දකුණු මුහුදේ නාන තටාකය
ඔයා පහේලි කියන හින්දී චිත්‍රපටය බලලා තියෙනවද? ඔයාට මතකද අලුත් මනමාලි මංගල කරත්තෙන් මනමාලයාගේ නෑදෑ පිරිවරත් එක්ක යද්දී අතරමගදී මූණ එහෙම හෝදගෙන ටිකක් විවේක ගන්න නවතින තැන. ඇය මූණ හෝදන්න යන වටේට පඩිපෙළ සහිත විශාල පොකුණ ඔයාට මතකද? පහේලි ගැන අපි ඔයාට මෙච්චර විස්තරයක් කීවේ ඔයා පහේලි බලලා තියෙනවනම් අන්න ඒ පොකුණ ඔයාගේ මතකයට නංවන තැනකට අපි ගියා. ඒ පොකුණ තරම් ලස්සන නැතත් අපි ගිය ඒ තැනත් හරි අපූරැ නිසා මේ සති අන්තේ walk 111 එක්ක අපි හිතුවා ඔයත් එතෙන්ට එක්ක යන්න.
අපි ගියේ ස්වභාවික පිහිණුම් තටාකයකට. දික්වැල්ල මුහුදු තීරය පසුබිම් කරගෙන තමා ඒ ස්වභාවික පිහිණුම් තටාකය ඉදිකරලා තියෙන්නේ. සීතගල්ල මුහුදු තටාකය තමා ඒ ස්වභාවික පිහිණුම් තටාකයේ නම. ඒ හරියේ මුහුදු රුල්ල ටිකක් සැරයි. ඒත් ඒ හරිය පහු කරලා යන හුඟ දෙනෙක් එතන ටිකක් නැවතිලා ඒ මුහුදු වෙරළේ ආස්වාදය විඳලා තමා යන්නේ. අපි එතෙන්ට ගියෙත් උදෑසනම. ඒත් ඒ වෙලාවෙත් හුඟ දෙනෙක් එතන හිටියා. උදෑසන ඉර එළිය රිදී පාටින් මුහුදු රුල්ල මතට වැටිලා රුල්ල නගන මුහුද රිදී පාටින් දිලිසෙන වෙලාවටයි හවස ඉර මුදුන් වෙද්දී රත්තරන් පාට ඉර එළිය මුහුදට වැටිලා දිලිසෙන වෙලාවටයි මුහුද දිහා කොච්චර බලාන හිටියත් ඇති වෙන්නෙ නෑ නේද?
ඒ මුහුදු තීරයේම ටිකක් උඩට ඇවිදගෙන යද්දී තමා මේ ස්වභාවික නාන තටාකය හමුවෙන්නේ. පිය ගැට පෙළක් දිගේ බැහැගෙන ගිහින් ඒ නාන තටාකයට බහින්න පුළුවන්. මුහුදම එක් පසෙකින් ගල් වැටියකින් හරස් කරලා තමා මේ ස්වභාවික නාන තටාකය නිර්මාණය කර තිබෙන්නේ. නල මාර්ගයක් ඔස්සේත් මේ තටාකයට මුහුදු ජලය සැපයෙන අතර රුල්ල උස්ව නැගෙන වෙලාවටත් ඒ රුල්ල අරන් එන වතුර කඳින් මේ නාන තටාකය පීරී යනවා. අනිත් විශේෂත්වය තමා මේ නාන තටාකයේ හැම වෙලේම තියෙන්නේ fresh මුහුදු වතුර. ඒ වතුර නොරුඳී ගලා යන ක්‍රමයකුත් තියෙන නිසා.
මේ ස්වභාවික නාන තටාකයේ නාන්න පුළුවන්. හැබැයි සමහර තැන් ටිකක් ගැඹුරැයි. ඒ නිසා ඔයත් මේ තැන බලන්න ගියොත් නිල් කැටේට දිලිහෙන වතුර ටිකක් දැක්ක ගමන් හායි කියලා වතුරට පනින්න එහෙම එපා. පීනන්න දන්නෙ නැති අය කොහොමත් වතුරත් එක්ක ගනුදෙනු කරන්න ඕන හුඟක් පරිස්සමින්. මුහුදේ සුන්දරත්වය විඳින ගමන් හිටපු ගමන් උස්ව නැගෙන මුහුදු රුල්ලෙ නෑවෙමින් කොහොමද නාද්දී.
ඉතින් ඊළඟ සතියේ අපි කොහෙද යන්නේ. දවස් හතක් බලාගෙන ඉන්නකෝ එහෙනම්. අපි එනවා ඔයාව කොහේ හරි සොඳුරැ ඉසව්වකට එක්ක යන්න.
Text -Saara / Pic- Channa Kassapa Koralearachchi