ගුවනට පෙම් බැඳි ඔබ වෙනුවෙන්...
ගුවන සිසාරා සංචාරයට මිනිසාගේ ඇති උනන්දුව එදා සිට අද දක්වාම එක ලෙසින් පවතින්නක්. සිංහල රාජාවලිය ඇරඹීමටත් පෙර කාලයේ පැවැති රාවණ යුගයේදී දඬුමොණරය නමින් හැඳින්වූ දේශීය ගුවන් යානයක් පැවැති බවට ජනප්රවාදයේ සඳහන් වීම උක්ත කරුණ මොනවට කියාපායි. නමුත් ශ්‍රී ලාංකිකයන් බොහෝ පිරිසකට ගුවන් යානයේ ක්‍රියාකාරීත්වය හා එහි ප්‍රවාහන අත්දැකීම තවමත් ජීවිතයේ හීනයක් වී තිබීම කනගාටුවට කරුණක්. කෙසේ වෙතත් අද අප සංචාරයෙහි යෙදෙන රත්මලාන ගුවන් කෞතුකාගාරය මගින් ගුවන් ක්ෂේත්රය පිළිබඳ ශ්‍රී ලාංකිකයන්ට ලබාගත හැකි අත්දැකීම අතිවිශිෂ්ට බව කිව යුතුය.
ශ්‍රී ලංකාව ත්‍රස්තවාදී ග්රහණයෙන් සම්පූර්ණයෙන් නිදහස් වීමත් සමගින් 2009 වර්ෂයේදී ගුවන් හමුදාව විසින් ගුවන් කෞතුකාගාරයක් ඇරඹීමට අදහස් කරන්නේ ශ්‍රී ලාංකික ජනයාගේ ගුවන සඳහා ඇති කුතුහලයට පිළිතුරු සැපයීම උදෙසායි. ඒ අනුව එවකට ගුවන් හමුදාධිපති එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක මහතාගේ මූලිකත්වයෙන් මෙය ආරම්භ කරනුයේ, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පැරණි ගුවන් යානා අලුත්වැඩියා කරන අංගණය ලෙසින් පිහිටා තිබූ ඉසව්වේදීය. ඒ අනුව අක්කර කිහිපයකින් ආරම්භ වූ මෙම ගුවන් කෞතුකාගාරය පිහිටුවන්නේ 2009 වර්ෂයේ නොවැම්බර් මසදීය. කෙසේ වෙතත් අද වනවිටදී සමස්ත අක්කර 22 ක් මෙම ගුවන් කෞතුකාගාරය සතු වන බව ගුවන් හමුදාව දන්වා සිටිනවා.
ගුවන් යානා කෞතුකාගාරය තුළ වර්තමානයේදී දක්නට ලැබෙන ගුවන් යානා වර්ග තුනකට බෙදාදැක්විය හැකියි. එනම් යුද ගුවන් යානා, පුහුණු කිරීම් සඳහා යොදා ගන්නා ගුවන් යානා හා මගී ප්‍රවාහන ගුවන් යානා (එයාර් බස්) ලෙසිනි. මේ අතරින් යුද හා පුහුණු කිරීමේ ගුවන් යානා වර්ග විශාල ප්‍රමාණයක් මෙහි දක්නට ලැබෙන අතර, ශ්‍රී ලංකාවට පළමුවෙන්ම ගෙන ආ යුද ගුවන් යානය වන ෂාම් ෂෙට්ටි (1985) ගුවන් යානයේ සිට ගුවන් හමුදාවට මෑතකදී එක්වූ කෆීර් වැනි ගුවන් යානා දක්වාම ගුවන් යානා මෙහිදී දක්නට ලැබෙනවා.
එමෙන්ම අර්ධ ප්‍රහාරක යානාද මෙහි දක්නට ලැබෙන ගුවන් යානා විශේෂයක්. මෙහිදී ශ්‍රී ලංකාවට ගෙන ආ පළමු නියමු පුහුණු යානය වන චිප්මන්ක් (Chipmunk) වර්ගයේ ගුවන් යානා මෙහි සුවිශේෂීවනවා.
එමෙන්ම ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ඉංජිනේරු අංශය මගින් නිර්මාණය කළ කුඩා නිරීක්ෂණ යානා මෙහි දක්නට ලැබෙන තවත් අංගයක්. මෙම ගුවන් යානා සියල්ල සාමාන්‍ය ව්‍යවහාරයේදී භාවිත කරන ප්ලේන් (Fix wings) හා හෙලිකොප්ටර් (Rotor Wings) ලෙස කොටස් දෙකකින් දක්නට ලැබෙනවා. එහිදී ගුවන් යානාවලට අමතරව ගුවන් අංගණයක දක්නට ලැබෙන වෙනත් වර්ගයේ වාහනද මෙහිදී සංචාකයන්ට දැකබලාගත හැකිවනවා. ගුවන් යානා නැරඹීමට අමතරව මෙහි කුඩා දරුවන්ට විනෝද වීමට තැනූ ගුවන් යානා මෙන්ම ගුවන් යානයක ගමන් කිරීමේදී අත්විඳීමට ලැබෙන අත්දැකීම ලබාදෙන ගුවන් යානයක් හා පුස්තකාල පහසුකම්ද දක්නට ලැබෙනවා.
විශේෂ ස්තූතිය
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගඟන් බුලත්සිංහල, ගුවන් හමුදා මෙහෙයුම් අධ්යක්ෂ කාර්යාලයේ ගෲප් කපිතාන් ඉන්ද්‍රජිත් වීරසූරිය වීරසිංහ, බලලත් නිලධාරී සංජීව පරණවිතාන
සටහන/ ඡායාරූප - ඕෂිත වරකපිටිය