තාපසාරාමයක් වූ ගල් බංගලාව



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-03-22-ent-122

තංගමලේ?

මේ සුන්දරත්වය අරක්ගත් කුරුලූ රජදහනකි.

හපුතලේ නගරයට කිලෝ මීටර් දෙකකට ඔබ්බෙන් පිහිටි මේ සොඳුරු ඉසව්ව ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානය දක්වා පැතිර පවතී.

හිරු රැුසින් ගිනිගන්නා නගරයට සිසිල් පවනක් තිළිණ කරන මේ හරිත වනපෙත තවමත් තෙත බරිතය. උන්හිටි ගමන් වැටෙන වතුර බිංදුවක් දෙකක් කියන්නේ මොහොතකට කලිනුත් වැස්සක් ඇද හැලූණු බවය.

තුරු හිස්වලට ඉහළ අහසේ පාව යන වලාකුල හිරු එළිය සඟවාගෙනය.

ලොකු පුවරුවක ඉංගී‍්‍රසි අකුරු පෙලකි.

 

ADIZOM

අපේ ගමනාන්තය මේ කියන ඇඩිසම් බංගලාව බැවින් තංගමලේ කුරුලූ රජදහනේ එක් පැත්තකින් වූ ඇඩිෂම් ප‍්‍රවේශපත‍්‍ර කාර්යාලයට ගියෙමු.2019-03-22-ent-113

එක් අයෙකුට රුපියල් පනහ බැගින් ගෙවා ප‍්‍රවේශ පත‍්‍ර මිලට ගත් අපි ඇඩිසම් බංගලාවේ ගේට්ටුවෙන් ඇතුළු වීමු.

කළු පාට උස් බිත්ති සහ බංගලාව මැදිකරගත් ලස්සන මල් උයන අපේ නෙත් පැහැර ගති. මුලින්ම හමුවන්නේ ජේසු සමිදාණන්ගේ ප‍්‍රතිමාවකි.

විවිධ පාටැති මල් පාත්ති වෙත නෙත් යොමු වන්නේ ඊළඟටය. රෝස පාට, කහ පාට, දම්පාට වැනි විචිත‍්‍ර වර්ණ මෙන්ම චිචිත‍්‍ර හැඩගත් මල් ගොමු.....

 

මේ තරම් ලස්සන මල් මේ ලෝකයට කොහෙන්ද?

මේතරම් ලස්සන පාට මේ මල්වලට කොහෙන්ද?
 

වැනි ප‍්‍රශ්න වලින් මගේ මනස පිරිණි.

අපේ ඇබා, මෙලෝ සිහියක් නැතුව මේ ලස්සන මල්ගොමු තම කැමරා කාචයේ සටහන් කර ගනිද්දී මම සියල්ල හිතේ පොතේ ඇඳ ගන්නට වීමි.

සියල්ල යටකර ගෙන නැගී සිටින්නේ ඇඩිෂම් බංගලාවයි. හැබැයි එය ඉදිරියෙන් පෙනෙන්නේ තවත් පිළිරුවකි. එය දේමාතාවගේ පිළිරුවකැයි සිතමි.

කළුම කළු පාට උස් බිත්ති වලින් යුතු ඇඩිෂම් බංගලාව, වැනි ගොඩනැගිල්ලක් ලංකාවටම ඇත්තේ මෙපමණකි. හේතුව මෙය එංගලන්තයේ කෙන්ටකියේ පිහිටි ඇඩිෂම් බංගලාවේම අනුරුවක් වීමය.

ඒ කතාව ඔබේ ඇස් නළලට යවන්නට සමත් වෙනවාට කිසිම සැකයක් නැත. කෙන්ටකියේ ඇඩිෂම්?

මොකක්ද මේ කෙන්ටකිය?

ඒ් ප‍්‍රශ්නයට විසඳුම් දෙන්නට කලින් ලෙස්ටර් තෝම්ස් විල්ස් නම් පුද්ගලයකු ගැන කතා කරන්නට සිදුවෙයි. ඔහු උපත ලද්දේ ඇඩිෂම් නම් ග‍්‍රාමයකය. එංගලන්තයේ ලස්සනම ගම්මානය තම ගම්මානය බව විශ්වාස කළ විල්ස්, ඒ ගම්මානයට බොහෝ සේ ආදරය කළේය.

