උස්සන්ගොඩ රතු පස් උඩ
මුහුදේ ගීතය වෙනස් නොවේ
රැල්ල වෙරළට ආදරයෙන් නිරන්තරයෙන්ම වෙරළ සොයා එයි. මහ හඬින් ප‍්‍රීති ඝෝෂා නගයි.
වෙරළ බදාගෙන සිපගෙන යළිත් ආපසු යයි. හීන් හඬින් ඉකිබිඳියි.
එහෙත් කිසි දවසක රැුල්ලට වෙරළේ නවතින්නට ඉඩක් ලැබෙන්නේ නැත.
රැුල්ලත් වෙරළත් අවාසනාවන්ත පෙම්වතුන් වන්නේ එබැවිනි.
මේ සදාතනික පේ‍්‍රමය නිරන්තරයෙන්ම වැළපෙද්දී කොල්ලෙකුත් කෙල්ලකුත් අත්වැල් පටලාගෙන වෙරළ දිගේ ඇවිද යන හැටි බලා සිටිමි. ඔවුන් කොතැනක හෝ ගල් කුලක් යට නතරවී රැුල්ල වෙරළ බදා ගන්නා ලෙසින් එකිනෙකා වැළඳගනු ඇත. සිපගනු ඇත.
මේ සියල්ල මෙලෙස සිදුවෙද්දී උස්සන්ගොඩ රත්පැහැ පස්ගොඩැල්ල නිසසලව පවතී.
තරමක් දුරින් සිට බලන විට රතුපාටට පෙනෙන මේ පස්ගොඩැල්ල, නොඑසේනම් පිට්ටනිය, මනරම් දසුනකි.
වර්ෂ දහස් ගණනාවකට පෙර අතීතයේ දවසකදී පෘථිවියට කඩා වැටුණු උල්කාපාතයක් බව කියන මේ පස්ගොඩැල්ල සහ වෙරළේ පසෙක ඇති තද කළු පාට ගල් ශිකරය අපේ පොළොවේ අනික් තැන්වල දැකිය හැකි පාෂාණවලට වඩා වෙනස් පාෂාණවලින් යුක්තය. මේනිසා මේ රතුපාට පස් ගොඩ උල්කාපාතයක් බව විද්‍යාඥයෝ විශ්වාස කරති.
අපට කරන්නට තිබෙන්නේ ඒ විද්වත් මතය එලෙසින්ම පිළිගනිමින් උස්සන්ගොඩට ඉස්සෙන්නටය.
රතු ග‍්‍රහයා ලෙස සැලකෙන්නේ අඟහරුය. අඟහරුගේ පස් රතුපාට බැවින් එලෙස රතු පාටින් පෙනෙනවා යැයි කියති. එසේනම් මේ උස්සන්ගොඩත් අඟහරුගේ කොටසක්ද? අඟහරු ලොවේ සිටි ‘මිනිස්සු’ මේ උස්සන්ගොඩටත් එන්නට ඇද්ද?
විද්‍යා ප‍්‍රබන්ධ කතාවක් කියවද්දී හිතට දැනෙන කුතුහලයට හිතේ උපද්දා ගන්නට ලැබීම සතුටකි.
අපි ගමන් කළේ වෙරළ දෙසිනි. වැලිපටන්විල ධීවර වරාය පසුකර ගිය අපි උස්සන්ගොඩ කන්දට යන අඩිපාරට පිවිසුනෙමු. කේතකී ගාල් අතරින් වැටී තිබූ උස්සන්ගොඩ පස්ගොඩැල්ල හාත්පසට විහිද ගිය පිට්ටනියක් වැන්න. ඒ මත තණකොළ වැවී නොතිබිණි. තැන් තැන්වල දම්පාට සය පෙති මල් පිපෙන පැළෑටි විශේෂයක් පමණක් විය. හැබැයි මේ මලේ ප‍්‍රමාණය ගැන ද යමක් කිව යුතුමය. එය අසන ඔබ පුදුමයට පත්වන්නේ ඒ මල අප දැක්කේ කෙසේදැයි කියාය. ඒ මල වර්ග සෙන්ටිමීටරයක් තරම්වත් ලොකු නැති නිසාය.
සූර්යකාන්ති, චන්ද්‍රකාන්ති සහ විෂ්ණුක්ක‍්‍රාන්ති යන නම් වලින් හැඳින්වෙන මල් වර්ග තුන පමණක් මේ රතුපාට පස්ගොඬේ හැදෙයි. වැඩෙයි මල් පුබදයි ඖෂධීය ගුණයෙන් හෙබි මේ පුංචිම පුංචි මල් අතරින් ඇවිද යන විට තැන තැන හැදුණු පතොක් ගස් යායක් පමණක් ඇස ගැටෙයි.
