කොටි අඩවියේ දවසක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

”ඔබ මේ පිවිසෙන්නේ කොටින්ගේ පාරාදීසයටයි.”

දිවියකුගේ ඡුායාරූපයක් සමග මේ වචන පෙළ සටහන් වූ පුවරුවකි.

ඊට ඔබ්බෙන් ඇත්තේ රුහුණු ජාතික වනෝද්‍යානයේ ප‍්‍රධාන දොරටුවයි.

අපේ සෆාරි ජීප් රිය තවත් ජීප් රථ ගණනාවකට පිටුපසින් ගොස් අර කී ප‍්‍රධාන දොරටුවෙන් ඇතුළු විය.

ආරක්ෂක නිලධාරීන්ගේ අධීක්ෂණයෙන් පසුව අපේ ජීප් රිය දුවිලි පිරුණ ගුරු පාර දිගේ ඉදිරියට ගමන් කරන්නට විය.

පාර දෙපසම ඇත්තේ මලිත්තන් ගස්ය. ඈතින් ඈතට විහිද ගිය පිට්ටනියේ පොළොව දුඹුරු පාටය.

මොණරෙක් උගේ පාඩුවේ ඇවිදගෙන ගියේය. එහෙත් එක්වරම ඌ මොනරෙක් ද සෙබඩෙක් ද යන්න හිතාගත නොහැකි විය. හේතුව ඌට තිබුණේ බිම ගෑවෙන තරමේ දිගු පිල් කළඹක් නොවීමය. ‘‘ඒ මොනරාගේ පිලක් නැහැ වගේ.’’

අපේ සෆාරියේ රියැදුරු නිලංග මදෙස බැලූවේය.

‘කතරගම පෙරහර කාලේට මොනරුන්ගේ පිල් හැලෙන බව දන්නේ නැද්ද?’

ඔහු ඇසුවේය.

මම නැතැයි කියන්නට හිස සැලීමි.

‘ඔය මොනරා කියන්නේ කතරගම දෙවියන්ගේ වාහනේනෙ. ඉතින් පෙරහර කාලෙ වෙද්දි මොනරු උන්ගේ පිල් හලා ගන්නවා. ඊට පස්සේ උන්ට අලූතින් පිලක් එනවා. ඔය තියෙන්නේ අන්න ඒ අලූතින් එන පිල.’

‘එහෙනම් මේ කාලෙට මොනරු පිල් විදහාගෙන නටන්නේ නැතුව ඇති.’

මම ඇසීමි.

‘නැහැ නැහැ. නටන මොනරු ඉන්නවා.’

ඇතැම් ජීප් රියක් අප පසු කරගෙන වේගයෙන් යයි. මේ කැලේ ඇතුලේ උපරිම වේගය පැයට කිලෝ මීටර් විසි පහකට සීමා කර තිබේ.

ඇතැම් විට අපේ සෆාරි ජීප් රියේ වේගය ඊට වඩා අඩු විය හැකිය.

අප පසු කර යන ජීප් රියෙන් දුවිලි වලාවක් මතු වෙයි. ඒ දුලි වලාව හමා එන්නේ හරියටම අපේ ඉදිරියටය. ඒ දුවිල්ල පපුවට යන එක වළක්වනු පිණිස කළ හැක්කේ නාසය වසා ගැනීම පමණකි.

කොළ පැහැති පුංචි කුරුල්ලෙක් බත් කූරෙක් කටේ රඳවාගෙන ගසක වසා සිටී. ඊළඟ මොහොතේ ඌ අර බත්කූරා ගිල දැමුවේය.

‘බිඟුහරයා කියන්නේ මෙයාට.’

නිලංගගේ කටහඬ ඇසේ. මම ඒ ලස්සන කුරුල්ලා දෙස ආශාවෙන් බැලීමි. ඌ වහා අහසට නැග කරණමක් ගැසුවේය. බිඟුහරයා යනු මී මැස්සන් ගිල දමන්නා යන අරුත ඇති වදනක් විය හැකිය. එසේ නම් ඌ කෘමීන් තම ආහාරය බවට පත් කර ගත් කුරුල්ලෙක් විය හැකිය.

සංචාරකයන් යාලට එන්නේ මෙවැනි පුංචි කුරුල්ලන් දැක ගන්නට නොවේ. අලි, කොටි, වලසුන් දැක ගැනීමටය. ගේට්ටුව අද්දර ඇති පුවරුවේ සටහන්ව තිබූ පරිදි කොටි බලන්නටය.

එහෙත් තවමත් අප දැක්කේ මොනරෙක් පමණි.