ඔහු උපන්නේ ප‍්‍රභූ පවුලකය. යම්තම් තරුණ වියට පැමිණි විගසම එංගලන්ත රැුජිනට සේවය කිරීම උදෙසා ස්වෝත්සාහයෙන් ධනවත් වීමට මේ ප‍්‍රභූ තරුණයන් උත්සාහ ගැනීම සම්ප‍්‍රදායක් විය. බොහෝ විට ඔවුන් කරන්නේ අධිරාජ්‍යයට යටත් විජිතවල සේවයට යෑමය. ඔවුන් තම මනාපයේ පරිදි විවිධ රැුකියා තෝරා ගනිති. සමහරු සෙන්පතියන්ය. සමහරු අපනයනකරුවන්ය. තවත් සමහරු වැවිලිකරුවන්ය. කර්මාන්තකරුවන්ද, රාජ්‍ය සේවකයෝ වූහ.

විල්ස් තෝරාගත්තේ වැවිල්ලයි.

1887 වනවිට අවුරුදු දාහතක තරුණයකු වූ විල්ස් නැව් නැග්ගේ ලංකාවටය. ඔහුගේ පළමු වැනි නවාතැන වූයේ බොගවන්තලාවේ ඇල්බැද්ද වතුයායයි. එහි ආධුනික වතුපාලකයකු ලෙස වතු රස්සාවේ පළමු පාඩම උගත් ඔහු ක‍්‍රමයෙන් අත්දැකීම් ලබාගත්තේය. වතු රස්සාවට අනුගත වූ ඔහු සීතල ඉගිල එන සන්ධ්‍යාවන් ගත කරන්නට වතු පාලකයන්ගේ නිවෙස්වලට එකතු වීමය. මධුවිත ගලායයි. විවිධ කී‍්‍රඩාවන්හිද යෙදෙමින් ජීවිතයේ බොහෝ කාලයක් ගෙවා දමයි.

ඩබ්ලිව්.එච්. වෝකර් නමැති වතුහිමියා විල්ස්ට හමුවන්නේ ඔන්න ඔය විදිහටය. ඒ හමුව කෙළවර වූයේ වෝකර්ගේ රූමත් දියණිය වූ එමලින් සමග විවාහ වීමෙනි.

ධනවතෙකු බවට පත්වූ විලස් 1900 වසරේදී දික්ඔය වතුයාය මිලට ගත්තේය. එහෙත් ඔහු වතුහිමි වැවිලිකරුවකු ලෙස පමණක් ජීවත් වන්නට කැමති වූයේ නැත. එවකට ලංකාවේ ප‍්‍රමුඛ පෙළේ තේ අපනයන සමාගමක් වන ජෝර්ජ් ස්ටුවඞ් සමාගමේ කොටස්කාරයකු වූ ඔහු අන්තිමේදී එහි සභාපති ලෙසද තේරී පත්විය.

මේ උත්සාහවන්තයා තවමත් ජීවත්වූයේ තම උපන් ගම්මානයේය. ඔහුගේ මතකයේ සැරිසැරුවේ තම නිවෙසයි. ඒ නිවෙස බඳුම මැදුරක් ලංකාවේද තැනවීමට ඔහු සිහින දුටුවේය.

අන්තිමේදී සීතල හපුතලෙන් ඉඩමක් අරගත් ඔහු එහි කෙන්ටකියේ නිවස බඳුම මැදුරක් තැනිවීය. 1829 දී ඉදිකිරීම් ඇරඹූ එය 1832 දී සාදා අවසන් කරන්නට ඔහුට හැකි විය.

ඇඩිෂම් බංගලාව ලෙසින් වතුකම්කරුවන් අතර ප‍්‍රසිද්ධියට පත් මේ මැදුරේ බිත්ති සාදා ඇත්තේ කළුගලෙන්වීමද විශේෂිතය. වහලයේ උළු බුරුම තේක්ක ලීයෙන් නිමැවුණි.

ඇත්තටම මෙය විශ්මිත නිමැවුමකි.

අපි ඒ ගල් බංගලාවට ඇතුළු වීමු.

