කළු දිය පොකුණ - කණ්ඩලම
ශ්‍රී ලංකාව ඉපැරණි ඓතිහාසික පසුබිමකින් පෝෂණය වූ රටක්. බෞද්ධ ආගමික පරිසරයක් වටා ගොඩනැගුණු මෙහි අස්සක් මුල්ලක් නෑරම සංස්කෘතිමය වශයෙන් වැදගත් බොහෝ දෑ දැකගන්නට හැකියාව පවතිනවා. එදා ඉපැරණි පුරාවස්තු අදාළ නටබුන් ලෙස දැක ගන්නට හැකි වීම තුළින් අපේ රටේ බෞද්ධ ආගමික පරිසරය මැනවින් පිළිබිඹු කරනවා. වෙහෙර විහාර මෙන්ම එකළ මහරහතන් වහන්සේලා වැඩ විසූ මහා වනාන්තරද බොහොමයකි. බොහෝ ස්ථානයන්හි අපට අද දැක ගැනීමට හැකි වන්නේ නටබුන් පමණි. කණ්ඩලම ප්‍ර‘දේශයේ කළුදිය පොකුණ එවන් ඉතිහාසයකට උරුමකම් කියන ඓතිහාසික වස්තුවක්. 11 වැනි සේන රජ සමයේ අටවැනි රාජ්‍ය කාලයේදී කරවන ලද මෙය රහතන් වහන්සේලා 500ක් පමණ වැඩ වාසය කළ බව ඉතිහාසයේ සඳහන් වනවා. 77 වර්ෂයේදී කළුදිය පොකුණ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට පවරාගත් බවත්, මෙම වනය තුළ පියනගන බවට විහාර ගෙය, බෝධිමළුව, උපෝසතාගාරයහි නටබුන් දැකගැනීමට හැකියාව තිබෙනවා. මෙහි දක්ෂිනගිර විහාරයේ වාසය කළ සංඝයා වහන්සේලාට දළන නම් අයෙකු විසින් ආහාර ලබාදීම සඳහා කලං විසිතුනක රත්රන් පූජා කළ බවද සඳහන් වනවා. මෙම විහාරයේ පැරණි නම වී ඇත්තේ දකිණගිර බවයි සඳහන් වන්නේ. කළුදිය පොකුණෙහි පොකුණු දෙකක් දැකිය හැකි අතර දුර්ලභ ගණයේ වටිනා වෘක්ෂයක්ද දැක ගත හැකි වනවා. කුරුලු විශේෂ මෙන්ම නොයෙක් වර්ගයේ සමනලුන්ද මෙහිදී නැරඹීමට හැකියාව තිබෙනවා. මෙම කළුදිය පොකුණෙහි පිහිටි කඳු මුදුන ඓතිහාසික වටිනාකමකින් යුතු අතර, එම කඳු පාමුල ලෙන් 47ක් තිබූ බව පසුකාලීනව සොයාගත් සෙල්ලිපි 12ක සඳහන් වනවා. කළුදිය පොකුණ අක්කර 108ක භූමි ප්‍රමාණයකට හිමිකම් කියන අතර මෙහි බුද්ධි රක්ඛිත මහනාහිමි වැඩ වාසය කළ බවත් පසුකාලයේදී උන්වහන්සේ බුද්ධි රක්ඛිත රහතන් වහන්සේ නමින් හැඳින්වූ බවත් සඳහන් වෙනවා.කළුදිය පොකුණ අධ්‍යාපනය අතින්ද බොහෝ වැදගත් ස්ථානයක් වන අතර, මෙහි සංචාරය කරන ඔබට අපේ සංස්කෘතියේ ඉපැරණි ඉතිහාසය හොඳින් වටහා ගැනීමට හැකි වනවා. මෙවන් ස්ථාන රැක බලාගැනීම අප කාගේත් යුතුකමක් වගේම වගකීමක් වනවා.
සටහන හා ඡායාරූප - ශාන් බන්දු වීරසිංහ