කළමැටිය අභය භූමියට යාබදව පිහිටි මේ උස්සන්ගොඩ අද ජාතික උද්‍යානයක් ලෙස නම්කර තිබේ. ඒ වෙනුවෙන් වෙන්කළ බිම හෙක්ටයාර් තුන්සිය හතළිස් නවයකි. 2010 සැප්තැම්බර් 30 වැනිදා වනජීවී දෙපාර්තමේන්තුව විසින් නම් කළ මේ ජාතික උද්‍යානය ජාතික උද්‍යාන ලැයිස්තුවේ විසිඑක්වැනි අංකය ලබාගෙන තිබේ.
මම කාන්ති වර්ගවලට අයත් මල් සොයමින් ඔහේ ඇවිද යමි.
අතීතයේ දවසක රාවණා රජු, සීතාව පැහැරගෙන ආ දඬුමොණරය පළමුවෙන්ම ගොඩබෑවේ මේ උස්සන්ගොඩ පිට්ටනියේ බවට විශ්වාසයක් පවතී. මම කෝකටත් දඬුමොණරය ගමන් කළ ධාවන පථය මෙහි ඇද්දැයි විපරම් කළෙමි. එහෙත් රාවණා යුගය පැවතියේ මෙයට වසර පන්දහසකටත් ඔබ්බෙන් බැවින් දඬුමොණරයේ ධාවන පථය තිබෙන්නට විදිහක් නැත. එබැවින් මම ධාවන පථය සොයන අදහස අත්හලෙමි.
හැබැයි රාවණා රජුගේ එක් මාළිගාවක් තිබුණේද මේ රතු පස් තට්ටුව මත බව ජනප‍්‍රවාදයේ කියැවේ. සීතාව රැගෙන ආ දඬු මොණරය මෙහි ගොඩබෑවේ අන්න ඒ රාවණා මාළිගාවට සීතාව රැුගෙන යනු පිණිසය.
එතකොට රාවණා බිසව මන්දෝදරිය වාසය කළේ මේ උස්සන්ගොඩ පිහිටි රාවණා රජ මාළිගාවේද? හිත කුහුළින් පිරෙයි.
එහෙත් ඒ ප‍්‍රශ්නයට විසඳුමක් මේ රතු පස්ගොඩැල්ලෙන් හමුවන්නේ නැත. එබැවින් මම නැවතත්, රළ බිඳෙන වෙරළ දෙස බලමි. ඊට ඔබ්බෙන් ඇති මුහුද දෙස බලමි.
අර කළුම කළු පාට ගල් ශිඛරය මුහුදු රැුල්ලට සේදෙමින් තිබේ.
රැුල්ල පැමිණ ඒ ගල් ශිඛරයෙන් දෙබෑවී වෙරළ කරා දිව එන හැටි අපූරුය. රළ ගෙඩි දෙබෑවන හැම විටෙකම උඩට නගින මුහුදු රැුල්ල මනස්කාන්තය. ගජබා රජු ඉන්දියාව ආක‍්‍රමණය කළ ගමනේදී සිය අසිපතින් ගසා මුහුද දෙබෑ කළ විට මොනතරම් ජලකඳක් අහසට නගින්නට ඇත්දැයි මට කල්පනා විය.
තවත් යුවළක් රතු පස් වේදිකාව හරහා ගමන් කරනු පෙනිණි. ඔවුන් ගියේ ගල්කුළු බහුල වෙරළ කරාය. එතැන පෙම්වතුන්ට පාරාදීසයක් වනු ඇතැයි නිකමට සිතිණි. ඒ පැත්ත බලනවිට තවත් මිනිස් හිස් ගණනාවක් දක්නට ලැබුණු බැවිනි.
අඩ හෝරාවක් පමණ ගතකළ අපි එන්නට හැරුණෙමු. එවර අපි වෙනත් තැනකින් පහළට බැස්සෙමු. වැටකෙයා ගස් බහුල එතැන වෙරළ වඩාත් සුන්දරය.
වෙරළට පා තැබූ විගස නෙත ගැටුණේ වෙරළ දිගේ දුවගෙන යන කකුළු හමුදාවකි. හැබැයි උන් අර වෙරළේ හමුවන කක්කුට්ටන් වැනි පුංචි කකුළු විශේෂයකි. වැල්ල මත තිබුණු උන්ගේ අඩි පාරවල් පවා ඒ මොහොතේ පෙනුනේ ලස්සනටය.
අපි එතැනින් නික්ම යළිත් ගමන ඇරඹුවෙමු.
රතුපාට කොඩියක් වෙරළේ දිස්වනු පෙනිණි.
එතැන මුහුද සැර බවත් එබැවින් මුහුදට නොබසින ලෙසත් ඒ රතු කොඩිය පැවසුවේය.
ඒ එක්කම වූයේ ගල් බැම්මකි. ඒ ගල් බැම්ම ධීවර වරායක් නිර්මාණය කර තිබිණි. එතැන නාන්නට ද සුදුසුය.
ඉතින් උස්සන්ගොඩ පෙනි පෙනී දියනාමු.
මොන තරම් සුන්දර අත්දැකීමක්ද?
ශාන්ත කුමාර විතාන.