එවිටම වඳුරු නාම්බෙක් ගසක අත්තක රැුඳී අප දෙස බලා සිටියේය. කළු මුහුණක් සහිත මේ වඳුරාගේ විසුලූ මුහුණට කැමරාව එල්ල කළෙමි. මොහොතකින් උගේත් ඌ ළඟින්ම සිටි උගේ ප‍්‍රියම්බිකාවගේත් පෙම් ජවනිකාව මගේ කැමරාවේ සටහන් විය.

මේ වනගත ඡුායාරූප මොන තරම් නම් වටින්නේද? මම කැමරාවේ තිරයෙන් මවිසින් ගනු ලැබූ ඒ පින්තූරය බලමි. අර වඳුරා, මදෙස හෙලූවේ ඍජු බැල්මකි. ඒ උන්ගේ පෞද්ගලිකයි රහසිගතයි පින්තූර මුහුණු පොතේ හෝ පත්තරවල පළ නොකරන්නැයි කියන්නට මෙනි.

අපේ ජීප් රිය මේ ගමන් කරන්නේ යාල වනෝද්‍යානයේ ප‍්‍රධාන මාර්ගයේය. පලටුපාන දොරටුවේ සිට මැණික් ගඟ දක්වා දිවෙන මේ මඟ දෙපස බොහෝ වැව් ද බොහෝ වතුර වළවල් ද හමුවේ. ඒ හැම වැවකම වළකම වන සත්තු සැරිසරති. එහෙත් මහාසීලව වැවේ ඉතිරිව තිබූ වතුර ස්වල්පයේ කොකුන් හැර වෙන සතෙක් දකින්නට නොලැබිණි.

විලපලා වැව විශාල එකකි. යාල වන උයනේ ඇති වැව් අතරින් විශාලත්වයෙන් වැඩිම වැව මෙයයි. එහෙත් මේ ගිම්හානයේ විලපලා වැවේ වැඩි කොටස තණ බිමකි. ඇත්ත වශයෙන්ම කිවහොත් තණ ද වියැළී ගොස්ය. වතුර ඉතිරිව ඇත්තේ වැවේ කුඩා වපසරියක පමණි. කොකුන් ?නක් වැවේ වතුර ඉතිරිව ඇති පෙදෙසේ රංචු ගැසී සිටිනු පෙනිණි. හරියටම කිවහොත් එය උන්ගේ සමුළුවක් වැන්න.

ළඟ එන නියඟයට මුහුණ දෙන හැටි.

ආහාර හිඟයක් ආවොත් කළයුතු දේ ඊළඟ සුනාමිය යාල කැලේ සංහිඳියාව වැනි මාතෘකා යටතේ උන් සමුළුවක් ඇරඹුවාක් වැන්න. හැබැයි, ඒ අතරේත් උන්ගෙන් ඇතැම් කොකෙක් දියට හොට ඔබා මස්සෙක් අල්ලා ගන්නේය.

‘අන්න ගෝන්නු...’

අපේ මග පෙන්වන්නා කීවේ වැවේ ඈතම ඉසව්වකට අත දිගු කරමිනි.

ඔහුගේ අත යොමු වුණු දිශාව ඔස්සේ නෙත් ගොමු කළ විට අඳුරු ගුලි වගයක් බොහෝ ඈතින් දක්නට හැකි විය. උන් ගෝනුන් ද හරකුන් ද යන්න මට නම් අවිනිශ්චිතය. එහෙත් හැමදාමත් යාලේ කරක්ගහන අපේ මිතුරාගේ ඇස් වනාන්තරයටම හුරුව ඇත්තේය.

ඔහුට හැතැප්මක් ඈතින් සිටියත් ගෝනාත් ගොනාත් වෙන් කර හඳුනාගත හැකිය.

විලපලා වැවද, යාලේ අනෙකුත් වැව් මෙන්ම කිඹුලන්ගේ රාජධානියකි. එහෙත් වැවේ ජලය රැුඳී ඇති කොටස, මේ පාරට බොහෝ දුර බැහැර වූ බැවින් වැව් දියේ ගිලූණ පිහිනන කිඹුලකු දැක ගැනීම දුෂ්කර විය.

