කොත්මලේ වේල්ල මතින් කඩදොර විහාරයට



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-03-01-ent-128

කොත්මලේ සැඟවුණු ඉතිහාසය සොයා (1)

2017-03-01-ent-127මේ දිනවල අප බොහෝ ප්‍ර‘දේශවල සංචාරය කරන විට ශරීරය දහඩියෙන් තෙත් කරන කාෂ්ඨක අව්වත්, හමායන වියළි සුළං රොදත් අප ගතේ දැවටෙන්නේ පවතින ඉඩෝරයේ සලකුණු පෙන්නුම් කරමිනි. මේ වනවිට සියලුම ප්‍රධාන ගංඟා පිටාර මට්ටමේ සිට අඩි 40–50 දක්වා සිඳි ගොසිනි. ස්වභාවධර්මය ඔච්චමට මෙන් පොළොව විටින් විට තෙත් කළත්, මහා වර්ෂාවක පෙර නිමිත්තක් තවමත් පෙනෙන්නට නැත.

මෙම නියං සහගත තත්ත්වය නිසා මාවුස්සාකැලේ ජලාශයේ ජලකඳ පහළ බැසීම නිසා මතු වූ %පැරැණි මස්කෙලිය^ නගරයේ නටඹුන් සොයා අප ගියවර මාවුස්සාකැලේ ප්‍ර‘දේශයේ සංචාරයක නිරත වූයේ එම ඉසව්ව සංචාරක ඔබට නිතර දෙෙව්ලේ දක්නට නොලැබෙන හෙයිනි. අප එම සංචාරයේ නියුතුව සිටියදීම කොත්මලේ ජලාශයේ ජලමට්ටමද පහත බැසීම නිසා එම ජලාශයේ සැඟවුණු අපගේ ඉතිහාසය යළි මතු වී ඇති බව අපට දැනගන්නට ලැබුණි. ඒ නිසා මෙවර සංචාරය සඳහා අප තෝරා ගත්තේ කොත්මලේ ප්‍ර‘දේශයයි.

අලුයම 03.00ට පමණ කොළඹ සිට ගමන් ඇරඹූ අපි අවිස්සාවේල්ල නගරය හරහා ගිනිගත්හේන නගරයට සේන්දු වුණෙමු. ගිනිගත්හේන නගරයෙන් උදෑසන ආහාරය ලබාගත් අප, එතැන් සිට නාවලපිටිය නගරයට පැමිණ, නාවලපිටියේ සිට නුවර දක්වා දිවෙන මාර්ගයේදී හමුවන උලපනේ හන්දියෙන් දකුණු දෙසට දිවෙන මාර්ගය ඔස්සේ මුලින්ම අපි %කඩදොර^ හා %තිස්පනේ^ කඳු යා කර කොත්මලේ ජලාශය හරස්කර නිර්මාණය කර තිබෙන කොත්මලේ වේල්ල නැරඹීමට ගියෙමු.

%කොත්මලේ ඔය^ යනුවෙන් හඳුන්වනු ලබන්නේ මහවැලි ගංගාවේ ප්‍රධානතම අතු ගංගාවය. මෙම ගංගාවේ ආරම්භය සිදුවන්නේ හෝටන්තැන්නේ සිටය. ඩෙවොන් සාන්ත ක්ලෙයාර් ඇල්ල, පූඩළුඔය, රම්බොඩ, ගැරඩිඇල්ල යන දියඇළිවලින් පෝෂණය වන මෙම කොත්මලේ ඔය නාවලපිටිය, %පොල්වතුර^ යන ගම්මානයෙන් මහවැලි ගඟ හා සම්බන්ධ වේ. 1979 වර්ෂයේදී ආරම්භ කෙරුණු මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණ වී තිබෙන්නේ විදුලිය නිෂ්පාදනය කිරීමට අවශ්‍ය ජලය කොත්මලේ ජල විදුලි බලාගාරයට ලබාදීමය. ඊට අමතරව ගංවතුර පාලනය කිරීමටත්, ප්‍ර‘දේශයේ කෘෂිකාර්මික කටයුතු සඳහා ජලය ලබාදීමටත් මෙම ව්‍යාපෘතිය ඔස්සේ සිදුකරනු ලබයි.

