කොන්ක්‍රීට් පුරවරයක පිහිටි තෙත්බිම
දියසරු උයන
අතිශය ජනාකීර්ණ වූ කොළඹ නගරය තුල දිවිගෙවෙන අයවලුන්ගේ මානසික ආතතිය, විඩාව මඟහරවා ගැනීමට ඇත්තේත් කොන්ක්‍රීට් වනාන්තරයි. ස්වාභාවික පරිසරයකදී ලැබෙන මානසික සුවය කොන්ක්‍රීට් වනාන්තර වලින් කිසි සේත්ම ලබා ගැනීමට නොහැක. නමුත් අතිශය කලබලකාරී වූ ජනාකීර්න කොළඹ නගරය මධ්‍යයේ අප සොයන මානසික සුවය විඳගනිමින් ගතත් සිතත් එක ලෙසම පුබුදුවා ගත හැකි, නෙත සිරි මවන අපූරු තෝතැන්නක් අලුතින් නිර්මාණය කර තිබේ. මෙවර ‘සාරවිට’ සංචාරක කණ්ඩායම් ගමන් කලේ එම අපූරු තෝතැන්න වෙතයි.
ශ්‍රී ලංකාවේ පරිපාලන අගනගරය වන ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගරයේ පිහිටා තිබෙන පාර්ලිමේන්තුව ඉඳිකර තිබෙන මෙම තෝතැන්න නම් කර තිබෙන්නේ ‘දියසරු උයන’ ලෙසයි. අක්කර 60ක භූමි ප්‍රමාණයක පැතිරී තිබෙන මෙම උද්‍යානය විවෘත කෙරුනේ මීට අවුරුද්දකට පමණ පෙරයි. අතීතයේ එනම් 1981 පමණ වන විට මෙම භූමියෙහි පැතිරී තිබී ඇත්තේ කුඹුරු යායකි. පාර්ලිමේන්තුව ඉදිවීමත් සමග මෙම භූමිය රජයට පවරා ගෙන තිබේ. ඉන්පසුව මෙම ප්‍රදේශය යොදාගෙන තිබෙන්නේ දියවන්නා ඔය හැරීමෙදී ඉවතලන පසු ගොඩකිරීම සඳහායි. කල්යත්ම වඟුරු බිමක් බවට පත්වන මෙම භූමිය කොළඹ සංවර්ධනය වීමේදී තම වාසස්ථාන අහිමි වූ සතුන්ගේ වාසස්ථානය බවට පත්ව වූයේ මෙය ස්වාභාවිකවම ජෛව විවිධත්වයෙන් අනූන වූ නිසාවෙනි. තලවතුගොඩ ජල පෝෂක ප්‍රදේශයේ වැසි ජලය මෙම වඟුරුබිම හරහා ගලා බසින්නේ එම ජලය දියවන්නා ඔයට මුසු වීමට පෙර පිරිසිදු කරමිනි. එමගින් ජලයේ ගුණාත්මක බවද ආරක්ෂා වේ. 2010 වසරේදී ඇතිවූ ගංවතුර තත්ත්වයෙන් ඇතිවූ බලපෑමත් සමග ලැබුනු ප්‍රතිපාදන වලින් වගුරු බිම් සංවර්ධනය සඳහා රජය කටයුතු කරන ලදී. ඒ ඔස්සේ මෙම භූමියෙත් ඇල මාර්ග සකස් කර සංවර්ධන කර අදවන විට මෙය උද්‍යානයක් බවට පත්කිරීමට රජය විසින් පියවර ගෙන ඇත. මෙම තෝතැන්නේ විශ්මිත නිමැයුම් කරුවා වන්නේ ඉංජිනේරුවරයෙකු වූ එන්. එස්. විජේරත්න මහතාය.
මෙම උද්‍යානයට ඇතුල්වීම සඳහා රුපියල් 100ක මුදලක් අයකෙරේ. එම මුදල අය කරනු ලබන්නේ උද්‍යානයේ නඩත්තු කටයුතු සඳහායි. මෙහි පැමිනෙන සංචාරකයින්ගේ වාහන නැවතීම සඳහා රථවාහන අංගනයක් මෙහි ස්ථාපිත කර තිබේ. වාහන නැවත්වීමේ අංගනය පසුකර උද්‍යානයට පිවිසෙන ස්ථානයේම පොල්අතු සෙවිලි කල ගිමන් හරින කුටියක් සහ සනීපාරක්ෂක කටයුතු සඳහා ස්ථානයකුත් වෙන්කර තිබේ. අප එම කුටිය පසුකරමින් ස්වාභාවිකක මල් වලින් සෑදු උමගක් මැදින් උද්‍යානයට අතුලු වුනෙමු. එම මාර්ගයේ ආර්මභ වන ස්ථානයේ සහ අවසන් වන ස්ථානයේ වගුරු බිමකින් වන කාර්යයභාරය සහ උද්‍යානයේ නැරඹීමට තිබෙන ඇති දෑ පිළිබඳව පුවරු ඔස්සේ ප්‍රදර්ශනය කර තිබේ.