පළමුවෙන්ම ඇස ගැටෙන්නේ තෝමස් විල්ස්ගේ චිත‍්‍රයයි. ඡුායාරූපය ලෝකයට පැමිණ නොතිබුණු ඒ අවධියේදී චිත‍්‍ර ශිල්පියකු ලවා තම චිත‍්‍රය අන්දවා ගැනීම ධනපතියන්ගේ පුරුද්ද විය. මේ මැදුරෙහි එල්ලා තිබෙන්නේ අන්න එබඳු චිත‍්‍රයකි. මේ චිත‍්‍රයේ විශේෂත්වයක් තිබේ. එය නම් කුමන කෝණයකින් බැලූවත් තෝමස් විල්ස් බලන්නා දෙස බලා ඉන්නා බව පෙනෙන්නට තිබීමයි. එබඳුව පෙනෙන චිත‍්‍ර ඇත්නම් ඒ අතළොස්සකි.

විල්ස්ගේ විසිත්ත කාමර, පාවිච්චි කළ ඇද පුටු මේස, භාවිතයට ගත් උපකරණ ආදිය තවමත් සුරක්ෂිතය.

මීට සියවස් එකහමාරකට පෙර ලංකාවේ විසූ වැවිලිකරුවන්ගේ ජීවිතවල ස්වභාවය තේරුම් ගන්නට මේ මන්දිරය කදිම නිදසුනක් බව ලියා තැබිය යුතුමය.

හපුතලේ යනු සීතල ප‍්‍රදේශයකි. ඒ එකද රාති‍්‍රයකවත් මේ මැදුර තුළට අධික සීතල ගලා ආවේ නැත. නිවෙස දෙසට පාව එන සීතල සුළං ධාරා, උණුසුම් කර මැදුර තුළම බෙදාහැරීමේ ක‍්‍රමවේදයක් සකසා තිබූ බැවිණි. එය එකල අධික වියදම් යන ක‍්‍රමයක් විය.

වතුර උණුකරන දැවැන්ත බොයිලේරුවක්ද මේ මැදුරෙහි තිබිණි. නිවෙසට අවශ්‍ය උණුසුම් ජලය නිවෙස පුරා බෙදා හැරුණේ මේ බොයිලේරුව හරහාය එයද දැකගැනීමට පුළුවන.

ඇඩිෂම් බංගලාවේ බිත්ති සරසන්නේ තෙල් සායම් චිත‍්‍ර වලිනි. බැලූ බැල්මට නෙත් සිත් පැහැර ගන්නා මේ චිත‍්‍රවල නිර්මාණකරුවා කව්ද? බොහෝ ධනපතින් ලෝ පතල චිත‍්‍ර ශිල්පීන්ගේ චිත‍්‍ර මිලට ගෙන තම මැදුර සරසන්නේ ගාම්භීරත්වය ආරෝපණය කරගන්නටය.

එහෙත් මේ චිත‍්‍ර විල්ස්ගේ බිරිඳ වූ එමලින්ගේ නිර්මාණය. ගෘහපතියා රැුකියාවේ කාර්ය බහුල වෙද්දී, ස්වාමි දුව සේවක සේවිකාවන්ද පාලනය කරගෙන වත්තපිටිය බලාගෙන සිටියාය. පුතුන් දෙදෙනාද නිවසින් බැහැරව යද්දී ඇගේ පාළුව, කාංසිය මකා දැමුවේ තෙලිතුඩ සහ කඩදාසිය. සොබාදහමට බොහෝ ආදරය කළ ඇය පසුබිමින් පෙනෙන පරිසරය චිත‍්‍ර බවට ප‍්‍රතිනිර්මාණය කළාය. ඒ චිත‍්‍ර විල්ස්ගේ හිතද සංසුන් කළේය.

වාසනාව අරක්ගත් විල්ස්ගේ මන්දිරයේ අවාසනාවද තිබිණි. ඒ ඔහුගේ පුතුන් දෙදෙනාම අකාලයේ වියෝවීමය. ඒ වියෝව විල්ස්ට මෙන්ම ඔහුගේ පතිනියටද සංවේගජනක සිදුවීම් විය. අවසානයේ ඔවුහු ලංකාව අතැර යෑමට තීරණය කළෝය.

ඒ තීරණයට තවත් හේතුවක් වූයේ ලංකාවට නිදහස හිමිවීමයි. ඒ සමගම ලංකාවේ රැුඳී සිටි බොහෝ ඉංගී‍්‍රසීනට ආපසු එංගලන්තයට නැව් නගින්නට සිදුවිය.

