කුවේණියගේ ශාපයකින් බිහිවූ කුරුණෑගල කඳු
කුරුණෑගල පුරවරයේ පිහිටලා තිබෙන ඇතෙකුගේ හැඩය ගත් ඇතුගල එහෙමත් නැත්නම් ඇතාගල බොහොම ප්‍රසිද්ධියට පත්වෙලා තිබෙන ස්ථානයක්. ඒ වගේම මේ සුප්‍රසිද්ධ ඇතාගල ඇතුලු කුරුණෑගලට අයත් බොහෝ දැවැන්ත පර්වත, කඳු, හෙල් ආශ්‍රය කරගෙන ජනප්‍රවාද රැසක් වගේම තවමත් සැඟවී තිබෙන ඉතිහාසයක් තිබෙනවා. එයින් බිඳක් සොයා අප ගිය ගමනක මතක සටහන් "අද" මෙසේ පාඨක ඔබවෙත ගෙන එන්න සූදානම්.
ඇතුගල හෙවත් ඇතාගල සම්බන්ධයෙන් අපිට අසන්නට ලැබෙන එක් ජනප්‍රවාදයක් ඒ අසළම පිහිටලා තිබෙන ඉබ්බාගල, එළුගල, කුරුමිනියාගල, ආඳාගල ආදී සත්ත්ව හැඩය නිසා නම්පට බැඳුනු පර්වත සහ කුවේණිය සමග බැඳී තිබෙනවා. විජය රජු විසින් නෙරපා හරින කුවේණිය ඉතාමත් දුකින් සහ විශාල කෝපයකින් යම් ශාපයක් සිදුකළ බවත් ඒ ශාපය සිදුකළ ස්ථානයේ රැඳී සිටි ඇතෙක්, කුරුමිණියෙක්, ඉබ්බෙක්, එළුවෙක් සහ ආඳෙක් ශාපයේ ප්‍රතිඵලයක් විදිහට මේ ආකාරයෙන් ගල් පර්වත හැඩයට පරිවර්තනය වූ බවත් මේ ජනප්‍රවාදයේ සඳහන් වෙනවා. මේ සෑම ගලකම අදටත් සැඟවී තිබෙන ඓතිහාසික කාරණා බොහෝමයක් තිබෙන බවත් කුරුණෑගල ජනතාව විශ්වාස කරනවා.
ඇතාගල ඇතුළු මේ පර්වත පෙළ ආරක්ෂක ස්වාභාවික ආරක්ෂක වළල්ලක් ලෙස පිහිටා ඇති නිසාත් ඒ ඔස්සේ කුරුණෑගල ප්‍රදේශයේ ඇති ආරක්ෂිතබව හා බිමේ තිබෙන සාරවත් බව නිසාත් කුරුණෑගල රාජධානියක් ලෙස භාවිතා වුණු බව ඉතිහාසය සඳහන් කරනවා. කුරුණෑගල රාජධානියට අයත් වුණු රජවාසලේ සහ දළදා මාළිගයේ නටඹුන් ඇතුගලට පාමුලින් පිහිටා ඇතිබව කියවුණත් ජනාකීර්ණවීමත් එක්ක අද ඒ නටඹුන් දැකගන්න ලැබෙන්නේ නැහැ.
රාජධානියක් විදිහට කුරුණෑගල හෙවත් ඇතුගල්පුර ඉස්මතුවීම සිදුවෙන්නේ 14 වැනි සියවසේදී පමණ. කුරුණෑගල බලයට පත්වූ පාලකයනුත් දඹදෙණි රජපෙළපතට අයත් පිරිස් බවට සැළකෙනවා. තවදුරටත් ජනප්‍රවාද සහ කුරුණෑගලට සම්බන්ධ ඉතිහාසය හාරා ඇවිස්සීමේදි මතුවන කාරණයක් තමයි ඇතුගලේ පිහිටා තිබුණා යැයි සැළකෙන දේවානම්පියතිස්ස රජු විසින් කරවූවා යැයි සැළකෙන ඇතුගල විහාරය පිළිබඳ කතාව. නමුත් අවාසනාවකට 2003 වර්ෂයේ හස්තිශෛලපුර බුදුරුව සංවර්ධන සමිතිය විසින් ඉදිකරන්න යෙදුනු අඩි 66ක් උස සමාධි බුදුපිළිම වහන්සේ හැරෙන්නට ඒ පැරණි විහාරයේ නටඹුන් කිසිවක් ඇතුගල මත දකින්නට ලැබෙන්නේ නැහැ. ඇතුගල පිහිටලා තිබෙන පොකුණ වනවාසී භික්ෂූන් වහන්සේලාගේ ප්‍රයෝජනය වෙනුවෙන් ඉදිවූවක් යැයි සැළකෙනවා.