මෙම ව්‍යාපෘතිය නැරඹීම සඳහා මෙහි නැරඹුම් මධ්‍යස්ථානයක් ඉදිකර තිබෙන අතර, එහිදී පාසල් ළමුන්ට හා පැමිණෙන සංචාරකයන්ට මෙහි අතීතය පිළිබඳවත්, මෙහි ක්‍රියාකාරීත්වය පිළිබඳවත් දැනුම ලබාගැනීමට හැකියාව ලැබේ. නැරඹුම් මධ්‍යස්ථානයේ සිට කොත්මලේ වේල්ල නැරඹීමට ලබාගන්නා ප්‍ර‘වේශපත්‍රය භාවිත කරමින් වේල්ල ඔස්සේ ඉදිකර තිබෙන මාර්ගය ඔස්සේ ගමන් කිරීමටද වර්තමානයේදී අවකාශය ලැබේ. එය ඉතා සුන්දර අත්දැකීමක් වන බව නොඅනුමානය.

මෙමගින් වර්තමානයේ බොහෝ දෙනෙකු පලප්‍ර‘යෝජන ලබාගත්තත්, අවුරුදු 38කට පෙර ඒ සඳහා අවශ්‍ය කෙරෙන භූමිය නිර්මාණය කිරීමට නුවරඑළියේ සිට වේල්ල දක්වා වූ කිලෝමීටර් 22ක දුර ප්‍රමාණය තුළ ජීවත් වූවන් මහන්සියෙන් තනාගත් ගෙවල් දොරවල් වගාබිම් සමස්ත ජාතියේ උන්නතිය වෙනුවෙන් පුදකර තිබෙන බව ඔබ කිසිසේත්ම නොසිතන්නට ඇත. මෙම ජලකඳට ග්‍රාමසේවා වසම් 16ක්, ගම් 66ක්, තේ වතු 04ක් සහ කඩදොර ශ්‍රී ප්‍රියබිම්බාරාමය, මොරපේ බෝධි මාලකාරාමය, මොරපේ සුභද්‍රාරාමය, හැදුනුවැව මැදගොඩ ගංගාරාමය, ඔතලාවේ බෝධිරුක්ඛාරාමය, නවත්ගම අභිනවාරාමය සහ තිස්පනේ ශ්‍රී සුභද්‍රාරාමය වැනි පෞරාණික පන්සල් 18ක්ද, මොරපේ දේවාලය සහ හැදුනුවැව මැදගොඩ පත්තිනි දේවාලය යන හාස්කම් ඇති බව පැවසෙන දේවාලයන්ද සැඟව තිබේ.

අප කොත්මලේ දක්වා පැමිණියේ මහ ජල කඳට යටවී තිබූ නටඹුන් යළි මතු වී තිබෙන අයුරු දැකගැනීමටය. එම නිසා සෞන්දර්යාත්මක දර්ශන තලයක් මවන කොත්මලේ ජලාශයේ නැරඹුම් මැදිරියෙන් නික්මුණු අපි උදෑසන හිරුඑළියත් සමග එම පරිසරය වෙලා ගනිමින් තිබූ සුළඟේ සිසිලස විඳගනිමින් එම මධ්‍යස්ථානය කරා පැමිණි මාර්ගයේම පහළට ගමන් කළේ මතුවී තිබෙන නටඹුන් සොයාගෙනය. මීටර් 200ක පමණ දුරක් ගමන්කළ පසු එම මාර්ගයට දකුණු පසින් ගල්දමා හරස්කර තිබෙන කැලෑබද මාර්ගයක් අපගේ නෙත ගැටුණි. නටඹුන් මතුවී තිබෙණුයේ කොත්මලේ වේල්ලට තරමක් ආසන්නයෙන් බව ගම්වාසීන්ගෙන් මුලින්ම තොරතුරු ලබාගත් නිසා, ඔවුන් පැවසූ මංසලකුණු ඔස්සේ අපි එම මාර්ගයයේ කොත්මලේ ජලාශය සොයා පහළට ගමන් කළෙමු. එම මාර්ගයේ මීටර් 500ක් පමණ කැලෑව එළිපෙහෙළි කරගනිමින් ඉදිරියට ගමන් කිරීමේදී මීදුමෙන් වැසී ගිය කඳුපන්තිවලින් ඔපවත් කරන්නාවූ කොත්මලේ ජලාශය අපට ඈතින් දිස්වුණි. කෙමෙන් කෙමෙන් ජලාශයේ ඉවුර වෙත සේන්දු වූ අපට, ජලමට්ටම පහත බැසීම නිසා මතුවී තිබෙන කඩදොර ශ්‍රී ප්‍රතිබිම්බාරාමයේ බුදුගෙය දිස්විය.

