උඩුවක ඇල්ල



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-05-27-ent-134

කොළඹ ආශ්‍රිත නාගරික ප්‍රදේශවල ජීවත් වන්නෙකුට ස්වභාව සෞන්දර්යේ ආශ්වාදය විඳ ගනිමින් විවේකීව සිය කාලය ගත කිරීමට ඇති ස්ථාන විරල ය. කොළඹට නුදුරින් පිහිටි 'අත්තනගල්ල' ප්‍රදේශය ඓතිහාසික වටිනාකමකින් යුත් මෙන්ම ස්වභාව සෞන්දර්යයේ අසිරිය විඳ ගැනීමට හැකියාව පවතින විරල ස්ථාන වලින් එකක් ලෙස පෙන්වා දිය හැක. අත්තනගල්ලේ ඇති ස්වභාව සෞන්දර්යාත්මක ස්ථාන අතුරින් 'උඩුවක ඇල්ල'ට හිමි වන්නේ සුවීශේෂී ස්ථානයකි.2019-05-27-ent-137

උඩුවක ඇල්ල අඩි 50ක් පමණ උස සුන්දර ඇල්ලකි. මෙම ඇල්ල අත්තනගලු ඔයේ ආරම්භක කොටසක් ලෙස හඳුන්වයි. උඩුවක ඇල්ල ගලාගෙන විත් අල්ගම ඇල්ල ලෙස හඳුන්වන තවත් ඉතා කුඩා ඇල්ලක් හරහා ගමන් කරයි. අතීතයේ මහා වනාන්තරයක් තුල පැවති මෙම ඇල්ල ක්‍රමයෙන් ගම දියුණු වනවිට ජනයා තුල ප්‍රසිද්ධ වන්නට පටන්ගෙන ඇත. දැනට වසර දහයකට පමණ පෙර පටන් මෙම ඇල්ල ප්‍රසිද්ධ වී ඇත. උඩුවක ඇල්ල විශාල ගල්පර රැසක් ඔස්සේ ගලා යන ඇල්ලකි.

නිට්ටඹුව කිරිඳිවැල පාරේ අත්තනගල්ල හන්දියෙන් හැරී අලවල - දුනුමාල හරහා මෙම උඩුවක ඇල්ල නැරඹීමට පැමිණිය හැක. දුනුමාලේ සිට කිලෝමීටරයක් පමණ දුරින් මෙම ඇල්ල පිහිටා ඇත. ඇල්ල නැරඹීමට හා දිය නෑමට පැමිණෙන සංචාරකයින්ගේ ආහාරපාන අවශ්‍යතා සඳහා ඇල්ල ආරම්භයේ කුඩා ගිමන්හල ඇත. මෙම ගිමන්හල අසල ඇති කුඩා අඩිපාර ඔස්සේ උඩුවක ඇල්ලට ගමන් කිරීමට හැක.

උඩුවක ඇල්ලේ සුන්දරත්වය කෙමෙන් කෙමෙන් දිය වී යන බව ගම්වාසීන් පවසයි. ඇතැම් සංචාරකයින් පැමිණ ඇල්ලේ සුන්දරත්වය විනාශ කරමින් යන බවත් මෙවැනි සුන්දර ස්ථානයන් විනාශ කිරීම මහා අපරාධයක් බවත් උඩුවක ගම්වාසීන් පෙන්වා දෙයි. මෙම ඇල්ල ගම්පහ දිස්ත්‍රික්කයට තිබෙන ආසන්නතම සහ සුන්දරතම ඇල්ල උඩුවක ඇල්ල බව ගම්වාසීන්ගේ මතයයි. මෙම ඇල්ල විනාශ වීම වලැක්වීම සඳහා කිසියම් විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන ලෙසට ප්‍රදේශවාසීන් වගකිව යුතු ආයතන වලට දැනුම් දී ඇතත් මේ වන තෙක් එයට නිසි විසඳුමක් ලබා දීමට බලධාරීන් අපොහොසත් වී තිබෙන බව ගම්වාසීන් පෙන්වා දෙයි. පොලීසිය සහ විශ්ව විද්‍යාල ශිෂ්‍යයින් කිහිප දෙනෙක් අවස්ථා දෙකකදී මෙම ඇල්ල අවට සුද්ධ පවිත්‍ර කර තිබෙන අතර ගම්මු හැකි පමණින් මෙම ඇල්ලේ අසිරිය විනාශ කිරීම වැලැක්වීමට කටයුතු කරයි. උඩුවක ඇල්ල නැරඹීමට හා දිය නෑමට දෛනිකවම පැමිණෙන සංචාරකයින් ප්‍රමාණය 200කට අධික පමණ වන අතර මොවුන් රැගෙන එන සියළු අපද්‍රව්‍ය ඇල්ල අසල වනයට දමා යන බව ගම්වාසීන් පවසයි.

ඔබත් මෙවන් සොඳුරු ස්ථාන නැරඹීමට පැමිණෙන්නේ නම් සොබාදහමේ ඒ සොඳුරු බව තව දුරටත් ආරක්ෂා කරමින් ඔබට පමණක් නොව මතු පරපුරටත් මෙම සම්පත් දායාද කිරීමට කටයුතු කිරීම ශ්‍රී ලාංකික අප සැමගේ යුතුකමක් බව සිහිපත් කිරීමට කැමැත්තෙමු.

 

සටහන - කැළුම් දේවින්ද / ඡායාරූප - කවීත් මිලින්ද

 

2019-05-27-ent-138  2019-05-27-ent-135 2019-05-27-ent-136