ගාලු කොටුවේ සමුද්‍ර කෞතුකාගාරය
ශ්‍රී ලංකාවේ යටත් විජිත අවධියේ නෂ්ඨාවශේෂයන් අතරින් ගාලු කොටුව වෙත සුවිශේෂී ස්ථානයක් හිමිවන්නේ එය ශ්‍රී ලංකාවට පැමැණි පෘතුගීසි, ලන්දේසි සහ ඉංග්‍රීසි යන යුරෝපීය ආක්‍රමණික කණ්ඩායම් තුනෙහිම ආභාෂයන් කැටිකරගත් බලකොටුවක් වීම නිසාවෙනි.
ශ්‍රී ලංකාවේ ගිනිකොණ මුහුදු තීරයේ පිහිටා ඇති ගාලු කොටුව ක්‍රි.ව 1588 දී පෘතුගීසින් විසින් නිමවූවක් ලෙස සැලකේ. පසුව එය 17 වන සියවසේදී ලන්දේසීන් විසින් එය පුළුල් ලෙස නවීකරණය කරන ලද අතර මේ වන විට එය අවුරුදු 400 කටත් වඩා වැඩි අතීතයකට හිමිකම් කියයි. වර්තමානයේ කොටුවට පිවිසීම සඳහා දොරටු දෙකක් භාවිතා කෙරේ. රජයේ කාර්යාල ගොඩනැගිලි රැසක්ම කොටු පවුර ආශ්‍රිතව තිබෙන ඉපැරණි ගොඩනැගිලි වල වර්තමානය දක්වා ම පවත්වගෙන යයි.
ගාලු කොටුව පෞරාණික වටිනාකමකින් උක්ත බව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පිළිගෙන ඇත. එහි ලන්දේසි ගෘහ නිර්මන ශිල්පය පිලිබඳ කදිම නිදසුනකි. ලන්දේසි කොටුව හෝ ගාල්ලේ පවුර ලෙස හදුන්වයි. ලන්දේසි කොටුව ප්‍රතිසංස්කරණය කරන ලද්දකි. ගාලු කොටුව ශ්‍රී ලංකාවේ ප්‍රධාන සංචාරක ආකර්ශනයකට හිමිකම් කියන ප්‍රදේශයකි. ගාලු කොටුවේ පිහිටා ඇති %සමුද්‍ර කෞතුකාගාරය^ සෑම සංචාරකයෙකුම නැරඹිය යුතුම මෙහි ඇති සුවිශේෂීම ස්ථානයකි.
පෙරදිග ඉන්දීය වෙළඳ සමාගමේ භාණ්ඩ ගබඩා කර තැබීම සඳහා භාවිත කළ බඩු ගබඩා ගොඩනැඟිල්ලෙහි පහත මාලයේ මෙම කෞතුකාගාරය ජනතා ප‍්‍රදර්ශනය සඳහා විවෘත ව ඇත. එය කළු කොටුවත් සූර්ය අට්ටාලයත් අතර ඇති කොටු බැම්මේ ම කොටසකි. මෙම ගොඩනැගිල්ලෙන් ලන්දේසි ජාතිකයින් කොටු බැම්මේ කොටසක් වශයෙනුත් බඩු ගබඩා ගොඩනැඟිල්ල වශයෙනුත් දෙයාකාරයකින් ප‍්‍රයෝජන ලබා ගෙන ඇති බව පැහැදිලි ය. 1670 වර්ෂයේ දී ඉදිකර අවසන් කර ඇති මෙම බඩු ගබඩා ගොඩනැඟිල්ල (පැක් හවුස්) ලන්දේසි වාස්තුවිද්‍යාත්මක ශෛලීන්ට ම අනුගත ව ස්වදේශික ජනතාවගේ ශ‍්‍රමයෙන් නිර්මාණය වී ඇත.
