පොළොන්නරු රාජධානියේ නටඹුන් - 04
පොළොන්නරු යුගය ලංකාවේ සමාජීය, ආර්ථික පැතිවලින් මෙන්ම සංස්කෘතික අතින්ද කෙතරම් දියුණුව තිබුණා දැයි පොළොන්නරු නටඹුන් නගරය නැරඹීමේදී තේරුම් යන කරුණකි. පසුගිය ලිපි පෙළින් පොළොන්නරුව පිළිබඳව බොහෝ දේ අප ඔබට පැවසුවා. මේ ලිපියෙන් කතා කරන්නේ පොළොන්නරු යුගයේ නිර්මාණය වුණු තවත් ශ්‍රේෂ්ඨ නිර්මාණයක් වන ගල් විහාරය පිළිබඳවයි. ගල් විහාරය පොළොන්නරු යුගයේ බිහි වූ විශිෂ්ටම රාජ්‍ය පාලකයා වූ මහා පරාක්‍රමබාහු රජුගේ පාලන කාලය තුළ ඉදි කළ බවට පැවසෙනවා. ගල් විහාරය හෙවත් උත්තරරාමය තුළ පිහිටි බුද්ධ ප්‍රතිමා හතරෙහිම ඕනෑමකින් බැලූවිට එකල සිටි නිර්මාණ ශිල්පීන්ගේ පරාසය කෙතෙක්දැයි සිතා ගැනීමට පුළුවන්.
ගල් විහාරයේ හිඳි පිලිමය
ප්‍රධාන හිඳි පිළිමය අඩි 15 අඟල් 2ක් පමණ උසය.මින් දැක් වෙන්නේ ධ්‍යාන මුද්‍රාවයි. වීරාසන ක්‍රමයට අනූව වැඩ සිටින මෙම පිළිමය අඩි 6ක් පමණ උස්වූ, වජ්‍රාසනයක් මත වැඩ සිටී. මේ වජ්‍රාසනය විවිධ සතුන්ගේ රූප කොටා අලංකෘත කර ඇත. මෙම හිඳි පිළිමයේ හිසකේ අක්බමරු මෙන් දක්වා ඇති අතර,කුඩා වූ දෙනෙත් අඩවන් කර ඇත. ධ්‍යානයට සමවැදී සිටින ආකාරයක් දක්වා ඇත. පිළිමයේ සිවුර ඒකාංශ කර ඇත. රේඛා යුගල බැගින් සිවුරේ රැළි දක්වා ඇති අතර,දෑත නිර්මාණය කර ඇත්තේ වම් අත්ල මත දකුණු අත්ල පිහිටන ආකාරයටය. මෙම ප්‍රධාන පිළිමය පිළිමය පිළිබඳ සලකන විට ඒ පිටුපස ඇති තොරණ අතිශයින් වැදගත්ය. ඉතා අලංකාර ලෙස කැටයම් කර ඇති මෙම තොරණ මෙරට ඇති කලාත්මක තොරණ අතරින් ප්‍රමුඛතාවයක් ගන්නා එකකි. පිළිමයේ රැස් වළල්ලට එපිටින් ආරුක්කු ස්වභාවයෙන් මෙය නිමවා ඇති අතර, පහල කොටස මකර හිස් කැටයමින් යුක්ත වේ. ඉහළ කොටස අර්ධ කවාකාර වන අතර එහි වෘර්තාකාර ලෙස මල් දක්වා ඇත. තවද මෙම කවාකාර වටයට දෙපැත්තෙන් කුඩා බුදු පිළිම සහිත කුටි දක්වා ඇත. මෙම ලාංජනය ජපානයේ ප්‍රතිමා වලද දක්වා ඇත. බලයෙන් වැඩි මහේශාක්‍ය බුදුවරු තවත් බුදු වරුන් පිරිවරා වැඩ සිටිති. එම ආකාරයට නිර්මාණය වූ ගල් විහාර හිඳි පිළිමය පොලොන්නරු යුගයේ මහායාන බලපෑම් ඇතිව තිබූ කාලයේ දී නිමවා ඇතැයි සිතිය හැක.
