ජලයෙන් සැඟව ගිය නගරයක යළි පිබිදීම 'මාවුස්සාකැලේ'
මෙවර "තරුණයා" සංචාරය තුළින් ඔබව රැගෙන යන්නේ සිතූ සැණින් ගොස් නැරඹිය හැකි ස්ථානයක් වෙත නොවේ. එනම්, පුරාවෘත්ත රැසක් සඟවා ගත් හැමවිටම පෙනෙන්නට හෝ දකින්නට නොලැබෙන ස්ථානයක් වෙතය. සමහර වසර වලදී එක් වරක්වත් නොපෙනෙන මෙම ඉසව්ව සංචාරක ස්ථානයක් නොවුණත්, අප එහි ගියේ මෙය නැරඹීමට බොහෝ දෙදෙනෙකුට අවස්ථාව නොලැබෙන හෙයිනි.
මස්කෙලිය නගරය වෙත ඔබ එක්වරක් හෝ ගොස් තිබෙනවාද?
නුවරඑළිය නගරයට සමාන දේශගුණයක් සහ නිස්කලංක වටපිටාවකට හිමිකම් කියන මෙම නගරය අතීතයේ පටන්ම පැවත එන්නක් යැයි ඔබ සිතනවාද?
එම නගරය වෙත පැමිණෙන ඕනෑම කෙනෙකුට බැලූ බැල්මට නම් මෙහි වෙනසක් දක්නට නොලැබේ. එහෙත් වර්තමානයේ දක්නට ලැබෙන මස්කෙලිය නගරය අතීතයේදී පිහිටියේ මෙම ස්ථානයේ නම් නොවේ. එම නිසා මෙහි අතීත නගරය සොයා අප මස්කෙලිය පුරවරයේ සංචාරයක නිරත වීමට අදහස් කළෙමු. ඒ, මේ දිනවල රට පුරා පවතින නියං සහිත දේශගුණයත් සමග මධ්‍යම කඳුකරයේ ජලාශයන්හි ජලමට්ටම පහත බැස ඇති හෙයින් පැරැණි මස්කෙලිය නගරය යළි මතුවී ඇති බව දැනගන්නට ලැබුණු නිසාය.
අලුයම 2.30ට පමණ කොළඹ සිට ගමන් ඇරඹූ අපි අවිස්සාවේල්ල, කරවනැල්ල හරහා යටියන්තොට නගරය පසුකර කිතුල්ගල නගරයට අලුයම 04.00 වනවිට සේන්දුවූයේ මාර්ග තදබදයක් හෝ වෙනත් බාධාවක් නොතිබුණු හෙයිනි. කිතුල්ගල නගරයෙන් උණු උණු ආප්ප කිතුල් හකුරු සමග ගිලදැමූ අපි කෝපි කෝප්පයකින් නිදිබර දෑස්වලට උත්තේජනයක් ගෙන නැවතත් ගමන් ඇරඹුවෙමු. ගිණිගත්හේන නගරයෙන් දකුණු අතට දිවෙන මාර්ගයේ උදෑසන හිරු නැග එද්දී, සප්තකන්‍යා කඳුවැටියේ මැවෙන මනස්කාන්ත දර්ශනයන්හි සිරිය නරඹමින්, නෝටන් බ්‍රිජ් නගරය පසුකර සාරවත් තේ යායක් මැදින් උදෑසන 07.00 වනවිට මස්කෙලිය නගරය වෙත අපි පැමිණියෙමු. නිශ්චිතව අප සොයා ආ ඉසව්ව වෙත ගමන් කිරීම සඳහා හරිහැටි ගමන් මාර්ගයක් නොදන්නා හෙයින් ඒ සඳහා ගම්වාසීන්ගෙන් තොරතුරු දැනගැනීමට අපට සිදුවිය. ඔවුන්ගෙන් ලැබුණු හෝඩුවාවක් ඔස්සේ අප නැවතත් පැමිණි මාර්ගයේම කිලෝමීටර් 05ක් පමණ ආපස්සට ගියෙමු.
ඒ යන අතරවාරයේදී අප අවට පරිසරය ගැන වඩාත් කල්පනාකාරී වූයේ ගම්වාසීන් මාර්ගයට සමාන්තර ලෙස ගලාබසින ජලාශයක් පිළිබඳව පැවසූ හෙයිනි. අප මස්කෙලිය නගරය වෙත ගමන් කිරීමේදී ජලාශයක් දක්නට නොලැබුණු නිසා ඔවුන් පැවසූ ජලාශය පිළිබඳව තරමක කුතුහලයක් අපගේ සිත්තුළ පැවතුණි.
