උතුවන්කන්දේ වීරයා සොයා ගියෙමු
පාසල් නිවාඩු සමයේ දුවා දරුවන් සමග විනෝද චාරිකාවක නිරත වන්නේනම්, ඔවුන්ගේ විනෝදය වගේම පොතපතේ දැනුමට මෙන්ම, අපගේ අතීත උරුමයන් පිළිබඳවද යම් දැනුම්වත් වීමක් ලබාගත හැකි ස්ථානයක් වෙත යාම බෙහෙවින් වැදගත් වෙයි. එය දරුවන්ට නීරස නොවෙන ලෙස සංචාරය සඳහා එක් කරගන්නේ නම් වඩාත් අගනේය. මන්දයත්, අනාගතයේදී රට භාර ගැනීමට සිටින බහුතර තරුණ සමාජය, සමාජජාල වෙබ් අඩවිවලට වහල් වී සිටින නිසා අතීතය පිළිබඳ එතරම් තැකීමක් නොකරන හෙයිනි. එය එසේ වුවහොත් අපගේ අතීත උරුමයන් අපත් සමගම වැළලී යාමට ඉඩකඩ ඇති හෙයින් මෙවර "තරුණයා" සංචාරය සඳහා තෝරාගනු ලැබූවේ ලොකු කුඩා කාහටත් ගැළපෙන ඉසව්වකි. එනම්, අපගේ වීරවරකුගේ තතු ජීවමානව දැකබලා ගනිමින්, යම්කිසි වින්දනයක්ද ලබාගත හැකි ස්ථානයක් පිළිබඳවය.
උතුවන්කන්ද ගම්මානය කී විගස අපගේ මතකයට නැගෙන්නේ ඇතැමුන් වීරවරයෙකු ලෙසද, ඇතැමුන් අපරාධකරුවෙකු ලෙසද, හඳුන්වනු ලබන ශ්‍රී ලංකාවේ රොබින් හුඩ් නමින් විරුධාවලිය ලත් සූර සරදියෙල් නම් වූ පුද්ගලයා පිළිබඳවය. සරදියෙල් යනු මෙරට ඉතිහාසයේ තම නම සනිටුහන් කළ කෙනෙකි. අප අසා ඇති පරිදි ඔහු පරදේශක්කාරයන්ටත්, ඔවුන්ට ගැතිකම් කළ කළු සුද්දන්ටත් මතක සිටින පාඩම් කියා දුන් පුද්ගලයෙකි. තැලෙන, පොඩිවෙන, පෑගෙන ජනතාව වෙනුවෙන් හඬනැගූ මොහු වීරවරයෙකුද, නැතහොත් අපරාධකරුවෙකුද යන්න සොයා බැලීම සඳහා අප කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල ප්‍රා‘දේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි "උතුවන" නම් ගම්මානයේ, උතුවන්කන්ද ඉදිරිපිට අක්කර හයක පමණ භූමි භාගයක ඉදිකර තිබෙන සරදියෙල් ගම්මානය වෙත පැමිණියෙමු.