ජල මට්ටම පහත බැසීම නිසා මතුව තිබෙන එරෙන සුලු භූමියේ පරිස්සමට අඩිය තබමින් අප බුදුගෙය වෙත ළඟා වුණෙමු. අපට දිස්වූයේ බුදුගෙය පිටුපස කොටසය. අප එම ඉසව්වට ගමන් කරන කාලවකවානුවේදී විහාරය සම්පූර්ණ ලෙස මතු වී නොතිබුණි. තවත් අඩි 4ක පමණ ජල කඳකින් එය යටවී තිබුණි. එම නිසා මෙහි ඉදිරිපස ඇත්තේ කුමන ආකාරයේ දසුනක්ද යන්න දැක බලාගැනීමට ඒ අසල මාළුබාමින් සිටි ධීවරයෙකුගේ පිහිට පැතීමට අපට සිදුවිය.

ඔහුගේ ඔරුවට නැගුණ අප බුදුගෙට දකුණු දෙසින් ඒ වෙතට තරමක් ළං වුණෙමු. එවිට අපට දැකගැනීමට හැකිවූයේ එම විහාරගෙය තුළ ශාන්ත සිනාවකින් මුව සරසාගෙන, තේජාන්විතව වැඩසිටින බුදු රුවකි.

විහාරගෙය සම්පූර්ණයෙන්ම ජලයෙන් නිරාවරණය වී නොතිබුණු නිසා අපට එහිදී දැකගැනීමට හැකිවූයේ පිළිම වහන්සේගේ හිස පමණි. අපව මෙම ස්ථානයට රැගෙන ගිය ධීවරයා අපට පැවසුවේ ඉදිරිෙය්දී මාසයක් පමණ වැසි නොලැබුණහොත්, මෙම විහාරගෙය ඇතුළු බෝධීන් වහන්සේ තැම්පත් කර තිබුණු ස්ථානය, මල් ආසනය සම්පූර්ණයෙන්ම දැකගත හැකි බවය. පිළිම වහන්සේගේ හිස පමණක් දැකගැනීමට හැකි වුවත්, එය දැකීමෙන් විඩාබර සිතට මහත් වූ ශාන්ත බවක් ගෙන ෙදයි.

කොත්මලේ වේල්ලට ආසන්නයෙන්ම පිහිටි කඩදොර විහාරයේ ඉදිකිරීම් කටයුතු සිදුකර තිබෙන්නේ ක්‍රිස්තු වර්ෂ 1897 දීය. 1905 වර්ෂයේදී මෙහි මුල් විහාරයේ වැඩනිමවී තිබෙන අතර, 1935 වර්ෂයේදී එහි සිතුවම් සියල්ල නිමකර ජාතියට තිළිණ කර තිබේ. නමුත් 1979 දී කොත්මලේවේල්ල ඉදිකිරීමත් සමග මෙය ජලයෙන් යටවී තිබේ.

වසර 112ක් පැරැණි මෙම විහාර මන්දිරයට කොත්මලේ ජලාශයට ජලය පිරවීමත් සමග අවරුදු 32කට ආසන්න කාලයක් ජලයෙන් යටවී තිබුණත්, තවමත් එය ජීවමාන ලෙස පවතී. ජලයට යට වුණු මෙම විහාරස්ථානය කොත්මලේ වේල්ලට තරමක් පහළින් පිහිටි රිවර් සයිඩ් නම් ගම්මානයේ නැවතත් ඉදිකිරීමට පියවර ගැනුණු බවද අපට දැකගැනීමට හැකියාව ලැබුණි. බුදුගෙයි ඉදිරිපස දැකබලා ගැනීම සඳහා අපට උපකාර කළ ධීවරයාට තුතිපුදා කොත්මලේ ජලාශයෙන් අත්පා දොවාගෙන අප නැවතත් ප්‍රධාන මාර්ගය වෙතට පිවිසුණේ කොත්මලේ ජලාශය බිළිගත් පූජා ස්ථාන සිහිපත් වීම පිණිස මහවැලි කඩිනම් ව්‍යාපෘතියේ නිර්මාතෘ දිවංගත ගාමිණී දිසානායක මහතාගේ සංකල්පයකට අනුව ඉදිකෙරුණු මහැවැලි සෑය වෙත ගමන් කිරීමේ අරමුණිනි.

මහවැලි මහසෑය පිළිබඳ සංචාරක සටහනක් සමගින් ලබන සතියේදී නැවත හමුවෙමු.

 

සටහන - මංජු ප්‍රදීප් කුමාර

ඡායාරූප - රචින්ත ජයවර්ධන / සුපුන් සම්පත්

2017-03-01-ent-123 2017-03-01-ent-124 2017-03-01-ent-125 2017-03-01-ent-126
 

2017-03-01-ent-118
2017-03-01-ent-119
2017-03-01-ent-120
2017-03-01-ent-121
2017-03-01-ent-122