්, උපෝසතාගාර, වැව්, පොකුණු ආදිය තනවා, අනාගතයේදීත් මෙම පිංබිම රැකගත යුතු බවට දොළොස් දහසක් සඟ රුවනට පූජාකර තිබෙන බව මහාවංශයේ සඳහන් වෙයි.
ඊට අමතරව ඉතිහාසගත තොරතුරුවලට අනුව ගැමුණු කුමරු, එළාර රජු සමග සටනට එළැඹීමට පෙර සිතුල්පව්ව විහාරයට ගොස්, එහි වැඩ වාසය කළ සුපේශල භික්ෂූන් වහන්සේට දන් පිළිගැන් වූ බවත්, ඉන් පසුව මාගමින් පිටත් වූ බවත් සඳහන් වෙයි. සිතුල්පව්ව විහාරයට ප්‍ර‘වේශ වන ස්ථානයේ වම්පස තිබෙන සෙල්ලිපිය ලඡ්ජිතිස්ස රජු විසින් කරවන ලද බවද, ලඡ්ජිතිස්ස රජුගේ පියාණන් වූ සද්ධාතිස්ස රජු ද විහාරස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකර තිෙබන බව සඳහන් කරයි.
එමෙන්ම වළගම්බා රජු දමිළයන් සමග සටනට පෙර සිතුල්පව්ව අසල වූ ආකාර චෛත්‍යයට පූජාවක් කර තිබේ. එවන් ආකාරයට ක්‍රිස්ත්‍ර පූර්වයේ සිට දෙවැනි පැරකුම්බා රජ සමය දක්වා රෝහනයේ අණසක පතුරුවාගෙන සිටි සියලුම රජවරුන් මෙම පිංබිමට විශාල මෙහෙයක් කොට විහාරස්ථානයට අවශ්‍ය සියලු අංගෝපාංග නිමවා පූජාකොට තිබේ.
පසුකාලීනව කාවන්තිස්ස රජතුමා මූලිකත්වය ගෙන ඉදිකරන ලද සිතුල්පව්ව වෙහෙර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් රියන් තිස්හතක් (37) උසට නිමවා ප්‍රතිසංස්කරණය කර තිබේ. වර්තමාන සංවාසයට ඉදිරියෙන් අඩි 400ක් පමණ උස් වූ ගල් පර්වතයක එය ඉදිකොට තිබේ. මෙම ඉසව්ව වනගත වී තිබිය දී ඒ පිළිබඳව පොතපතෙන් කරුණු හෙළිදරව් කරගත් ගාල්ල යටිගල රජමහා විහාරාධිපති වැඩවිසූ කලහේ ශ්‍රී රත්නජෝති ගුණරතනාභිධාන නායක ස්වාමීන් වහන්සේ නටඹුන්ව ගිය සිතුල්පව්ව ශුද්ධ භූමිය සොයාගෙන තිබේ. එවකට පැවැති බ්‍රිතාන්‍ය රජයෙන්ද අවසර ලබාගෙන මේ පිංබිම එළිපෙහෙළි කොට නැවතත් පැරැණි තත්ත්වයට පත් කිරීමට උන්වහන් සේ මහත් කැපවීමෙන් කටයුතු කර තිබේ. එම කාලවකවානුවේ පටන් අද දක්වාම උනවටුනේ යටගල රජමහා විහාරය මෙම පුණ්‍ය භූමියේ පැරැණි ශ්‍රී විභූතිය මතුකරමින් හෙළ බොදු සංස්කෘතියට අමරණීය සේවාවක් සලසමින් සිටි බවත් සඳහන් වෙයි. ඔබත් කතරගම පුරවරයේ සංචාරයක නිරතවීමට බලාපොරොත්තුවෙන් සිටිනවානම්, මෙම පුණ්‍ය භූමියට ගොස් පිං ලබාගන්න.
සටහන සහ ඡායාරූප - මංජු ප්‍රදීප් කුමාර / සුපුන් සම්පත්