ත්‍රිකුණාමලයේ සැඟවුණු පාරාදීසය 'සෝබර්'
ඈත අතීතයේ ගෝකන්ණ වරාය ලෙස හැඳින්වුණු ත්‍රිකුණාමලය වරාය ශ්‍රී ලංකාව සතු සුවිශාලතම ස්වභාවික සම්පතක් බවට පත්වන්නේ ස්වාභාවිකවම අධිආරක්ෂිත වරායක් ලෙස නිර්මාණය වී තිබීම හේතුවෙනුයි. පළපුරුදු නාවිකයන් පවා පෙන්වාදෙන ආකාරයට ලෝකයේ වෙනත් කිසිදු ස්ථානයක මෙවැනි පිහිටීමක් දකින්නට ලැබෙන්නේ නැහැ. සමහර බටහිර බලවතුන් සිය බලව්යාප්ති කාර්යයේදී ශ්‍රී ලංකාව සුවිශේෂී කරගන්න මේ අපූරු වරායත් එක් හේතුවක් බව රහසක් නොවෙයි. කොහොම වුණත් අද මේ ගෙනෙන විශේෂාංගය තුළින් ඔබට ඉදිරිපත් කරන්නේ ත්‍රිකුණාමල වරායේ පිහිටි භාහිර ලෝකයෙන් මදක් හුදකළා වුණු තවත් සුවිශේෂී ස්ථානයක් වන සෝබර් දූපත පිළිබඳවයි.
අක්කර 175ක භූමි ප්රමාණයකටඋරුමකම් කියන සෝබර් දූපත සුන්දරත්වය අතිනුත් විශිෂ්ටයි වගේම ත්‍රිකුණාමල වරායේ පිහිටි දූපත් අතරින් විශාලතම දූපත ලෙසද සළකනු ලබනවා. ප්‍රසිද්ද ගම්මිරිස් ජැටියේ සිට මිනිත්තු 15 ත් 20ත් අතර කාලයක බෝට්ටු ගමනකින් පසුව සෝබර් දූපතට ළඟා වෙන්න හැකියාව තිබෙනවා. මෙතනදි ගම්මිරිස් ජැටිය පිළිබඳවත් සඳහනක් නොකරම බැහැ. ගම්මිරිස් ජැටිය යටත් විජිත සමයේ සිටම ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය වන කුළුබඩු අපරදිගට ප්‍රවාහනය සඳහා පැමිණි නැව් නවතා තැබීමට භාවිත කර තිබෙනවා. අදටත් මෙම ජැටියට ආසන්නයෙන්ම ගිලී ගිය නෞකා දෙකක කොටස් හොඳින්ම දැකගන්න පුළුවන්. මෙම දූපතට %සෝබර්^ කියන නම ලැබී තිබෙන්නේ රාජකීය හමුදාවේ සේවයේ යෙදී සිටියේදී මියගිය "එස්. සෝබර්" නම් තරුණ ලුතිනන්වරයා සිහිපත් කිරීම වෙනුවෙනුයි.
මෙම දූපතේ එක් කොටසක් ලන්දේසි යුගයේදී ලාදුරු රෝගීන් සාමාන්‍ය සමාජයෙන් ඈත්කොට තැබීමට භාවිතා කර තිබූ බව කියැවෙනවා. පැහැදිලි මුලාශ්‍ර අනුව මෙම දූපත ප්‍රංශ ජාතිකයන් විසින් අත්පත් කරගෙන තිබියේදි "පැරිස් ගිවිසුමෙන්" අනතුරුව බ්‍රිතාන්‍ය පාලනයට පවරාගෙන 1784 වසරේදී පමණ බ්‍රිතාන්‍ය රාජකීය හමුදාවේ අවශ්‍යතා වෙනුවෙන් සංවර්ධනය කරලා භාවිතා කරන්නට යොදාගෙන තිබෙනවා.
