කන්නෙලියේ වන අරණේ සිරි සිරියේ කූඩැල්ලෝ
ඒ වගේ සුන්දර වැසි වනාන්තරයක චාරිකාවකට අපි පහුගියදා එකතු වුණා. සිංහරාජයට බොහොම කිට්ටුවෙන් ඒ වගේම ගාල්ල නගරයටත් සමීපයෙන් පිහිටලා තියෙන මේ වනාන්තරයේ නම තමයි කන්නෙලිය.
උදේ අටට විතර කොළඹින් පිටත්වුණු අපි දවල් දොළහ විතර වෙනකොට කන්නෙලියට ළඟා වුණා. හයිවේ එක වෙනුවට ගාලුපාර දිගේ ගිය ගමන ටිකක් ප්‍රමාදයට හේතු වුණත් ඒ ගමන ගොඩක් සුන්දරයි. අවට පරිසරයේ සුන්දරත්වයත් විඳිමින් පුංචි පුංචි ගෙවල් අතරින් වැටුණු පාරක් දිගේ තමයි අපි කන්නෙලිය රක්ෂිතයේ ප්‍රධාන දොරටුව පාමුලට ළඟාවුණේ.
එදා සෙනසුරාදා දවසක්. ඒ හින්දා කන්නෙලියට ඇතුළු වෙන තැන කිලෝමීටර බාගයක් තරම් දුරට වාහන පෝලිමට නවත්තලා. සිය ගණනක් තවත් මිනිස්සු කන්නෙලියට බැහැලා කියන එකට හොඳ සංඥාවක්.
කන්නෙලියේ කූඩැල්ලෝ ගැන අහලා තිබුණු නිසා අපි මුලින්ම කළේ කකුල්වල පැඟිරි තෙල් ස්ප්‍රේ එකක් ගා ගන්න එකයි. ඊට පස්සෙ එතැන තියෙන වනජීවි කාර්යාලයෙන් ලබාදීපු මාර්ගෝපදේශක මහත්මයාත් එක්ක අපි කන්නෙලියේ සවාරිය පටන් ගත්තා.
ඇතුළු වෙලා මඳදුරක් යද්දි වම් පැත්තෙන් පෙනුණෙ කන්නෙලියේ පිහිටුවලා තියෙන වනජීවී නිවස්නයයි. බොහොම සුළු මුදලකට මේ නිවස්නය කුලියට ගෙන රාත්‍රිය ගෙවිය හැකි වුණත් එය වෙන් කරවා ගැනීමට නම් පොඩි තරගයක් දෙන්න සිද්ධ වෙනවා. එතැන පහුකරනවාත් සමගම අපි ටිකෙන් ටික වනාන්තරයට ඇතුළු වුණා.
නිරන්තරයෙන් මිනිස්සු යන එන නිසා හොඳට පාරක් දකින්න ලැබුණත් නියම වනාන්තරයක ස්වභාවය දැනුණෙ හාත්පසම වෙළාගෙන තිබුණු අඳුර නිසයි. හැබැයි ඒක සාමාන්‍ය අඳුරකට වඩා වැහි කෝඩයක් බව දැනුණෙ ගමන පටන් අරන් මිනිත්තු විස්සක් විතර යද්දියි. නා කපන වැස්සකට අපි මැදිවුණා. අන්තිමේදී ඝන කළුවරත්, සීතලත් මැද්දෙ තමයි කන්නෙලියේ ඇවිදින්න වුණේ. ඒ මදිවට අඩියක් අඩියක් පාසා කූඩැල්ලෝ. නියම වැසි වනාන්තරයක් කියන්නෙ මොකක්ද කියන දේ කන්නෙලිය අපිට තේරැම් කරලා දුන්නෙ අන්න එහෙමයි. හැබැයි ඒ සේරම ලස්සන පදමකට මිශ්‍රවෙලා කිසිදා අමතක නොවෙන සුන්දර අත්දැකීමක් අපිට තෑගි කළා.
කන්නෙලියේ ඇවිදින්න යාමේදී මාර්ගෝපදේශකයෙක් හිමිවෙනවා. සාමාන්‍ය ගමන් මාර්ගය කෙළවර වෙන්නෙ අනගිමල දියඇල්ල අසලින්. ඊට අමතරව නාරංගස් ඇල්ල සහ කබ්බලේ කන්ද දක්වා මාර්ගවලත් ගමන් කළ හැකියි.
මේ සාමාන්‍ය මාර්ගයෙන් ඔබ්බට ගමන් කළොත් ගොඩක් වනසතුන් දැකගන්න වගේම යෝධ පුස්වැලක් දකින්නත් පුළුවන් වෙනවා. තව ගල්ගුහා අතර සැරිසරන්නත් කුරැල්ලන් වර්ග රාශියක් නරඹන්නත් හැකියාව තිබෙනවා. කුරැල්ලන්ට අමතරව අපේ රටටම ආවේණික වුණු ක්ෂීරපායීන්, මත්ස්‍ය වර්ග, උභය ජීවින් වගේ විවිධ සත්තුත් බලන්න පුළුවන්. ඒ අතර දිවියා, ගෝනා, දඬුලේනා සහ දම් මුහුණැති වඳුරා බහුලව දැකිය හැකි සතුන් ලෙස සැලකෙනවා. කොහොම නමුත් අපට නම් දකින්න ලැබුණේ දඬුලේනන් සහ වඳුරන් පමණයි.
කන්නෙලියේ චාරිකාවකදී දොළ පහරක ස්නානය නොකළොත් වැඩක් නැහැ. අත්හැර ආපසු එන්න නොහිතෙන තරමට ඒ ජල ධාරාවන් පිරිසිදුයි. (කොහොම වුණත් අනුමත ස්ථානවලින් විතරක් ස්නානය කරන්නත් වගබලා ගන්න ඕනෙ. මොකද දියඇලි කිහිපයක්ම තියෙන නිසා කොයි මොහොතේ දිය පාරේ වේගය දෙගුණ තෙගුණ වෙයිද කියන්න බෑ)
කන්නෙලිය කියන්නෙ අඩු පැය ගණනක් තුළ උපරිම විනෝදයක් ලබන්න පුළුවන් තැනක්. හෙම්බත් වන තරමේ විඩාවක් නොදැනුණත් කකුල් දෙකේ මහන්සිය සීතල වතුර පාරෙන් සෝදලා යවන්න පුළුවන්. ආපහු ගිහින් පොල් අතු හෙවිල්ලපු පුංචි කඩමණ්ඩියට වෙලා කෙහෙල් කොලේ රතු හාලේ බත් කටක් කෑවට පස්සෙ ඇඟට දැනෙන සනීපේ කියලා නිම කරන්න බෑ. ඇයි තව කිතුල් හකුරක් එක්ක තේ කහට කෝප්පයක් බොන්නත් අමතක කරන්න හොඳ නැහැ.