දිගින් අඩි 469ක් හා ඇතුළත පළලින් අඩි 40.4 පමණ වන මෙම විශාල ගොඩනැඟිල්ලෙහි කොටු තාප්ප බිත්තිය (Rampart wall) ඉහළ අඩි 4.25 සිට පහළට අඩි 12 පමණ දක්වා ඝණකමක් සහිත වන ලෙස කළුගලින් නිමවා ඇත. ඉදිරිපස හිරිගලින් නිමවා ඇති බිත්තිය අඩි 04.25ක් පමණ වේ. සමුද්‍ර පුරාවිද්‍යා කෞතුකාගාරය හා සමුද්‍ර කෞතුකාගාරය ජනතාව ප‍්‍රදර්ශනයට විවෘත ව ඇති මෙම ගොඩනැඟිල්ල ද පුරාවිද්‍යාත්මක හා ඓතිහාසික වටිනාකමින් යුත් ගොඩනැඟිල්ලක් බැවින් කෞතුකාගාරය නැරඹිමේ දී සමුද්‍ර විද්‍යාව, සමුද්‍ර පුරාවිද්‍යාව පිළිබඳ ව පමණක් නොව ගොඩනැගිල්ල පිළිබඳ අවධානය යොමු කිරීම ද වැදගත් වේ. තවද ඉපැරණි ශ්‍රී ලාංකේය ධීවර සංස්කෘතිය හා ධීවර ජන ජීවිතය පිළිබඳ මනා දැනුමක් ද ලබාගත හැකි දැනුම් ගබඩාවක් ලෙසද මෙය හඳුන්වාදීමට හැකියාව පවතියි. තවද දේශීය සමුද්‍රයේ දැකගත හැකි සමුද්‍ර ජීවීන් පිළිබඳ පුළුල් දැනුමක් ලබාගැනීමට මෙහිදී හැකියාව පවතියි.
සමුද්‍ර කෞතුකාගාරය ප‍්‍රථමයෙන් ම 1992 වර්ෂයේ මැයි මස 9 වන දින සිට දේශීය විදේශීය නරඹන්නන් සඳහා විවෘත කෙරුණද 2004 සුනාමි ව්‍යසනයත් සමඟ මෙම කෞතුකාගාරය සම්පූර්ණයෙන් ම විනාශයට පත් ව ඇත. සංස්කෘතික හා ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යංශය යටතේ ක‍්‍රියාත්මක වූ නෙදර්ලන්ත – ශ‍්‍රී ලංකා සහයෝගිතා වැඩසටහනෙන් ලද මූල්‍යාධාර මඟින් ප‍්‍රතිනිර්මාණය වූ සමුද්‍ර කෞතුකාගාරය 2009 මැයි මස 18 දා නැවත මහජනතාව වෙනුවෙන විවෘතව ඇත.
ගාල්ල සමුද්‍ර කෞතුකාගාරයේ ඇති කෞතුක භාණ්ඩ ලෙස අතීත සාම්ප්‍රදායික ධීවර ආම්පන්න, පැරණි ලක්දිව පැවති ඔරු විශේෂයන්වල ආකෘති, ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත්ව තිබූ ප්‍රථම යුධ නෞකාව වූ %විජය^ නෞකාවේ සුක්කානම ආදී තවත් කෞතුක වස්තූන් රැසක් දැගබලාගත හැකිය. මෙහි ඇති එක් සුවිශේෂී ඔරු විශේෂයක අනුරුවක් පිළිබඳ මේ ආකාරයේ විස්තරයක් ඇත. %මහ ඔරු^ ලෙසද දක්වා ඇති මෙම යාත්‍රාවන් ශ්‍රී ලාංකික සාම්ප්‍රදායික ඔරුවල දිගුවක් විය. මෙම යාත්‍රා විශේෂය අතීතයේදී ගැඹුරු මුහුදේ යාත්‍රා කිරීමට භාවිතා කර තිබේ. මෙම යාත්‍රා විශේෂය මගින් රට රටවල් අතර භාණ්ඩ හා මගීන් ප්‍රවාහය කිරීම සිදුව ඇතිබව සඳහන්ය.
දොඩන්දූවේ වාසය කළ %පටුවත විතාන^ සහ %මානවඩු^ යන පරම්පරාවන් මෙම යාත්‍රා තැනීමෙහි විශේෂඥයන් ව සිට ඇත. 1930 වසර පමණ වන විට ඉතිරිව තිබී ඇත්තේ මෙවැනි යාත්‍රා 40කට ආසන්න ප්‍රමාණයකි. එයින් ඉතිරිවූ අවසන් වූ %අමුගොඩ ඔරුව^ මාලදිවන බලා යාත්‍රා කෙරෙන අතරේදී මාලදිවයිනට ආසන්නයෙන් ගල්පරයක ගැටී මුහුදුබත්ව තිබේ. කෞතුකාරයේ තිබෙන මෙම යාත්‍රාව එම අමුගොඩ යාත්‍රාවේ ආකෘතිය නියමිත මිනුම් අනුව නිර්මාණය කර ඇති අතර එම ආකෘතිය වසර 100කට වඩා පැරණි ආකෘතියකි.
සටහන සහ ඡායාරූප - නඳුන් ශ්‍යාමාල්