මහනුවර - කොළඹ මාර්ගයේදී හමුවන උතුවන්කන්ද මංසන්දියෙන් වමට හැරී, කිලෝමීටර්යක් පමණ ගමන් කරන විට සරදියෙල් වෙනුවෙන් තැනුණු මෙම ගම්මානය හමුවේ. 2012 වසරේ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කෙරුණු මෙම ගම්මානයේ නිර්මාතෘවරයා වන්නේ විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ.ගමගේ මහතාය. සරදියෙල්ගේ ජීවන ගමනේ වැදගත් සංධිස්ථාන මූර්ති ලෙස ජීවමාන ලෙසම තනා ඇත්තේ මිල්ටන් ජයපාල මහතාය. සරදියෙල්ගේ ජීවිත කතාව අළලා නිර්මාණය කොට තිබෙන මෙම ඉසව්ව පිළිබඳව හුදෙක් සංචාරක සටහනක් ගෙන එනවාට වඩා ඔහුගේ ජීවිත කතාවද මෙම සටහනට කැටි කිරීමට සිතුවේ අප අසා තිබෙන අතීතයට වඩා යමක් මේ තුළින් දැනගැනීමට ලැබුණු නිසාවෙන් සහ මොහු වීරවරයෙකුද? නැතහොත් අපරාධකරුවෙකුද යන්න පාඨක ඔබ විසින් තීරණය කළ යුතු හෙයිනි. මෙම ගම්මානය පිළිබඳවත් සරදියෙල්ගේ උපතේ සිට විපත දක්වාත් තතු පැවසීමට අපට එහිදී මාර්ගෝපදේශකයෙකුගේ සහාය ලැබුණි. නමින් .... නම් වූ ඔහු මෙසේ එවකට තිබුණු පාලනය පිළිබඳවත් සරදියෙල්ගේ කුඩා කාලය පිළිබඳව ආවර්ජනය කළේය.
ඉංග්‍රීසි පාලනය
අපි මේ පිවිසෙන්නේ 19 වන සියවසේ මුල් යුගයටයි. ඒ කියන්නේ ඉංග්‍රීසින් අපේ රට යටත් කරගෙන පාලනය කරන කාලය. ඒ වනවිට ඉංග්‍රීසි ආණ්ඩුව 1815 දී කැප්පෙටිපොළ නායකත්වය දුන් කැරැල්ල මර්දනය කරලා තිබුණේ. ඒ වගේම 1848 පුරන්අප්පුගේ කැරැල්ලත් මර්දනය කරලා තිබුනා. සුද්දාගේ ආණ්ඩුවේ නීතිරීති හා තහංචි හැම එකක්ම සාමාන්‍ය මිනිසුන්ගේ ජීවිතවලට ඒ කාලයේ බලපාලා තිබිලා තියෙනවා. රටේ මහත්තයා, කෝරළේ මහත්තයලා, පොලිස් විදානේ, ගම්මුලාදෑනිලා වැනි තානාන්තර ඒ කාලෙ තමයි තිබිලා තියෙනවා. මේ අයත් මිනිසුන්ව යටත් කරගෙන ඉඳලා තියෙන්නේ. මිනිසුන්ට දඬුවම් කිරීමේ අයිතියත් ඔවුන්ටත් ලබාදීලා තිබෙනවා. ඒ නිසා සුදු ජාතිකයන් මාර්ගයේ පැමිණෙන විට මිනිස්සුන් බියවී මාර්ගයෙන් ඉවත් වී ඔවුන්ට ඉඩ ලබාදී තිබෙනවි. ඒ වගේම ගම්මුලාදෑනින් වැනි තනාන්තර ලබාගෙන සිටි මොවුන් පැමිණෙන විටත් මිනිස්සුන් බියවී පැත්තකට වෙනවලු. ඒ අයගෙන් රටේ මහත්තයා ගමන් කරලා තිබෙන්නේ දෝලාවෙන්.
ඒ කාලයේ නඩුහබ විසඳලා තියෙන්නේ ආරච්චිරාළ විසින්. ඔහුට විසඳීමට අපහසු නඩු රටේ රාළ හෝ අදිකාරම් විසින් තමයි විසඳලා තියෙන්නේ. අදිකාරම් නඩු විසඳීමට ගමේ අම්බලමට පැමිණෙන බව එකල අඬබෙර කරුවෙකු විසින් ඔවු එහි පැමිණීමට පෙර මිනිසුන්ට දැනුම් දී තිබෙනවා. වරදකරුවන් වන අයට වරදේ ස්වභාවය අනුව එකල ලබාදී තිබෙන්නේ කසපහර.
