කර්කශ කොළඹ නගරය මධ්‍යයේ පිහිටි තෙත්බිම 'බැද්දගාන'
අතිශය නාගරීකරණය වූ කොළඹ නගරය තුළ වෙසෙන්නන්ට විවේකී සතිඅන්තයක මිතුරන් සමග හෝ පවුලේ අය සමග විනෝදයෙන් සුන්දර පරිසරයක මිහිර විඳගනිමින් නිදහසේ කාලය ගෙවීමට නම් කොන්ක්‍රීට් පුරවරයෙන් ඈත්ව දුර බැහැර පළාතක සංචාරය කිරීමට සිදුවෙයි. ඒ සඳහා විශාල බර පැනක් දැරීමටද ඔබට සිදුවෙයි. මෙවර අපගේ සංචාරය තුළින් කොළඹ නගරය තුළම පිහිටි පහසුවෙන්ම සංචාරය කළ හැකි ඉසව්වක් පිළිබඳව මං සලකුණු ඒමට අපි සිතුවෙමු.
බැද්දගාන තෙත්බිම් උද්‍යානය (Baddagana Wetland Park) ලෙසින් නම්කර ඇති මෙම තෝතැන්න ජනතා අයිතියට පත්කර වැඩි කාලයක් ගතවී නොමැති හෙයින් තවමත් එතරම් ප්‍රසිද්ධියට එය පත්වී නොමැත. මෙම ස්ථානය නැරඹීමේදී කොළඹ නගරය තුළ මෙවැනි පරිසරයක් පිහිටිය හැකිද යන්න හැගෙන පරිදි මෙය නිර්මාණය කොට තිබේ.
රාජගිරියේ සිට ඇතුල්කෝට්ට දෙසට වැටී තිබෙන මාර්ගයේ හමුවන ශ්‍රී ජයවර්ධනපුර මාවතෙන් හැරී ඉදිරියට ගමන් කර, පාර්ලිමේන්තු හන්දිය අසලින් තිබෙන "නිපෝන්" මාවත ඔස්සේ ගමන් කිරීමෙන් මෙම ඉසව්ව වෙත පහසුවෙන් ළඟා වීමට අවකාශය ලැබේ.
මෙගා පොලිස් අමාත්‍යාංශයට අනුයුක්තව නාගරික සංවර්ධන අධිකාරිය යටතේ පාලනය වන මෙම උද්‍යානය වඩාත් ප්‍රචලිත වී ඇත්තේ කුරුල්ලන් හා සමනලුන් නැරඹීම සඳහාය. සුන්දර දියවන්නා ඔය අසබඩ පිහිටි මෙම තෙත්බිම වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ප්‍රකාශිත ශ්‍රී ජයර්ධනපුර කෝට්ටේ කුරුලු අභය භූමිය මායිමටද ඇතුළත්වේ.
හෙක්ටයාර 18ක් පුරා පැතිරී ඇති මෙම හරිත කලාපය තෙත් කලාපීය පහත්බිමක දක්නට ලැබෙන දේශීය කුරුලු විශේෂ, සුන්දර සමනලුන් විශේෂ මෙන්ම බත්කූරන් විශේෂ රැසකටද නවාතැන් සපයයි. එපමණක් නොව පහතරට තෙත් කලාපයට ආවේණික වූ ගස්වැල් රැසකින් සමන්විත මෙම භූමිය සංක්‍රමණික කරුලු විශේෂ රැසකගේද ආගමනය සිදුවන කුරුලු තොටකි.
නාගරික පරිසර සඳහා නගර සැලසුම් නිර්මාණයේදී මෙවැනි තෙත්බිම් පරිසර පද්ධති, හරිත කලාපයක් ලෙසින් මිනිසාගේ නිරෝගී දිවිපැවැත්ම උදෙසා උපකාර වන අතරම, විනෝද කටයුතු සඳහාද තිරසාර ලෙස සංවර්ධනය කළ හැකි බවට මෙය හඳුනාගෙන ඇත. එම අදහස පෙරදැරි කරගනිමින්, බස්නාහිර පළාත් තෙත්බිම් කලාපීයකරණය යටතේ සකසන ලද උපදෙස් මාලාවක් අනුගමනය කරමින් නාගරික සංවර්ධන අධිකාරිය විසින් 2006 වසරේදී නව පාර්ලිමේන්තුව වටා ඇති අධිකාරිය සතු තර්ජනයකට ලක්වූ තෙත්බිම් 11ක් සංරක්ෂණය කිරීමට සැලසුම් කරන ලදී. එහි ප්‍රථම පියවර ලෙස මෙම උද්‍යානය නිර්මාණය කර තිබේ.
මෙම උද්‍යානය ඉදිකිරීමේ මූලික අරමුණ වන්නේ වටිනා තෙත්බිම් පරිසරය සංරක්ෂණය කරමින්, එයට සිදුවන හානිය අවම වන පරිදි තිරසාර ලෙස සංවර්ධනය කර, උද්‍යානයක් ලෙස පරිසර හිතකාමී සංචාරක ව්‍යාපාරය සඳහා යොදා ගැනීමය. උද්‍යානය ගොඩනැගීමේ විශේෂත්වය වන්නේ යන්ත්‍රෝපකරණ භාවිතයෙන් තොරව, කණු මත ඉඳිවුණු පක්ෂි නිරීක්ෂණ කුලුනු, ගමන් පථ, පක්ෂී නිරීක්ෂණ ස්ථාන ගොඩනැගීමය. එමගින් තෙත්බිම් පරිසරය මනාව සංරක්ෂණය වී තිබෙන අතර සුන්දර උද්‍යානයක්ද නිර්මාණය වී ඇත.