මලිත්තන් ගස් අතර තැනුණ වේ හුඹස්ය. ඉන් ඇතැම් හුඹහක උස, මිනිසකුගේ උසට සමානය. මුදුන් දහයක් පහළොවක් තරම් ඇති මේ වේ හුඹස්වල විශාල කටවල් රැුසකි. මේ යෝධ වේ හුඹස් දකින විට මට සිතුණේ, යාල වේයෝ කැරපොත්තන් තරම් විශාල විය යුතු බවය. ලෝකයේ ලොකුම වනාන්තරය වන ඇමේසන් වන රජදහනේ වෙසෙන සතුන් ද කෘමීන් ද සාමාන්‍ය ප‍්‍රමාණයට වඩා විශාල බව කියති. යාලේ වේයා, අප දන්නා වේයා තරම් කුඩා නම්, මේ තරම් ලොකු හුඹස් බඳින්නේ කෙසේ දැයි ප‍්‍රශ්නයකි. එසේ නම් යාලේ වේයෝ දක්ෂ වැඩකාරයන් විය යුතුය. කඩිසරයන් විය යුතුය. එකත් එකටම ඒවා සර්පයෙන්ගේ නිවහන් විය හැකිය. නයා, පොළඟා පමණක් නොව තවත් බොහෝ සර්පයන් ද පිඹුරන් වැනි උරගයෝ ද මේ යාලේ වෙසෙති. නයි පොළඟුන්ගේ නිවහන් වන්නේ මේ හුඹස් විය යුතුය.

වම්පසට බෙදුණු පාරකි. බොහෝ වාහන ප‍්‍රධාන පාර දිගේ ඉදිරියට යද්දී ඉඳහිට වාහනයක් මේ වමට ඇති පාරට හැරෙයි. ඌරනිය හන්දිය ලෙස නම් ලද මේ පාර වනය මැදින් ගොස් සිතුල්පව්ව පාරට වැටෙයි. කිරින්දx සිතුල්පව්ව පාර, යාලේ ඇති අනෙක් ප‍්‍රධාන මාර්ගයයි.

මේ පාර කෙළවර වන්නේ සිතුල්පව්වෙනි.

අප ගියේ ඉදිරියටය. ටික දුරක් යනවිට වන මැදින් අහසට නැගුණ කළු ගල් පර්වත වගයක් පෙනිණි.

ජඹුරගල කඳු ලෙස නම් ලද මේ ගල් ශිඛර සහිත ප‍්‍රදේශය නම් පතළ වූ කොටි අඩවියකි. නවතින්නට ගල් සහිත පරිසරයක් ද, නරඹන්නට බොහෝ අගනා දේ ද සහිතය.

‘අර තියෙන්නේ කොටිගල.’

අපේ මඟ පෙන්වන්නා කියයි. දකුණු අත පැත්තේ වූ මේ ගල් පව්ව ඒ මොහොතේ නම් පාළුවට ගොස් තිබිණි. එසේ වුවත් මේ ගල් පව්ව ආශ‍්‍රිත පෙදෙස කොටින්ගේ රාජධානියයි. යාල කැලේ කොටි ගැවසෙන ඉසව් අතරෙහි ජනප‍්‍රියම ස්ථානයකි.

ඇතැම් මොහොතක මේ ගලේ වැතිරී අලස සුවය විඳින කොටියකු හා කොටි යුවළක එහෙමත් නැත්නම් කොටි දෙනක හා පැටව් දකින්නට වාසනාව ලැබේ.

පාරේ පැත්තකට කළ අපේ වාහනයේ එන්ජිම නතර කෙරිණි. දැන් ඇසෙන්නේ පරිසර ගීතය පමණි.

තුරුලතාවනට පෙමින් බැඳුණු පවනේ ගීතය හැරුණු විට වන සතුන්ගේ හඬවල් ද ඇසෙයි.

‘මේ වෙලාවේ මේ හරියෙ කොටි නැහැ. මොකද කොටියා ඉන්නවා නම් කුරුල්ලො ලේන්නු තොරතෝංචියක් නැතුව කෑ ගහනවා.’

නිලංග කීවේය.

ඔහු වනන්තරේ කරක් ගසා ලද අත්දැකීම්වලින් පෝෂිත පුද්ගලයෙකි. ඉතින් ඔහුට රහසේ කොටියකුට වත් සැඟවී සිටින්නට නුපුළුවන. කැලේ කොලේ බොහෝ රහස් ඔහු හොඳින්ම දනී.

යළිත් පණ ගැන්වුණු රථය දුවිලි කපාගෙන ඉදිරියට ඇදෙයි. රථය යළි නැවතුණේ තවත් තරමක වතුර වළක් ළඟය. එහෙත් එහි ද වතුර සිඳී තිබිණි.

‘මේ තියෙන්නේ සියඹලාගස් වළ. මේ හරිය වලස්සුන්ගේ රාජධානිය.’

නිලංග කියයි.

‘පලූ ගස්වල ගෙඩි හැදෙන කාලෙට වලහෙක් දෙන්නෙක් දකිනවම තමා. උන් පලූ ගස්වලට නැගලා වගේ වගක් නැතුව ගෙඩි කනවා පලූ ගෙඩිවලට මත් වෙනකම්ම.’

ඉනික්බිති ජීප් රිය නැවතුණේ වතුර පිරුණ සොඳුරු ඉසව්වකය. පලූ ගස්වල නමින් හඳුන්වන මේ වළේ විසිතුරු දසුන් තිබිණි.