පිහිටි කළුගල් පර්වතයක නෙළා ඇති ගල් විහාර පිළිම අතර, මෙම පිළිමයට සුවිශේෂී තත්වයක් හිමිවන අතර, තන්තිරිමලේ රජමහා විහාරයේද මේ හැඩයේම මේ ආකාරයටම නිර්මාණය කර ඇති හිඳි පිළිමයක් ඇත. ගල් විහාර ශිල්පියාම එය කලාදැයි සිතෙන තරමට එම පිළිමය ගල් විහාරයේ හිඳි පිළිමයට සමානය. ඒ කෙසේ වුවත් ගල් විහාරයේ හිඳි පිළිමය ලක්දිව ප්‍රතිමා ඉතිහාසයේ වැදගත් ස්ථානයක් හිමි කරගන්නා අතරම ප්‍රතිමා ශිල්පියා සතුව තිබූ නිර්මාණශීලී කුසලතාව පිළිඹිබු කරයි.
හිටි පිළිමය
මෙය ත්‍රිභංග ඉරියව්වකින් යුත් අඩි 22 යි අඟල් 9 ක් උසැති හිටි පිළිමයකි. විශ්මයකට මෙන් ගල් විහාරය පිළිබඳව චූලවංශයෙහි අන්තර්ගත විස්‌තරවල මෙම ප්‍රතිමාව ගැන වචනයකුදු සඳහන් කර නැත. ප්‍රදේශයේ ප්‍රචලිතව තිබෙන ඇතැම් ජනකතාවල සඳහන් වන ආකාරයට මෙය ආනන්ද හිමියන්ගේ ප්‍රතිමාවකි. මෙම හිටි පිළිමය බුදුරදුන්ගේ හෝ ආනන්ද හිමියන්ගේ බවට මතයන් තිබේ. ඇතැමුන් පවසන්නේ මෙම පිළිමය පසුකාලීන යුගයකදී නිර්මාණය කර ඇති බවයි.
සැතපෙන බුද්ධ ප්‍රතිමාව
චතුර්බුද්ධ ප්‍රතිමාවන්ගෙන් සැතපෙන බුදු පිළිමය පිළිබඳ විමසීමේදී පුරාණයේ 'නිපන්න පට්‌මා' යන නමින් හඳුන්වා ඇති මෙය වෙනම පිළිම ගෙයක් තුළ ස්‌ථාපනය කර තිබූ බව පෙනේ. මෙහි ශීර්ෂයේ සිට ශ්‍රී පතුල තෙක් අඩි 46 ක් (මීටර් 14 ක්) පමණ දිගය.
මෙම ප්‍රතිමාවේ අනෙකුත් කලාංගයන් පිළිබඳව විමසන විට වම් බාහුව සහ වම් පාදය ස්‌ථුල ලෙස නිරූපණය කර ඇති අතර දකුණු බාහුව සහ දකුණු පාදය කුඩාවට නෙළා ඇත. ශ්‍රී පතුල්වල පද්ම සංකේතය කැටයම් කර ඇත. එමෙන්ම බුදුරදුන්ගේ හිසේ බරට කොට්‌ටය එබී ඇති ආකාරයට නිර්මිතය. ඉහත කී සිලින්ඩරාකාර කොට්‌ටය කෙතරම් තාත්වික ද කිවහොත් එය තම දැසට පුළුන්වලින් පිරවූවක් සේ දිස් වේ. සිවුරේ රැළි ඉහළ සිට පහළට වන්නට සයනයට තෙරපී ගිය ලක්‍ෂණ පෙන්නුම් කෙරේ. මේ නිසා පිළිමයේ වැතිර සිටින ඉරියව්ව ඉතා මැනවින් තාත්වික ලෙස ඉදිරිපත් කිරීමෙහි ලා පොලොන්නරු මූර්ති ශිල්පියා සාර්ථක වී ඇති බව පැවසීම සාධාරණය.
පොලොන්නරු යුගයේ ප්‍රතිමා අතර විශාලතම ප්‍රතිමාව වන මෙය මුහුණින් ඉතා උසස් භාව ප්‍රකාශනයක් දිස් වේ. ප්‍රතිමාව පිළිබඳ පලවී ඇති මත අතර පරිණිර්වාණ මංචකය බවද, සමවත් සුවයෙන් වැඩසිටින බවටද මත පළවී ඇත. ශෛලීය ලක්ෂණ අතින් විශාල හිඳි පිළිමයට සමාන වේ. එහි ඇති වටකුරු මුහුණ,සමාන්තර රේඛා යෙදූ සිවුරු සැරසිළි මෙහිදී ද දක්නට ලැබේ.
පොළොන්නරු ගල් විහාරය හෙවත් උත්තරරාමයෙහි ප්‍රධාන පිළිම හතරකි. ඉන් එක් පිළිමයක් මේ වනවිට ආරක්ෂිත වැටකින් වටකොට ඇත.
කැළුම් දේවින්ද / ඡායාරූප - සුපුන් උදයංග