මෙම උද්‍යානය ආරම්භ වන්නේ සමණල උයනකිනි. සමනලයින් නිරතුරුම එම කොටසේදී දැකගැනීමට අවකාශය ලැබේ. ඔවුන්ගේ ප්‍රධාන ආහාරය වන මල් පැණි ලබාගැනීම සඳහා මල්වත්තක් එම කොටසේ නිර්මානය කර තිබේ. එම කොටස විශාල උන පඳුරු සහ වැටකෙයියා පඳුරු වලින් අලංකාර කොට තිබේ. මෙහි සමනල් විශේෂ 40ක් පමණ දැකගත හැකිබව එහි කළමණාකාරීත්වය පෙන්වා දෙති. මෙම ඒකකය නිර්මානය කර තිබෙන්නේ කොළඹ විශ්ව විද්‍යාලයේ සත්ත්ව විද්‍යා අධ්‍යානාංශයේ විද්‍යාර්ථයින්ගේ අවසන් වසර පර්යේෂණ ව්‍යාපෘතියක ප්‍රතිඵලයක් ලෙසිනි.
අප කුරුල්ලන්ගේ අනේක විද ශබ්දය මැදින් සහ හමා එන සුළගේ තාලයට පැද්දෙන තුරුලතා මැදින් සමනල උයනෙන් නික්ම ඉදිරියටම ගමන් කලෙමු. ඒ යන අතර වාරයේ රූස්ස ගස්, උණ පදුරු මැදි කර නිදහස් සුව විඳීම සඳහා බංකු (ආසන) සකස් කර තිබේ. මෙම උද්‍යානයේ බහුලව දකින්ට ඇත්තේ දං සහ බෝවිටියා භෝගයන්ය. අප ඉන්පසුව පිවිසුනේ එළිමහන් අධ්‍යයන ප්‍රදේශයටයි. එය ඉතා නිස්කලංක පරිසරයක නිර්මානය කර තිබේ.
මෙම උද්‍යානය නැරඹීම සඳහා ඇල මාර්ගය ඔස්සේ ගමන් කල හැකි බෝට්ටු සේවයක්ද ක්‍රියාත්මක වේ. අප එළිමහන් අධ්‍යයන ඒකකයෙන් නික්ම පිවිසුනේ එම බෝට්ටු සේවය ක්‍රියාත්මක වන ස්ථානයටයි. අප ආ ගමන් මගේ සෑම තැනකම පාහේ නිදහසේ පරිසරය නැරඹීමට පහසු වන සේ රූස්ස ගස් මධ්‍යයේ බංකු තනා ඇත. මෙහිදී හඳුන් දිවියන් දැකගැනීමටද අවකාශය තිබේ. මෙම උද්‍යානයේ සිටින පරිසර නිලධාරීන් පවසන ආකාරයට මෙහි හඳුන් දිවියන් පස් දෙනෙකු පමණ වාසය කරති. ඔවුන් ගැවසෙන්නේ රාත්‍රී කාලයට පමනක් වන බැවින් උද්‍යානය විවෘතව තැබෙන කාල සීමාවෙදී මෙහි ගමන් කිරීමට බිය විය යුතු නැත.
මෙම උද්‍යානයේ ගමන් කරන විට දිය අඟල් කිහිපයක්ම හමුවේ. එම දිය අඟල් තුල ලංකාවට පමණක් ආවේනික වූ මත්‍ස්‍ය විශේෂ ත්‍රිත්වයක් සහ ඊට අමතරව තවත් මත්ස්‍ය විශේෂ 15කට අධික ප්‍රමාණයක් වාසය කරති. ඒ අතරට ‘දං කොළ පෙතියා’, ‘හොර දණ්ඩියා’, ‘මඟුරා’ හඳුනාගත හැකිය. ඊට අමතරව දියවන්නා ඔයේ වෙසෙන කිඹුලන්ද මෙම උද්‍යානයේ විටින් විට දැක ගත හැකිය.