කොක්කු මෙන්ම ජලාශ‍්‍රිත පක්ෂීන් ගැවසෙන එතැනට වී ඒ ඒ කුරුල්ලන් දෙස බලා සිටින්නට පුළුවන. කොකෙකුට වඩා උස සුදු සහ රතු පාටට හුරු පියාපත් ඇති ලතුවැකියන් කිහිප දෙනෙක්ම විලෙහි සරති. උන් විටෙක වතුරට මුව පොවා මස්සෙකු හොටින් ගනියි. මොහොතකට ඌ හොටේම තබා ගන්නා ඌ ඊළඟ මොහොතක ගොදුර ගිල දමා හොඳින් හුස්මක් ගනියි.

එක්වරම වළේ වතුර අතරින් හඬක් නැගිණි. ඒ සමගම යමක් උස් වී යළි පහත් විය.

‘කිඹුලෙක්.’

වළේ මඩ කලත්තා මාලූන් කලබලයට පත් කරන ඒ කිඹුලා ඊළඟ මොහොතක මාලූවෙක් ගිල දමයි.

‘අන්න තව කිඹුළෙක්’

අපේ නඩයේ කෙනෙක්ගේ හඬ ඇසේ.

ඔව්. එකෙක් නොවේ. කිඹුලන් තුන් හතර දෙනක්ම මේ වළට ඔට්ටු වී සිටී. උන් දිය යට යමින් මඩ කලන්තන විට මතුවන මාළු කිඹුලාගේ පමණක් නොව කොකුන්ගේ ද අහර වෙයි.

කොකුන් කිඹුලන්ට බය නැත. ඒ කිසි විටෙකත් කිඹුලකු කොකෙකු ආහාරයට නොගන්නා නිසාය.

වළේ සිටින එකම පෙලිකන් කුරුල්ලා බෝට්ටුවක් මෙන් වළ දිගේ එහාට මෙහාට පිහිනයි. විටෙක දියට හොට පොවන ඌ ද මාළුවෙකු කටින් ගෙන ගිල දමා හිස ඔසොවා ආඩම්බරයෙන් බලයි. උගේ පින්තූරයක් ගන්නැයි පවසන්නට මෙනි.

චිචි චිචි චියෝ...

මහ හඬක් නගාගෙන ඉහළ නැගුණ කිරලෙක් යළි වළේ වෙනත් ඉසව්වකට පහත් වෙයි.

අනික් හැම කුරුල්ලෙක්ම නිහඬව තම ආහාර සෙව්වත් කිරලාට උගේ ඝෝෂාව නවත්වා ගත නොහැකි විය. ඌ මහ හඬින් කෑ ගසයි.

‘ඔය කිරලයි මොනරයි තමයි කැලේ ඉන්න ඔත්තුකාරයෝ.’

අපේ නිලංග තවත් කැලේ රහසක් හෙළි කරයි.

‘කොටියෙක් එහෙම ඉන්නව නම් මේ දෙන්නම අමුතු විදිහකට කෑ ගහනවා. ඒ කෑ ගැහිල්ල තමයි ඔත්තුව. එතකොට කොටියට ගොදුරක් වෙන සත්තු තමන්ගේ ආරක්ෂාව ගැන හිතනවා.’

‘හැබැයි කොටියට නම් කුණුහරුප මතක් වෙනවා ඇති.’

‘නැතුව... එතකොට කොටියා කරන්නේ ඌ නෑ වගේ නිහඬ වෙනවා. අර ගොල්ලන්ගෙ ඝෝෂාව නැති වුණාම තමයි ආයෙම ගමන පටන් ගන්නේ. මොනව හරි කරලා කොටියත් උගේ ආාහර වේල හොයා ගන්න එපායැ.’

මේ පලූගස් වළ හැර යා නොහැකිය. මෙතන තිබෙන වනගත වැවක සොඳුරු දර්ශනය පමණක් එක් ලිපියකට සෑහේ. තව ටිකකින් මෙතැන කොයි තරම් දේවල් සිදු විය හැකිද? තවත් කුරුල්ලන් ඒවි. කිඹුලන් අතර යම් යම් සිදුවීම් වේවි.

 

ස්තූතිය - තිස්සමහාරාමය යාල හන්දියේ එලිෆන්ට් රීච් හෝටලයේ කළමනාකරු රුක්මල් වනිගදේව මහතාට

2019-08-09-ent-85 2019-08-09-ent-86 2019-08-09-ent-93 2019-08-09-ent-87 2019-08-09-ent-88 2019-08-09-ent-89 2019-08-09-ent-90 2019-08-09-ent-91 2019-08-09-ent-92