මෙම ව්‍යාපෘතියට සමගාමීව කෝට්ටේ රාජධානියේ ඉතිරි වූ පුරාවිද්‍යාත්මක ස්ථාන නැරඹීමේ මංපෙත් (Architectural Trails) ඉදිකර තිබෙන අතර, උද්‍යාන සම්බන්ධක මංතීරු (Park Connections) මගින් මෙම උද්‍යානය, අවට තිබෙන සෙසු උයන් හා සම්බන්ධවනු ඇත. එමගින් දේශීය හා විදේශීය සංචාරක කර්මාන්තයට නව ප්‍රවනතාවක් ඇතිකරමින් පරිසර හිතකාමී සංචාරක ව්‍යාපෘතියක් (Eco tourism) ආරම්භ කිරීමට අපේක්ෂිතය. මෙම තෙත්බිම් නිරීක්ෂණ මධ්‍යස්ථානය විවිධ ඉසව් 12කට බෙදා වෙන්කොට තිබේ. ඒවා අතරට, එළිමහන් පන්ති පැවැත්විය හැකි පෙදෙසක් (Park School), වැරට්ච්චන් (Pipits) දැකගත හැකි පෙදෙසක් (Pipit^s ‘Lawn), මඩෙහි ඇවිදින පක්ෂීන් දැකගත හැකි පෙදෙසක් (Wader Watch), සැගවී පක්ෂීන් නිර්ක්ෂණය කළ හැකි ස්ථානයක් (Bird Hide), සමනලුන් ගහන පෙදෙසක් (Butterfly Walk), ගිමන් හල (Resting Hut), පක්ෂීන් නිරීක්ෂණ කුලුනක් (Bird Watching Tower), තාරා පොකුණක් (Duck Pond), දියවන්නා ඉවුර අසබඩ සක්මන් මාර්ගය (Diyawanna Walk), හඳුන් දිවියා ගැවසෙන අඩවියක් (Fishing Car Hide), වන සැරි මාවත (Forest Trail), පාවෙන වේදිකාව (Floating Deck) අයත් වේ.
උද්‍යානය තුළ සිදුකොට තිබෙන සමීක්ෂණ වාර්තාවලට අනුව මෙතුළ කුරුලු විශේෂ 80ක්, ශාඛ වර්ග 100ක්, මත්ස්‍ය විශේෂ 20ක්, ක්ෂරපායි විශේෂ 10ක් හා උරග විශේෂ 5ක් වෙසෙන බව හා පවතින බව සොයාගෙන තිබේ. මෙම උද්‍යානයේදී සංචාරකයන්ට දැකගැනීමට හැකි කුරුලු වර්ග පිළිබඳව උද්‍යානයේ කුරුල්ලන් නැරඹිය හැකි ස්ථානවල ඇති සටහන් පුවරුවල දක්වා තිබේ. එහෙත් කුරුල්ලන් නැරඹීමේදී සැලකිලිමත් වියයුතු කරුණු රැසක් ඇත. මින් සමහර කුරුලු වර්ග සංචාරක කුරුල්ලන් වන අතර, එම පක්ෂීන් සැප්තැම්බර් සිට අප්‍රේල් දක්වා කාලසීමාව තුළදී පමණක් නැරඹීමට අවකාශය ලැබේ. එමෙන්ම කුරුල්ලන් නැරඹීම සඳහා වඩාත්ම යෝග්‍ය වන්නේ උදෑසන 6.00 සිට 9.00 දක්වා කාල සීමාවය.
මෙම ඉසව්ව තුළ වෙළඳ දැන්වීම්, මංගල ඡයාරූප ගත කිරීම් සඳහාද වඩාත් යෝග්‍ය වන අතර, ඒ සඳහා එම කාර්යයන්ට අදාළ මුදල් ගෙවා මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයෙන් අවසරයක් සහ වේලාව වෙන්කර ගත යුතුය. ලොකු කුඩා කාහටත් එකසේ විනෝද වීමට දැනුම ලබාගැනීමට හැකියාව ලැබෙන මේ තෝතැන්න තුළට මත්පැන්, සුරතල් සතුන් ගෙනයාමට අවසර හිමි නොවේ. එමෙන්ම ඒ තුළ වාසය කරන සතුන්ට ආහාර ලබාදීම, ශාකවලට හානි සිදු කිරීම ආදියෙන්ද වැළකිය යුතුය.
විශේෂයෙන්ම එහි යන සංචාරකයන් පොලිතීන්, ප්ලාස්ටික් එම තැන තැන නොදමා පරිසරය සුරකීමට දායකත්වය ලබාදෙන්නේ නම් මෙය අනාගත පරපුර සඳහාද මෙලෙසම දායක කිරීමට හැකියාව ලැබේ.
සටහන සහ ඡායාරූප-මංජු ප්‍රදීප් කුමාර