ඇඩිෂම් මන්දිරය සේදවත්තේ දොන් චාල්ස් විජේවර්ධනට විකිණූ විලස් ලංකාව හැරගියේ 1949 දීය. දොන් චාල්ස් යනු ඩි.ආර්. විජේවර්ධන මහතාගේ බාල සහෝදරයෙකි. ඔහු විවාහ වී සිටියේ විමලා විජේවර්ධන මහත්මිය සමඟය. බණ්ඩාරනායක රජයේ ඇමැති වරියක වූ ඇය බණ්ඩාරනායක ඝාතනය සම්බන්දව චෝදනා ලැබ සිරගත වූවාය. හිරගෙදර සිටියදී නිතර නිතරම ඇගේ ඇස ගැටුනේ පල්ලිය සහ එහි වූ කුරුසයයි. එම දසුනින් සිත සංසුන් කර ගත් ඇය පසු කලෙක හිරෙන් නිදහස් වූ අතර කිතුනු ආගමද වැලඳ ගත්තාය.

1961 වසරේදී කතෝලික පල්ලියට ඇය විසින් ඇඩිෂම් මන්දිරය භාරකරනු ලැබුවාය. ඉනික්බිති එය පූජකාරාමයක් බවට පත් කෙරිණි. අදටත් ශාන්ත බෙනඩික්ට් නිකායේ පූජකාරාමයක් ලෙස කි‍්‍රයාත්මක වන ඇඩිෂම් මන්දිරය සංචාරකයන්ට නැරඹුම් මධ්‍යස්ථානයක් බවටද පත්කර ඇත්තේය.

ඇඩිෂම් මන්දිරයෙන් එළියට ආ අපි ඊළඟට බලා සිටියේ. ඈතින් පෙනෙන නිම්නය දෙසය. තංගමලේ වන රජ දහනේ උස් තුරු සිරස් අඳුරු වලාකුළු විසින්ද මීදුම් සේල විසින්ද වසාගනු ලැබ තිබේ. ඒ නිසාම මින් ඔබ්බෙහි ඇති අවකාශය පෙනෙන්නේ ලෝකාන්තයක් පරිද්දෙනි.

ඇඩිෂම් මන්දිරය තිබෙන්නේ හපුතලේ ප‍්‍රදේශයේ උසම ස්ථානයක බව සැබැවි. එහෙත් පිදුරුතලාගල, නමුණුකුල වැනි කඳුවලලූ අහසට කිට්ටුවෙන් පෙනෙයි. මේ මීදුම් සේල විසින් ඒ විචිත‍්‍රත්වය වසා නොගත්තා නම් නෙතු සිපගන්නේ සොඳුරු දසුනකි. ඇඩිෂම් මන්දිරය අවට තිබෙන්නේ මල් වගාවන් පමණක් නොවේ. ස්ට්‍රෝබෙරි වැනි වගාවන්ද තිබේ. මේ පලතුරු වලින් ජෑම් කෝඩියල් ආදිය ද නිෂ්පාදනය කරන අතර ඒවා පසෙක පිහිටි අලෙවි කුටි වලින් මිලට ගැනීමටද පුළුවන.

මේ සියලූ කාරණා මැද අපට ආපසු එන්නැයි කාලය බල කරයි. එහෙත් ඇඩිෂම් මැදුරේ උසැති බිත්තිය මත සටහන්ව ඇති 1931 ඉලක්කම් හතර අපට 2019 ට එන්නට ඉඩ නොදෙයි.

අප සිටින්නේ අතීතයේය.

එහෙත් ඇඩිෂම් මන්දිරය හැරුණු විට අතීතයට අයත් කිසිවක් අවට නැත. සියල්ලම වෙනස් වී තිබේ.

එදා තෝමස් විල්ස් පාවිච්චි කළ ඔර්ලෝසුව පවා අද ටික් ටික් හඬ නොනඟයි.

 

ශාන්ත කුමාර විතාන

සේයාරූ- ඇලෙක්සැන්ඩර් බාලසූරිය

 

2019-03-22-ent-110 2019-03-22-ent-111   2019-03-22-ent-114 2019-03-22-ent-115 2019-03-22-ent-116 2019-03-22-ent-117 2019-03-22-ent-118 2019-03-22-ent-119 2019-03-22-ent-120 2019-03-22-ent-121  2019-03-22-ent-123 2019-03-22-ent-124 2019-03-22-ent-125