එසේ ගමන් කරන විට මාර්ගයට ඈතින් ඔරු කිහිපයක නැගී මාළු බාමින් සිටි ධීවරයන් කිහිප දෙනෙකු අපට දක්නට ලැබුණි. ගම්වාසීන් පැවසූ ජලාශය මෙය බව හැඟුණු හෙයින් අප එම ඉසව්ව වෙත ගමන් කිරීමට හැකි මාර්ගයක් පිළිබඳව උනන්දු වූවෙමු. එහෙත් නිශ්චිත ගමන් මාර්ගයක් සොයා ගැනීමට නොහැකි වූ නිසා මාර්ගයේ අසල තිබූ මෝටර් රථ අමතර කොටස් වෙළෙඳ සැලකින් එම ස්ථානයට ගමන් කරන මාර්ගයක් පිළිබඳව විමසුවෙමු.
එම ව්‍යාපාරික ස්ථානයේ හිමිකරු වූ රමනන් මහතා පවසා සිටියේ එම ස්ථානය වෙත ගමන් කිරීමට නිශ්චිත මාර්ගයක් නොමැති බවය. නමුත් එම ව්‍යාපාරික ස්ථානය අසලින් එම ස්ථානය වෙත ගමන් කිරීමට හැකි අඩිපාරක් ඔහු අපට පෙන්වීය. ඒ සමගම ඔහුගේ මිතුරෙකු අපට පාර පෙන්වීම සඳහා ලබාදුන්නේ ඔවුන්ගේ නිර්ව්‍යාජ මිනිසත්කම නිසාය.
එම මාර්ගය ඔස්සේ ගමන් කළ අප හිස් භූමි භාගයකට පාතැබුවෙමු. එම පරිසරය අප මෙතෙක් දුටු පරිසරයට වඩා හාත්පසින්ම වෙනස්ය. එම නිසාම අපත් සමග ආ පුද්ගලයාගෙන් ඒ පිළිබඳව විමසා සිටියෙමු. එවිට ඔහු පැවසුවේ අප සිටින භූමිය සාමාන්‍ය භූමියක් නොව, %මාවුස්සාකැලේ^ ජලාශය බවය.
වියළි කාලගුණික තත්ත්වයන් සමග ලක්ෂපාන, නව ලක්ෂපාන, කැණියොන්, පොල්පිටිය, විමලසුරෙන්ද්‍ර යන ජල විදුලි බලාගාරවලට ජලය සපයන මෙම ජලාශයේ ජල මට්ටම් පිටාර මට්ටමේ සිට අඩි 40ක් පමණ පහත බැස ඇති නිසා එවැනි තත්ත්වයක් උත්ගත වී ඇති බව අපට හැඟුනි. අපට මාර්ගය පෙන්වූ ගමන් සඟයාට සමුදුන් අපි එරෙන, ලිස්සන සුලු භූමියේ පරිස්සමට අඩිය තබමින් කෙමෙන් කෙමෙන් අප සොයා පැමිණි ගමනාන්තය සොයා පහළට ගමන් කළෙමු. මද දුරක් යනවිට දෑස අදහාගත නොහැකි අන්දමේ දසුන් අප ඉදිරියේ මැවෙන්නට විය. ඉදිරියෙන් අපට පෙනෙන්නට තිබුණේ ජල මට්ටම පහත බැසීම නිසා මතුව තිබෙන පැරණි මස්කෙලිය නගරයය. මෙසේ නටඹුන් පමණක් ඉතිරි වී තිබෙන එම නගරයට සිදුවූයේ කුමක්ද කියා සොයා බලන විට අපට දැනගන්නට ලැබුණේ 1965 වසරේදී ජල විදුලිය උත්පාදනය සඳහා ආරම්භ කළ "මාවුස්සාකැලේ" ජල ව්‍යාපෘතිය නිසා 1969 වසරේදී මෙම නගරය ජලයෙන් යටවී ඇති බවය.