මෙම උද්‍යානයේ තෙත් බිම් අශ්‍රිතව දැකගත හැකි සංක්‍රමණික පක්ෂී විශේෂ 80 ක් පමණ වාසය කරති. එම පක්ෂීන් නැරඹීම සඳහා මෙම උද්‍යානයේ පක්ෂී කුඵණක් නිර්මානය කර තිබේ. එම කුළුනේ ඉහලට ගමන් කල විට මුළු උද්‍යානයමේ සිරි නැරඹීමට අවකාශය උදාවේ. මෙහි දැකගත හැකි පක්ෂීන් අතරට දක්තුඩු දම් සූටික්කා, නිතඹ සම් සූටික්කා, කළුකිච්චා, මහා අටිකුළා, පොල්කිච්චා, ළාතුඩු පිළිලිච්චා, දම් සූටික්කා, කරපටි කන්බස්සා, පෙරදිගු සිතැසියා, දෙමලිච්චා, කෙත් වැරටිච්චා, පොදු අයෝරාවා, කළුහිස් සැරටිත්තා, පුංචි බිගුහරයා යන පක්ෂීන් අයත් වේ.
මෙම උද්‍යානය තුළ පවතින නිහඩ බව නිසා අධ්‍යාපනය හඳාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මේ තුලට වී අධ්‍යාපන කටයුතු වලට නියලීමට, ඔවුන්ට අවශ්‍ය දැනුම ලබාගැනීමට අවකාශය ලැබේ. ඊට අමතරව පරිසරය පිළිබඳ අධ්‍යයනය කරන විශ්ව විද්‍යාල සිසුන්ටද ඔවුන්ගේ දැනුම පුළුල් කර ගැනීමටද මේ තුලදී හැකියාව ලැබේ. ඒ සඳහා සකස් කර තිබෙන පර්යේෂණාගාරයද භාවිතයට ගත හැකිය. සිත්තරුවන්ට තම මනසේ ඇදෙන හැඟීම් සිත්තම් කිරීමට, ගත්කරුවන්ට සහ කවියන්ට ඔවුන්ගේ සිතේ ඇතිවන අදහස් ලියන්නට, ගොතන්නට මෙය කදිම තෝතැන්නකි. එමෙන්ම පෙම්වතුන්ට රිසි සේ නිදහසේ පෙම්බස් දොඩන්නට, පාරිසරික ඡායාරූප කරනයේ යෙදෙන ඡායාරූප ශිල්පීන්ට ඡමත්කාරජනක ඡායාරූප ලබාගැනීමට මෙය පරාදීසයකි. ඊට අමතරව මංගල ඡායාරූප, වෙළෙඳ දැන්වීම් රූගත කිරීම සඳහාද මෙම උද්‍යානය තුලදී පහසුකම් ලැබේ. ඒ සඳහා විශේෂ අවසරක් සහ මුදලක් ගෙවීමට සිදුවේ.
අනාගතයේදී මෙම උද්‍යානය තුල වෙනස්ම තේමාවක් ඔස්සේ ළමා උද්‍යානයක් සහ නරඹන්නන් සඳහා රාත්‍රී කඳවුරු පහසුකම් සැපයීමටත්, මෙම උද්‍යානයේ පිහිටි දූපත් 10 න් එකක් සර්පයින් සඳහා වෙන් කරීමටද මේ වන විට කටයුතු සම්පාදනය කරමින් පවතිනවා. පාරිසරික වශයෙන් උගන්වන සොඳුරු පාඩම් මෙන්ම විද්‍යාත්මක පැතිකඩ ඔස්සේ දැනුම ගවේෂණය කිරීම සඳහා පර්යේෂණයන් සිදු කරීමට සංචාරක ඔබත් කැමතිනම් ‘දියසරු උයන’ ට ගොඩවන්න. මෙම උද්‍යානය පිළිබඳව තොරතුරු 0112- 073 550 ටන දුරකථන අංකය ඔස්සේ සහ ‘Bio diversity study park’ යන ෆේස් බුක් පිටුව ඔස්සේ ලබා ගත හැකියි. ඔබ මෙහි යන්නේ නම් පා සටහන් පමණක් ඉතිරි කර අනෙක් සියලුම දේ නැවත රැගෙන එන්න.
සටහන සහ ඡායාරූප - මංජු ප්‍රදීප් කුමාර