දකුණු ආසියාවේ විශාලතම රෝස තිරිවානා නිධිය
ජාතික නාමල් උයන
ස්වභාව ධර්මයේ මැවීම් සමග මිනිසුන්ගේ කුසලතා එක්තැන් වූ විට මතුවන්නේ විශ්වකර්ම නිර්මාණයකි. එවන් වූ විශ්වකර්ම නිර්මාණයක් ශ්‍රී ලංකාවේ මධ්‍යයට වන්න පිහිටා ඇති අතර, එය ඓතිහාසික වටිනාකම් රාශියකින් යුත් දඹුල්ල නගරය තුළ පිහිටා තිබේ. අක්කර 260ක් පුරා විහිදී තිබෙන ‘නා’ වනයක් තුළ පිහිටා ඇති මෙම අනගිභවනීය ස්ථානය දෙස්-විදෙස් සංචාරකයන්ගේ සිත්සතන් තුළ නොමැකෙන මතක සටහන් එක් කිරීමට සමත් වී තිබේ. ශ්‍රී ලංකාවේ විශාලතම නාමල් වනය සහ දකුණු ආසියාවේ විශාලතම රෝස තිරිවානා නිධිය ලෙස සැලකෙන ‘රෝස තිරිවානා කඳුවැටිය’ පිහිටා තිබෙන ‘ජාතික නාමල් උයන’ මෙවර අපගේ ගමනාන්තය විය.
ගමන් මාර්ගය
සංරක්ෂිත භූමියක් ලෙස නම් කර තිබෙන ජාතික නාමල් උයනට සංචාරක ඔබට ළඟා විය හැක්කේ කොළඹ - අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ පැමිණ මඩාටුගම මංසන්ධියෙන් හැරී ආඩියාගල මාර්ගයේ කිලෝමීටර් හතක් පමණ ගල්කිරියාගම ප්‍රදේශයට පැමිණි පසුවය. ඊට අමතරව ගලේවෙල - දඹුල්ල මාර්ගයේ 91 හංදියෙන් හැරී ඉබ්බන්කටුව වැව් කොමළිය මතින් ගල්කිරියාගම දක්වා දිවෙන මාර්ගයේ පුබ්බෝගමට පැමිණ එතැන් සිට අඩියාගල දක්වා දිවෙන මාර්ගයේ කිලෝමීටර් 02ක් තරම් දුරක් ගමන් කිරීමෙන් මෙම ඉසව්ව වෙත පහසුවෙන් ළඟාවීමට අවකාශය ලැබේ. මෙම මාර්ගයන්ට අමතරව ගලේවෙල, කලාවැව හරහා කැකිරාව දක්වා දිවෙන මාර්ගය ඔස්සේද පැමිණීමට හැකිය.
නාමල් උයනේ ඓතිහාසිකත්වය
ඓතිහාසික වටිනාකම පිළිබඳව සැලකීමේදී මෙම නා වනයේ ඉතිහාසය අනුරාධපුර යුගයේ මුල් අවධිය දක්වා විහිදෙයි. සිව්වන දප්පුල රජු විසින් මෙම වනය අභය භූමියක් වශයෙන් ප්‍රකාශයට පත් කළ බවට සනාථ කෙරෙන ගල් කුලුනක් නාමල් උයනට පිවිසෙන ආඩියාගල මාර්ගයේ උල්පතගම මංසන්ධියේ දී දැකගැනීමට හැකිවෙයි. ඊට අමතරව මෙම භූමියේ එක් ස්ථානයක දේවානම් පියතිස්ස රජ සමයේ කරවන ලදැයි සැලකෙන ‘ටැම්’ සෙල්ලිපියක්ද දක්නට ලැබේ. අතීතයේ මෙම භූමිය භාවිත කර ඇත්තේ වැරදි කරන පුද්ගලයන්ව පුනුරුත්තාපනය කිරීම සඳහා බව මතයක් පවතී. ඔවුන් විසින් මෙම නාගස් රෝපණය කරන්නට ඇති බවටද විශ්වාස කෙරෙයි.
තිරිවානා කඳු මුදුනෙන් පහළ තිබෙන හෙළ තුළ අතීතයේ මිනිස් ක්‍රියාකාරකම් සිදුවී ඇති බවට නටඹුන් දිස් වුවත්, එම ප්‍රදේශය ළඟා වීම ඉතා අපහසු බැවින් තවමත් එහි තොරතුරු අධ්‍යනය වෙමින් පවතී. තවද ගලින් ඉදිකර ඇති බෝධි ඝරයක්, පිළිම ගෙයක් හා අවාස ගෙයක් මෙන්ම සඳකදපහණක් දකින්න ලැබේ. එම නටඹුන් ඔස්සේද මෙම භූමිය තුළ විහාරයක් තිබී ඇති බවටත්, එම ගොඩනැගිල දේවානම්පියතිස්ස රජ සමයේ තුන්වන සහ හතරවන දප්පුල රජ සමයේ මෙන්ම කාශ්‍යප රජ සමයේ ඉදිකරන්නට ඇතැයි විශ්වාස කෙරෙයි. එමෙන්ම ඉන්දියාවේ ටජ්මහල සැදීම සඳහා නාමල් උයනෙන් රෝස තිරිවානා රැගෙන ගිය බවටද සෙල්ලිපියක සඳහන් වන බව පුරාවිද්‍යාඥයෝ පවසති.