ඇතුගල සම්බන්ධ තවත් ඉතිහාස කතාවක් විදියට වත්හිමි කුමාරයා සම්බන්ධ ජනප්‍රවාදය පෙන්වා දෙන්න පුළුවන්. ඔබ ආචාර්ය සෝමරත්න දිසානායක මහතාගේ සිරිපැරකුම් චිත්‍රපටය නැරඹුවානම් වත්හිමි කුමාරයා පිළිබඳව යම් ප්‍රමාණයකින් දන්නවා ඇති. වත්හිමි කුමාරයා පිළිබඳව ලිඛිත ඉතිහාසයේ වැඩිමනත් තොරතුරු සඳහන් නොවුණත්. මෙය කුරුණෑගල ජනතාව අතර තිබෙන සුවිශේෂී සහ ප්‍රකට ජනප්‍රවාදයක් වෙනවා.
තුන්වන විජයබාහු රජුට මුස්ලිම් ජාතික බිසවක් සිටි බවත් ඇයටදාව උපන් කුමාරයා මේ වත්හිමි කුමරු බවත් මතයක් තිබෙනවා. තුන්වන විජයබාහු රජුගේ ඇවෑමෙන් රාජ්‍යත්වයට පත්වුණු වත්හිමි කුමාරයාට සිංහල අමාත්‍යවරුන්,සේනාධිපතිවරුන් ගෙන් එතරම් හොඳ ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ. ඒ සඳහා ඔහුගේ අසාධාරණ ප්‍රතිපත්ති සහ බෞද්ධ විරෝධී ක්‍රියාපිළිවෙත හේතුවූ බවත් කියවෙනවා. මේ කාලය තුළ කුරුණෑගල වැවේ එක්වරම රන් සෙම්බුවක් මතුවෙන බව කතාවක් පැතිරිලා යනවා. රන් සෙම්බුවගැනීමේ තණ්හාවෙන් පසුවුණු වත්හිමි කුමාරයා ඒ පිළිබඳව තමන්ගේ අමාත්‍ය මණ්ඩලයෙන් උපදෙස් පතනවා. එතනදි කියවෙන තවත් කතාවක දැක්වෙන්නේ මේ රන් සෙම්බුව පිළිබඳ ආරංචිය කුමාරයා ඉවත්කිරීමේ වැඩපිළිවෙලේම කොටසක් බවයි.
ඒ කොහොම වුණත් වත්හිමි කුමාරයාගේ දිවි තොර කිරීමේ කුමන්ත්‍රණය ක්‍රියාත්මක වෙන්නේත් මේ රන් සෙම්බුව මතුවීමේ සිදුවීමත් එක්කයි. ඒ අනුව රන් සෙම්බුව ලබාගැනීමට උත්සහ කළ සියලුදෙනාම දියේ ගිලීමෙන් මියගිහින් ඇතිබවට වත්හිමි කුමාරයාට දැනුම්දෙන අමාත්‍යවරු රන් සෙම්බුව ලබාගන්න නම් ඇතුගල පර්වතය මුදුනේ පිරිත් සජ්ඣානාවක් කරවලා වැවට සම්බන්ධ කරන පිරිත් හුය ඔස්සේ සෙම්බුව ගෙන්වාගැනීමට පුළුවන් කියලා වත්හිමි කුමාරයාව දැනුවත් කරනවා. සෙම්බුව ලබාගැනිමේ තණ්හාවෙන් සිටි වත්හිමි කුමාරයා ඒ සඳහා අවශ්‍ය කටයුතු සිදුකරනවා. අදටත් මේ රන් සෙම්බුව කුරුණෑගල වැවේ මතුවෙන බවටත් ජනතාව අතර විශ්වාසයක් තිබෙනවා.
මෙතනදි අමාත්‍යවරු කුමාරයා පිරිත් ශ්‍රවණය කරන මණ්ඩපය ප්‍රපාතයකට ආසාන්නයෙන් ඉදිකරලා ඉතාමත් සූක්ෂම ආකාරයෙන් රැහැන්පටවල් මගින් එය සම්බන්ධ කිරීම සිදුකරනවා. පිරිත් දෙසුමට සහභාගී වුණා යැයි සැළකෙන්නෙත් අමාත්‍යවරුන් විසින් එවපු ශ්‍රමණවේෂධාරීන් පිරිසක්. වත්හිමි කුමාරයා පිරිත් ශ්‍රවණය කරන අතරේදි රැහැන් පටවල් කපලා කුමාරයා සිටි මණ්ඩපය හෙළ පහළට වැටෙන්න සලස්වලා ඔහුව ජීවිතක්ෂයට පත්කරන්න මේ පිරිස සමත් වෙනවා.
