මානසික නිදහසක් වෙනුවෙන්...
ඒකාකාරී ජීවිතවලින් ඔබ්බට ගොස් ගතට වගේම මනසට තරමක හෝ මානසික නිදහසක් ලබාදීමට හැකිනම්, එය කෙතරම් අනර්ගද? නමුත්, වර්තමාන සමාජය නිදහස භුක්තිවිඳිනුයේ නිවස තුළ හෝ කාමරය තුළට වී ගීතයක් අසමින් හෝ රූපවාහිනයේ විකාශය වන චිත්‍රපටයක් නැරඹීමෙනි. නමුත් සැබෑ ලෙසම මානසික සුවයක් ලබාගත හැක්කේ කොන්ක්‍රීට් කාමර තුළට වී ගත කරන ජීවිතවලින් මදකට හෝ වෙන්වී ස්වභාධර්මය සමග ජීවිත්වීමෙනි. මනසට යම් නිදහසක් ලබාගැනීම සඳහා හෝ හුදෙක් විනෝදවීම සඳහා සංචාරයක නිරතවන පිරිස් බොහෝ විට උත්සාහ ගන්නේ ජීවත්වන වටපිටාවෙන් ඔබ්බට ගොස් කුමන හෝ ප්‍ර‘දේශයකට වී සූරමීවිතෙන් මත්වී මානසික සුවයක් ලබාගැනීමටය. නමුත් එවැනි සංචාරයකදී අපට භුක්ති විඳීමට හැකිවන්නේ පැය කිහිපයක තාවකාලික සතුටක් පමණි. එම තාවකාලික සතුට ලබාගැනීම සඳහා අධික වියදමක්ද දැරීමට සිදුවේ. නමුත් ඉතා අඩු මුදලක් වැයකොට පවුලේ සැමට එක ලෙස විනෝදවිය හැකි, දැනුමක් ලබාගත හැකි, කාලාන්තරයක් යනතුරු මනසේ සතුට රැඳී පවතින සංචාරයකට සුදුසු සොඳුරු ඉසව් ඕනෑතරම් අපගේ මාතෘභූමිය තුළ ස්වභාවිකව හෝ කෘත්‍රිමව නිර්මාණය වී තිබේ. "තරුණයා" සංචාරක කණ්ඩායම සෑම විටම උත්සාහ ගන්නේ එවන් ස්ථාන පිළිබඳව මංසලකුනු පාඨක ඔබ වෙත ගෙන ඒමටය.
ජර්මන් ජාතික ජෝන් හර්ගන් බෑන් මහතා විසින් යුරෝපා රටවල් වෙත සතුන් අපනයනය කිරීම සඳහා දෙහිවල ප්‍ර‘දේශයේ අක්කර 11 පමණ භූමි භාගයක පවත්වාගෙන ගිය සත්ත්ව එකතුව 1936 වර්ෂයේ දී රජයට පවරාගෙන ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව ආරම්භ කරන ලදී. 1948 වසරේ දී රජය විසින් තවත් අක්කර 10ක් පවරා ගැනීමෙන් අනතුරුව අක්කර 21 දක්වා ජාතික සත්වෝද්‍යානය වර්ධන විය.
දෙහිවල සත්වෝද්‍යානය සංචාරකයන්ගේ මනදොළ සපුරමින් ආකර්ෂණීය ස්ථානයක් ලෙස විවිධ සත්ව විශේෂවල සංරක්ෂණ මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්මක වූ නමුත්, කුඩා භූමි ප්‍ර‘දේශයක විශාල සත්ත්ව ගහනයක් වාසය කිරීම නිසාවෙන් සතුන්ට වෙන්වන ඉඩ සීමිත විය. මෙයට පිළියමක් ලෙස සත්ත්ව සුබ සාධනයට වැඩි ඉඩක් සපයමින් නවීන සංකල්පයක් මත කෑගල්ල දිස්ත්‍රික්කයේ පින්නවල අලි අනාථාගාරයට ආසන්න සුන්දරව ගලා බසින මා ඔය නදිය අසබඩ පින්නවල සත්වෝද්‍යානය ආරම්භ කෙරුණි. 2015 වසරේ අප්‍රේල් 17 වන දින විවෘත කෙරුණු මෙම සොඳුරු තෝතැන්න මෙරට ප්‍රථම එළිමහන් සත්වෝද්‍යානය සහ දෙහිවල ජාතික සත්වෝද්‍යානයට පසුව ඉදිකළ දෙවන සත්වෝද්‍යාදනය ලෙසද සැලකේ.