සුන්දරත්වය
නාමල් උයන තුළට ඇතුළු වීමත් සමගම සාමාන්‍ය පරිසරයේ දකින නා විශේෂයන්ට වඩා අතු බෙදුණු විශාල කඳන් සහිත නා ශාක දක්නට ලැබේ. ඒ අතරට අඩි 50ක් පමණ වට ප්‍රමාණයන්ගෙන් යුක්ත වූ විශාල නා ගස් සහ වසර 1500ට වඩි පැරැණි රූස්ස නා ගස්ද අයත් වේ. මෙම වනය තුළ ප්‍රධාන වශයෙන් ද්විත්වයක් වන දිය නා සහ බටු නා දැකගත හැකිය.
අප්‍රේල් සහ මැයි මාස තුළ දී මෙම තෝතැන්න කරා පැමිණෙන සංචාරකයන්ට නාමල්වල සුගන්ධය මධ්‍යයෙන් රෝස තිරිවානා කඳුවැටිය කරා ගමන් කළ හැකිය. ඒ යන අතරවාරයේ දී නෙත ගැටෙන මනස්කාන්ත දසුන් අතරට කඳු මුදුනේ සිට ගලා එන සිසිල් දිය දහරවල් මහත් අශ්වාදයක් ලබාදෙයි. එලෙස ගලා එන එක් සිසිල් දිය දහරාවක් ළිඳක් වැනි පාත්‍රයකට වැටීමට සලස්වා ඇත. සතරවරම් දෙව්වරුන් උදෙසා දැල්වූ තිර හතරක් සහිත පහනක් සේ හැඳින්වෙන මෙම ගල් පාත්‍රය පැරැණි ගැමියන් හඳුන්වා ඇත්තේ ‘ගල් අප්පල්ලෙ’ යනුවෙනි. මෙයට වෙටෙන ජලය කැලතී භ්‍රමණය වෙමින් පොළොවට කිඳා බසින ආකාරය දැකගැනීමට අවකාශය ලැබේ. වර්ෂාවක දී වුවද ජලය එතනින් පිටාර ගැලීමක් නොමැතිව පොළොවට කිඳා බැසීම සුවිශේෂී සිදුවීමකි. එහි ස්වභාවය අනුව මෙම ස්ථානයෙන් අතීතයේ දී ගම්මානයට අවශ්‍ය වන්නා වූ ජලය බෙදාහැරීම සඳහා වාරි පද්ධතියක් භූ ගර්භය අභ්‍යන්තරයේ ඉදිකර තිබුණා දැයි සැකයක්ද පවතී.
වනගත තැනිතලාව පසුකරිමින් ඉදිරියට යනවිට හමුවන්නේ අක්කර 105ක භූමි ප්‍රමාණයක විහිදී තිබෙන වසර මිලියන 500ක ඉතිහාසයකට උරුමකම් කියන කඳු වැටි හතකින් සැදුම්ලත් රෝස තිරුවානා කඳු පන්තියයි. කඳු වැටිය තරණය කිරීමේ දී අවට රෝස තිරුවානා කඳු වළලලේ මනස්කාන්ත දර්ශන රැසක් දැකගැනීමට අවකාශය ලැබෙයි. මෙම කඳුවැටිය වර්තමානය වනවිට අවපැහැ ගැන්වී තිබේ. ඊට හේතු වී ඇත්තේ නිරන්තරයෙන් පා ස්පර්ශයත්, මතුපිට ස්ථරය ජීර්ණයට ලක් වී තිබීමත්, දැඩි සූරය තාපයට හා ජලයට ඉතා දිගු කාලයක් නිරාවරණය වී තිබීමත්ය. කඳු මුදුනේ සමාධි බුදු පිළිමයක් සහ රෝපණය කරන ලද බෝධියක් ස්ථාපිත කර තිබේ.
ජෛව විවිධත්වය
පුරා විද්‍යාත්මක වැදගත්කමින් අනූන නාමල් උයන සුන්දර ශාක හා සත්ව පාරාදීසයකි. මෙහි ඝර්ම කලාපීය ශාක විශේෂ 108ක්, පැළෑටි 82ක්, විවිධ ක්ෂරපායී සතුන් (රිළවුන්, දිවයන්, මුවන්), විෂකුරු සර්පයන්, සමනල විශේෂ, ඖෂධීය ශාක (කළු වෙලගිරිය, දෙමට, කටි බැබිලථ දික්වැන්න, මිංගො කරපිංචා, බිම්පොල්, අන්දර, රත්මල්, ගොනන්කා, රම්මානිස්ස, මකුළු, කම්පිල, බිංටතෙල්) ගනනාවක් දැකගැනීමට තිබේ.
සැලකිලිමත් බව
රෝස තිරුවානා කඳුවැටිය තරණය කරන්නේ නම්, එය ලෙස්සන සුලු බවින් යුක්ත නිසා කල්පනාකාරීව පා තබන්න. පොලිතීන්, ප්ලාස්ටික් ඉවත හෙළීමෙන් වැළකී, සතුන් හා ශාකවලට හානි නොකර පරිසර හිතකාමී පුරවැසියන් ලෙස ඔබේ වගකීම ඉෂ්ට කළහොත් ලෝකයේම අවධානය දිනාගෙන තිබෙන ජාතික නාමල් උයන අපට මතුපරපුර උදෙසාත් ආරක්ෂා කරගැනීමට හැකිවනු ඇත.