එසේ යටවී තිබෙන්නේ මස්කෙලිය නගරය සහ ගඟේවත්ත යන ගම්මානය. මෙම නගරය සහ ගම්මානය ජලයෙන් යටවීමට පෙර එහි පිහිටා තිබූ සියලුම ගොඩනැගිලි වර්තමාන මස්කෙලිය නගරයේ ස්ථාපිත කර එවකට වාසය කළ පවුල් 200ක් පමණ එහි නැවත පදිංචි කරවා ඇත. මෙහි අතීතයේ පිහිටා තිබූ රෝහල, පාසල සහ අනෙකුත් ගොඩනැගිලිවල හෝඩුවාවක් ජලමට්ටම පහත බැසීමත් සමග පෙනෙන්නට නොතිබුණත්, ආගමික සිද්ධස්ථාන රැසක් තවමත් වන්දනාමාන කළ හැකි ආකාරයටම මෙහි පැවතීම පුදුම සහගතය. මතුවී තිබෙන පැරණි මස්කෙලිය නගරයේ මේ වනවිට බෞද්ධ විහාරය සමග සමාධි බුද්ධ ප්‍රතිමාව, බෝධිය, ශ්‍රී කදිරේෂන් හින්දු කෝවිල, ඉස්ලාම් පල්ලිය හා ගණදෙවි (පුල්ලෙයාර්) කෝවිල දැකගත හැක.
බෞද්ධ සිද්ධස්ථානය සහ කදිරේෂන් හින්දු කෝවිල වර්තමානයේදී වන්දනාමානයට ලක්කෙරෙන බව එම සිද්ධස්ථාන තුළ ඇවිද ගිය අපට දැකගන්නට හැකිවූයේ එහි දක්නට තිබූ තෙල්, මල්, පහන්, හඳුන්කූරු නිසාවෙනි.
මෙහි ක්‍රිස්තියානි පල්ලියක්ද අතීතයේ තිබී ඇත. නමුත් අද එය දක්නට නොලැබේ. එහෙත් අතීතයේදී සහ වර්තමානයේදී එම නගරවාසීන් අතර තිබූ සහ තිබෙන ආගමික සහජීවනය ඒ තුළින් සහ වර්තමාන නගරයේ එක ළඟ පිහිටා තිබෙන ආගමික සිද්ධස්ථාන දුටුවිට මනාව පැහැදිලි වේ.
මෙම නගරය 1969 වර්ෂයේ සිට සෑම වසරකම දෙසැම්බර් සිට අප්‍රේල් මාසය දක්වා යම්තාක්දුරට හෝ මතුවන බව රමනන් මහතා අපත් සමග පැවැසීය. ඔහු පැවසූ ආකාරයට පසුගිය වසර 48ක කාල සීමාව තුළ මෙය දිස්වී නැත්තේ අවුරුදු 02 හෝ 03ක් පමණි.
එක් කාලසීමාකදී වසරකට පමණක් දක්නට ලැබෙන මෙම මනස්කාන්ත දර්ශනය සිරිපා කරුණා කරන බැතිමතුන්ට නැරඹිය හැක. ඒ සඳහා වැයවෙන්නේ ශ්‍රී පාදස්ථානයට, මාවුස්සාකැලේ නගරයේ සිට තිබෙන පිවිසුම් මාර්ගයේ සිට විනාඩි 10ක පමණ කාලයකි. මෙහි ජලය බීමට හෝ දිය නෑමට සුදුසු නොමැති බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් වන්න.
වර්තමානයේ මොරගහකන්ද ජලාශයට ජලය පුරවන විට එම ජලකඳට යටවන ගොඩනැගිලි සහ නිවෙස් අපි මාධ්‍යයෙන් දුටුවෙමු.
මීට වසර 48කට පෙර "මාවුස්සාකැලේ" ජලාශයට ජලය පුරවන විටත් එසේම වන්නට ඇත. අවුරුදු ගානක් ජීවත් වූ පරිසරය, භාවිතයට ගත් ගොඩනැගිලි එහි වෙසෙන්නන්ට අහිමි වුවත්, ඔවුන් එම කැපකිරීම් කර තිබෙන්නේ මෙරට අනාගතය සහ දියුණුව සඳහාය. එම නගරවල පැරණි නටඹුන් මෙලෙස මතුවෙද්දී ඔවුන් ඒ පිළිබඳව දුක්විය යුතු නැත. මන්ද ඔවුන් නිසා බොහෝ පිරිසක් ඔවුන්ට අහිමි වූ සම්පත්වලින් ප්‍ර‘යෝජන ලබාගන්නා හෙයිනි.
තොරතුරු - කේ.රමනන් මහතා (මාවුස්සාකැලේ)
සටහන - මංජු ප්‍රදීප් කුමාර /ඡායාරූප - රචින්ත ජයවර්ධන / සුපුන් සම්පත්