තවමත් ඉදිවෙමින් පවතින මෙම සත්වෝද්‍යානය තුළදී මේ වනවිට සුදු හංසයන්, රාජලියන්, කළු හංසයන්, තිත් මුවන්, පෝනියන්, ඉත්තෑවන්, මොනරුන්, මී මින්නන්, වලසුන්, බූරුවන්, කිඹුලන්, ගිණි කුකුළන්, ගෝනුන්, ඕලු මුවන්, තාරකා ඉබ්බන්, හාවන්, තාරාවන්, ගෝන මුවන්, අළු පැස්තුඩුවන්, දිවියන්, ගල් ඉබ්බන් සංචාරක ඔබට දැකබලා ගැනීමට හැකිය.
දෙහිවල සත්වෝද්‍යානයේදී මෙන් මෙහිදී සතුන් නැරඹීම එතරම් පහසු නොවේ. මන්ද මොවුන්ට වාසය කිරීම සඳහා විශාල ඉඩකඩක් වෙන්කර තිබෙන හෙයින් දිවියන්, වලසුන්, කිඹුලන් නැරඹීමට වඩාත් ඉවසිලිවන්තව සහ තරමක් වේලාව ගත යුතුය. අප එහි යනවිට එම භූමියට අධික වර්ෂාවක් පැවතිය හෙයින් බොහෝමයක් සතුන් ඔවුන්ගේ නිවෙස් තුළට වී ගොරව ගොරවා නිදා සිටි හෙයින් ඔවුන්ගේ සුපැහැදිලි ඡායාරූප ලබාගැනීමට පවා නොහැකි තත්ත්වයක් උදාවිය. විශාල කාලවේලාවක් එම භූමිය තුළ ඔබමොබ ඇවිද ගියත් අපට එම කර්තව්‍යය කර ගැනීම සඳහා මහත්වූ පරිශ්‍රමයක් දැරීමට සිදුවිය.
මෙහි පළමු අදියරේ ඉදිකිරීම් යටතේ සංචාරකයන්ට දැකබලා ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ වෙසෙන දිවියන් කිඹුලන්, මුවන්, වලසුන් සඳහා වෙන වෙනම සත්ත්ව අරනවල් තනා තිබේ.
මෙහි ප්‍රධානම මධ්‍යස්ථානය වන්නේ අක්කර දෙකක වපසරියකින් සමන්විත වූ දිවි අරණයි. ශ්‍රී ලංකාව බහුල වශයෙන් අර්ධ ඝන වනාන්තරවලින් සමන්විත වන හෙයින්, යාල හා විල්පත්තු වනාන්තරවලදී දිවියන් බහුලව දැකිය හැකිය.
මෙරටට ආවේණික වූ දිවියා උපවිශේෂයකි. මොවුන් IOCN ආයතනය මගින් තර්ජනයට ලක්ව ඇති ජීවින් විශේෂයක් ලෙස හඳුනාගෙන තිබෙන අතර, මේ ගැටුමට අමතරව දිවියන්ගේ සම සහ දත් විවිධ වාණිජ අරමුණු හා මිත්‍යා විශ්වාසයන්ට නතුවෙමින් දඩයම් කරුවන්ගේ ගොදුරුවීමත් වනගහනය අඩුවීමත් යන කරුණු මත තීරණය වී ඇත. ශ්‍රී ලංකාවේ වෙසෙන දිවියා ප්‍රබල විලෝපිතයෙක් වේ. බළලුන් සේ දිවියාද ඔවුන්ගේ ආහාරය සඳහා කුඩා ක්ෂිරපායී, කුරුල්ලන්, උරගයන් මෙන්ම ගෝනුන් හා මුවන් වැනි විශාල සතුන්ද දඩයම් කරති.