වත්හිමි කුමාරයාගේ සිරුර වැටුණේ සූරතිස්ස රජ සමයේ කළා යැයි සැළකෙන ඇත්කඳ විහාරයට ආසන්න ස්ථානයකට බව සමහර පිරිස් විශ්වාස කරනවා. ඒ වගේම මරණින් පස්සේ වත්හිමි කුමාරයා යක්ෂයෙක් වෙලා ඉතාමත් දරුණු ආකාරයෙන් කටයුතු කළබවත් අවසානයේදි කතරගම දෙවියන් විසින් වත්හිමි යක්ෂයා දමනයකර දේවියෙකුලෙස යහපත් දිවිපෙවෙතක් ගත කරන්න වරම් ලබාදුන් බවත් ජනප්‍රවාද වල සඳහන් වෙනවා. ඒ අනුව අදටත් ගලේබණ්ඩාර දෙවියන් විදියට මේ ප්‍රදේශයේ වන්දනාවට ලක්වෙන්නේ මේ වත්හිමි කුමාරයා. කොහොම වුණත් අද වෙනකොට මේ අපූරු සමාධි පිළිමය සහිත ඇතුගල කුරුණෑගල අනන්‍යතාවය බවට පත්වෙලා තිබෙනවා. ඇතුගල මුදුනේ සිට හාත්පසේ ඇති පරිසරය ඉතාමත් සුන්දර ආකාරයට දැකගන්න හැකියාව තිබෙනවා.
ඇතුගලත් කුරුමිණියාගලත් යා කරමින් ඒ පර්වත දෙක මධ්‍යයේ පිහිටලා තිබෙන කඳුගැටය ඉබ්බාගල ලෙස හඳුන්වනවා. මේ ඉබ්බාගල පිහිටි ඉබ්බාගල විහාරය ඓතිහාසික වටිනාකමකින් යුක්ත විහාරයක්. ජනප්‍රවාදගත තොරතුරු අනුව මෙම විහාරය ඉදිකර තිබෙන්නේ කුරුණෑගල රාජධානි සමයේ රජකළ දෙවන බුවනෙකබාහු රජතුමා විසිනුයි. බුවනෙකබාහු රජුගේ මවට ශ්‍රීපාදස්ථානය වන්දනා කිරීමට දැඩි ආශාවක් තිබුණා. නමුත් ඇය වයස්ගත නිසා එතරම් දුෂ්කර ගමනක යෙදීම ඉතාමත් අපහසු කරුණක් වුණා. ඒ නිසා බුවනෙබාහු රජතුමා ඉබ්බාගල මත ශ්‍රීපාදයේ අනුරුවක් කරවලා තමන්ගේ මෑණියන්ට වන්දනා කරන්න අවස්ථාව ලබාදුන්බව කියවෙනවා. පසුකාලීනව රජතුමා විහාරගෙයක් සහ දාගැබක් මේ භූමියේ ඉදිකරලා විහාරයේ නඩත්තුව සඳහා ගම්වර කිහිපයක්ද පූජාකළ බව අහන්නට ලැබෙනවා. ඒ සිරිපතුලේ අනුරුව සහ විහාරගෙය අදටත් ඉබ්බන්ගල විහාරයේ දැකගන්න හැකියාව තිබෙනවා. මේ සියල්ලත් එක්ක ඉතාමත් සුන්දර පරිසරයක් ඇතුගල ආශ්‍රිත අවට ප්‍රෙද්ශවල දැකගන්න හැකියාව තිබෙනවා. කුරුණෑගල ජනතාව පෙන්වාදෙන ආකාරයට මේ සුන්දර පරිසරය විසින් තවමත් වසන්කරගෙන සිටින ඉතිහාසයක් සත්ත්ව නම් සමග පටබැඳුණු නම් සහිත පර්වත අතර තිබෙනවා. ඒවා මතුකරගෙන ලෝකයට නිරාවරණය කරනවාද එහෙමත් නැත්නම් ඒවා මේ ආකාරයෙන්ම වසන්වී සිටීමට ඒ ඉතිහාසයට ඉඩදෙනවාද කියන කාරණය අදාළ බලධාරීන් තීරණය කළයුතුයි. ඒ වගේම ඇතුගල ටියුෂන් යන බාලවයස්කාර පෙම්වතුන්ට රජදහනක් වන බව මේ සංචාරයේදි දකින්නට සහ අසන්නට ලැබුණා. හිස් මත්පැන් බොතල්, පොලිතින් විතරක් නෙවෙයි භාවිතාකළ උපත් පාලන කොපු පවා සමහර ස්ථානවලදී දැකගන්න පුළුවන්. ඒ නිසා නිසි බලධාරීන් මේ පිළිබඳව තමන්ගේ අවධානය යොමු කරලා ජාතික උරුමයක් වන මේ භූමිය අපචාරී භූමියක් බවටපත්වීමෙන් වළක්වා ගැනීමට කටයුතු කළයුතු බවත් සිහිපත් කරනවා.
සටහන සහ ඡායාරූප - නඳුන් ශ්‍යාමාල්