දෙවන ලෝක යුද සමයේදී තමන්ගේ පෙරදිග ජපනුන්ගෙන් සිය නාවික බලය රැක ගැනීමට සහ ත්‍රිකුණාමලය රැකගැනීමේ කාර්යයයේදී බ්‍රිතාන්‍ය හමුදාවට මෙම දූපත ඉතාමත් වැදගත් වූ බවට සාධක තිබෙනවා. එම කාලයේදී මෙම දූපතේ තිබූ හමුදා නිවෙස්, බංකර, බ්‍රිතාන්‍ය හමුදා සංඛේත, කාර්යාල, ජල තටාක, නාන කාමර ආදියේ නටඹුන් තවමත් සුරක්ෂිතව දකින්නට ලැබෙනවා. ඒ වගේම හමුදා භටයන්ගේ විනෝදාස්වාදය වෙනුවෙන් මෙම දූපතේ සිනමා ශාලාවක් වගේම ක්‍රීඩාගාරයක්ද ස්ථාපනය කර තිබුණු බව කියැවෙනවා. සන්නිවේදන කටයුතු මෙහෙයවීම සඳහා භාවිතා කර තිබෙන්නේ දූපතේ පවතින උසින් වැඩිම ස්ථානයයි. එම ස්ථානයේ ඉඳලා මුළු ත්‍රිකුණාමල වරායෙන් විශාල කොටසක් වගේම ත්‍රිකුණාමල වරායේ නෞකා පිවිසුම් දෙක ඉතාමත් හොඳින් දැකගන්න හැකියාව පවතිනවා.
අනෙක් පසින් දැකගන්න පුළුවන් තවත් සුවිශේෂී ස්ථානයක් වෙන්නේ දූපතේ ස්ථාපනය කර තිබුණු කාලතුවක්කු අංගනය. එහි සවිකර තිබුණු ප්‍රධාන සුවිසල් කාලතුවක්කුව ඇතුළු ආයුද බොහොමයක් ත්‍රිකුණාමල නාවික කෞතුකාගාරයේදී අදටත් සුරක්ෂිතව දකින්න ලැබෙනවා. මීට අමතරව අවි ගබඩා, ඉහළට උණ්ඩ ගෙන යාමට තිබූ පද්දතිය සහිතව සකස් කළ බිම්ගෙවල්, කාලතුවක්කු සඳහා ඉලක්ක ලබාදුන් කුළුණ ආදිය අදටත් සුරක්ෂිත තත්ත්වයේ දැකගන්න හැකියාව පවතිනවා. මෙහි ස්ථාපනය කර තිබුණු විශාල ප්‍රධාන කාලතුවක්කුව අංශක 360ක ප්‍රමාණයක් කරකැවිය හැකි වගේම දිගුදුරකට සාර්ථකව ඉලක්ක ලබාගත හැකි වර්ගයේ කාලතුවක්කුවක්. ජපන් ගුවන් හමුදා ප්‍රහාර වලට ප්‍රතිචාර දැක්වීමට ගුවන් යානා නාශක අවිද මේ ස්ථානයේ ස්ථාපිත කර තිබී තිබෙනවා.
බ්‍රිතාන්‍ය රාජකීය හමුදාව ශ්‍රී ලංකාවෙන් ඉවත්ව ගියාට පස්සේ මේ දූපත කාලාන්තරයක්ම හුදාකලා වී තිබුණා. සෝබර් දූපතේ මුවන්, ඉත්තෑවුන්, වලිකුකුලන්, මීමින්නන් වගේම සර්ප විශේෂ කිහිපයක් සහ පක්ෂි විශේෂ කිහිපයක්ම දැකගන්න හැකියාව පවතිනවා. ඒ විතරක් නෙවෙයි මුහුදෙන් වටවුණු දූපතක් වුණත් රට තුළ වැවෙන ශාක විශේෂ ගණනාවක්ම මේ දූපත තුළ දකින්නට ලැබෙනවා.
වර්තමානය වෙද්දි සෝබර් දූපත සංචාරක ආකර්ෂණය දිනාගන්න ස්ථානයක් බවට පත් කරන්න ශ්‍රී ලංකා නාවික හමුදාව සමත්ව තිබීම ඉතාමත් ප්‍රශංසනීයයි. යටත් විජිත සමයේ ගොඩ නැංවූ ගොඩනැගිලි එහි පෞරාණික බවට හානියක් නොවන ආකාරයට පිළිසකර කරලා නිර්මාණය කරපු සුපිරි ගණයේ සංචාරක නිකේතනයක් සෝබර් දූපත තුළ පවතිනවා. ඔබටත් ඔබේ නිවාඩුව, විවේකය ගතකරන්න සෝබර් දූපත තෝරාගන්න අමතකකරන්න එපා කියලා අපි ඔබට යෝජනා කරන්නේ එය ඔබට අලුත් අත්දැකීමක් වන බවට සහතික වෙමිනුයි.
සටහන සහ ඡායාරූප - නඳුන් ශ්‍යාමාල්