මෙහි දිවියන් 6 දෙනෙකු වාසය කරන අතර, ඉන් 04 දෙනෙකු පිරිමි සතුන්ය. "රාජු", "වීරා", "ලොකු" සහ "පණ්ඩු" එම අරණ තුළ පුරුෂාධිපත්‍ය පවත්වාගෙන යති. "දිවි අරණ" රාජධානියක් කොටගෙන ඇත්තේ "කැලෑකෙල්ල" හා "නාමලී" යන දිවි ධේනුවෝය.
පින්නවල සත්වෝද්‍යානයේ එයටම සුවිශේෂී සංකල්පයකට අනුව %මුව අරණ^ සකස් කර ඇත. එක අරණක් තුළ ලංකාවෙ වෙසෙන සියලුම මුව වර්ගයන්ගෙන් සැඳුම්ලත් එකතුවක් දැකගැනීමේ දුර්ලභ අවස්ථාව සංචාරකයන් වෙත උදාවී ඇත. තිත් මුවා, ගෝන මුවා, ඕලු මුවා, ගෝනා සහ මී මින්නාගෙන් සැදුම්ලත් මුව අරන ස්වභාවිකත්වය අනුකරණය කරමින් නිමවා ඇත්තේ සංචාරකයන්ට අමතක නොවන අත්දැකීමක් එක්කර දෙමිනි. එවැනි ආකාරයටම අලුතින් විවෘත කෙරුණු වලස්අරණ තුළ පිරිමි සතෙකු නිදහසේ සැරිසරමින් සිටින අතර, කිඹුල් අරණ තුළ කිඹුලන් පස් දෙනෙක් වාසය කරති. කිඹුල් අරණේ ඉහළ මහලයේ කිඹුලන් පිළිබඳ සැකසුණු කුඩා කෞතුකාගාරයක් පිහිටා තිබේ. ඒ තුළින් කිඹුලන් පිළිබඳව ඉහළ දැනුමක් ලබා ගැනීමට හැකිවෙයි.
පවුලේ සැමටම විනෝදය, දැනුම මේ තුළදී ලබාගැනීමට හැකියාව ලැබෙනවා සේම, පෙම්වතුන්ට දෙඅත් පටලවාගෙන, පෙම්බස් දොඩමින් නිදහසේ කාලය ගෙවීමටද මෙය කදිම ඉසව්වකි. වනගත චාරිකාවක දී ලබාගන්නා අත්දැකීම යම්තාක් දුරට සන්තාපනය කරගැනීමටද මෙම භූමිය තුළදී එකී සංචාරය කරන අයට අවකාශය ලැබේ. ඔබ මෙහි යන්නේ නම් සත්ත්ව උද්‍යානය ඉදිරියේ පිහිටා තිබෙන පින්නවල ඉපැරණිගම සහ පින්නවල අලි අනාථාගාරය නැරඹීමටද ඔබට අවකාශය ලැබේ. එහිදී අතීත උරුමය පිළිබඳ සුවිශාල දැනුමක් ඔබට ලබාගැනීමට හැකියාව ලැබේ. සබරගමුව පළාත් සභාව මගින් පාලනය වන මෙම ගම්මානයද උදෑසන 8.30 සිට සවස 5.30 දක්වා විවෘතව පවතී. මේ තුළ සැරසැරීම සඳහා දේශීය වැඩිහිටි සංචාරකයෙකුගෙන් රුපියල් 50ක මුදලකුත්, ළමා සංචාරකයෙකුගෙන් රුපියල් 20ක මුදලකුත් අයකෙරේ.
ඊට අමතරව සද්ධන්තයන් සැරිසරන මනරම් පින්නවල අලි අනාතාගාරය නැරඹීමටද හැකියාව තිබේ. අලි බැලීම සඳහා දේශීය වැඩිහිටි සංචාරකයෙකුගෙන් රුපියල් 100ක මුදලකුත්, දේශීය ළමා සංචාරකයෙකුගෙන් රුපියල් 30ක මුදලකුත් අය කෙරේ. එකම සංචාරයකින් ස්ථාන 03ක් වෙත පහසුවෙන් ඔබට යා හැකි බැවින් එළැඹෙන පාසල් නිවාඩු කාලයේ දී ඔබත් පවුලේ උදවිය සමග ගොස් මනසට උපරිම නිදහසක් ලබාගන්න.
සටහන - මංජු ප්‍රදීප් කුමාර