සරිදියෙල්ගේ උපත
සරදියෙල් 1832 වර්ෂයේ මාර්තු 25 දින උපත ලැබීය. ඔහුගේ පියා හලාවත හාල්දඬුවන ග්‍රාමයේ පදිංචිකරුවෙකු වූ අදාසි අප්පුය. උතුවන්කන්ද මොලගොඩ ප්‍ර‘දේශයේ පදිංචිව සිටි පිචෝහාමි ඔහුගේ මවයි. අදාසි අප්පුගේ රැකියාව වූයේ කරත්ත බැඳීමත්, කරත්තයේ ගොස් දුම්කොළ සහ පුවක් වෙළෙඳාම් කිරීමත්ය. හලාවත සිට මහනුවර පුරවරයට ජංගම වෙළෙදාමේ යන අදාසි අප්පු ගිමන් හැරීම සඳහා තෝරාගෙන තිබුණේ පිචෝහාමි සේවය කළ කෝපි කඩයයි. එහිදී පිචෝහාමි සමග අතිකරගත් ප්‍රේම සම්බඳතාව මත ඔවුන් විවාහ වී තිබෙනවා. සරදියෙල්ගේ උපතෙන් පසු ඔවුන්ට තවත් දරුවන් 04 දෙනෙකු ඉපදී තිබෙනවා. ඔවුන් පේදුරු, ගාබිරියෙල්, මාර්තා හා අන්තෝනියි. එයින් එකම ගැහුනු දරුවා වූ මර්තා කුඩා කාලයේදීම මාන්දම් රෝගය සෑදී මියගොස් තිබෙනවා.
සරදියෙල් ලැබූ මූලික අධ්‍යාපනය
කතෝලිකයෙකු වූ අදාසි අප්පු තමන්ගේ බාලදරුවන් හතරදෙනා හලාවතට රැගෙන ගොස් පල්ලියේදී භෞතිස්ම කර තිබෙනවා. වැඩිමහල් දරුවා වූ සරදියෙල්ගේ මූලික අධ්‍යපනය සඳහා ඔහුව භාර දී ඇත්තේ බෙලිගම්මන පන්සලේ එවකට සිටි නායක හිමි නම වෙතයි. එහෙත් එකල දැන උගත් හිමිනමක් වාසය කළේ මාවනැල්ල ඉලුක්ගොඩ පිහිටි ශෛලමස්ථාරාමයෙ. ඒ නිසා බෙලිගම්මන පන්සලේ සිට ඉලුක්ගොඩ පන්සලට සරදියෙල් අධ්‍යාපන ලැබීම සඳහා පැමිණ තිබෙනවා.
ඉලුක්ගොඩ ගුණරතන හා පළමුගෙදර ගුණරතන යන හිමිවරු ඒ වනවිටත් විහාරස්ථානයේ පිරිවෙන් පවත්වාගෙන ගොස් තිබෙනවා. එමගින් අධ්‍යාපනය ලබා තිබෙන්නේ එවකට සිටි කෝරාළවරුන්, රටේ රාළ, ගම්මුලාදෑනීන් වැනි ප්‍රධානීන්ගේ දරුවන්. ධනපති පන්තියේ දරුවන් සමග සරදියෙල් එකට වාඩි වී වැල්ලේ අකුරු ලිවීම, ඔහු මඩුවේ පැදුරුවල වාඩි වී පොත් කියවීම රටේ රාළලාට මෙන්ම ගම්මුලාදෑනිට දරාගැනීමට නොහැකි වී තිබෙනවා. ඔවුන් ඒ සඳහා විරෝධය පා තිබෙනවා. ඉන් පසුව බොහෝ විට අනෙක් දරුවන්ගේ ආවතේව කටයුතු හා බැලමෙහෙවරකම් කරන්නටද සරදියෙල්ට සිදුව තිබෙනවා.
සටහන/ඡායාරූප - මංජු ප්‍රදීප් කුමාර/ සුපුන් සම්පත්