'උඩරට කඳුකරයේ බැසයන සුන්දරිය' දුන්හිඳ ඇල්ල



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-06-01-ent-05

"උඩරට කඳුකරයේ

බැසයන සුන්දරියේ...

සුකොමළ දුන්හිද සුරතලියේ ඔබ-හෙළයට සිරිය ගෙනේ....."

2017-06-01-ent-16ඇනස්ලි මාලේවන මහතා ගයන මෙම ගීතය නිර්මාණය කර තිබෙන්නේ ඌව පළාතේ, බදුලු පුරවරයට අභිමානයක් ගෙන දෙමින් අතිශය රමණීය මිහිදුම් පටලයකින් විශාල භූමි ප්‍ර‘දේශයක් නිරන්තයෙන් නහවන සුප්‍රසිද්ධ දුන්හිඳ ඇල්ල පිළිබඳවය. මෙම ගීතය අසන ඕනෑම කෙනෙකුට එහි තිබෙන පද මාලාව නිසා කඳු ගැට වටලා, මීදුම පටලා සිරියෙන් රඟන දුන්හිඳ මනමාලියගේ සිරි නැරඹීම සඳහා යාමට සිත්ගෙනෙයි.

ශ්‍රී ලංකාව පුරා විහිදී පැතිරී සිටින සංචාරකයන්ට සිතූ සැණින් චාරිකාවක් සංවිධානය කරගෙන එහි යාමට නොහැකි නිසා එහි යන තෙක් හිතේ ඇතිවන මනදොළ පිනවීමට අපි සිතුවෙමු. දෙස්-විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය බොහෝ සෙයින් දිනාගෙන ඇද හැලෙන දුන්හිඳ ඇල්ලේ සොඳුරු චාරිකාවක %තරුණයා^ අපි නිරත වූවෙමු.

 

ගමන් මාර්ගය

පිටකොටුව බැස්ටියන් මාවතේ පිහිටි පෞද්ගලික බස්රථ නැවතුම් පොළෙන් හෝ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් මධ්‍යම බස් නැවතුම් පොළෙන් මාර්ග අංක 99 ඔස්සේ ගමන්ගන්නා කොළඹ-බදුල්ල බස්රථයක නැගී රුපියල් 300 (සාමාන්‍ය ගාස්තු) වැයකොට බදුලු පුරවරයට පැමිණ, එතැන් සිට මහියංගනය මාර්ගයේ ගමන් කරන බස් රථයක රුපියල් 20ක දුරක් ගෙවා හෝ රුපියල් 200ක පමණ කුලී පදනම මත ලබාගන්නා ත්‍රි‘රෝද රථයක ආධාරයෙන් ඔබට දුන්හිද ඇල්ලෙහි පිවිසුම් මංපෙත වෙත ළඟා විය හැකිය. මේ සඳහා ඔබට වැය වන්නේ පැය 07ක පමණ කාලයකි. ඊට අමතරව කොළඹ සිට මහනුවර නගරයට පිවිස එතැන් සිට බදුල්ල දක්වා දිවෙන බස් රථයකින් හෝ කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් උඩරට මැණිකේ දුම්රියට ගොඩ වී මනස්කාන්ත දර්ශන තලයක් නරඹමින් පැය 12ක පමණ දුම්රිය ගමනකින් පසුවද ඔබට මෙම ඉසව්වට පිවිසිය හැක. ඒ සඳහා පළමු පන්තියේ ගමන් කරන මගියෙකුට රුපියල් 1000, දෙවන පන්තියේ මගියෙකුට රු.600 සහ තෙවන පන්තියේ මගියෙකුට රු.400ක මුදලක් වැය වේ.

පෞද්ගලික වාහනයකින් පැමිණෙන සංචාරකයන්ට කොළඹ, අවිස්සාවේල්ල, රත්නපුර, බලංගොඩ, හපුතලේ, බණ්ඩාරවෙල, බදුල්ල හරහා මහියංගනය මාර්ගය ඔස්සේද ඇල්ලේ පිවිසුම වෙත ළඟාවිය හැක.

 

පිහිටීම

ඌව පළාතේ, බදුල්ල දිස්ත්‍රික්කයේ පිහිටා තිබෙන මෙම සොඳුරු දිය ඇල්ල, බදුල්ල නගරයේ සිට කිලෝමීටර 5ක පමණ දුරින් පිහිටා තිබේ. ශ්‍රී ලංකාවේ සුන්දරම දිය ඇලිවලින් එකක් වන මෙම ඇල්ලේ උස මීටර් 64කි. එනම්, අඩි 210කි. මෙම දියඇල්ල නිර්මාණය වන්නේ හෙට්ටිපොළ කඳුවැටියෙන් ගලා හැලෙන බදුලු නගරය හරහා ගලා බසින බදුලු ඔය මගිනි.

 

ඇල්ල දක්වා වූ ගමන් මග

සොබාදහමේ අපූරු නිර්මාණයක් වන දුන්හිඳ ඇල්ල නැරඹීමට එතරම් පහසු වන්නේ නැත. එසේ වන්නේ ඇල්ලට පිවිසෙන පිවිසුම් මාර්ගයේ සිට කිලෝ මීටරයක පමණ දුරක් පයින් ඇවිද යාමට සිදුවන බැවිනි. ප්‍ර‘වේශපත් කවුලුවෙන් රුපියල් 20ක ප්‍ර‘වේශපතක් (වැඩිහිටි) මිලිදී ගෙන එතැන් සිට දකුණු පසින් අහස් කුස සිප ගන්නා කඳු පන්තියත්, වම් පසින් බදුලු ඔය තෙක් දිවෙන හෙලත් මධ්‍ය‘යේ ගමනාන්තය සොයා යා යුතුය. තැනින් තැන ගල් මතු වූ අඩි පාර තරමක් කටුක වුවද, භූමියේ සුමට වී ඇති ස්ථාන කොන්ක්‍රීට් පඩි, පාලම් යොදා සකසා ඇති නිසාවෙන් ගමන එතරම් අපහසු වන්නේ ද නැත. නමුත් තමන්ගේ ආරක්ෂාව තමුන් සපරා ගන්නේ නම් වඩාත් අගනේය.

උදෑසනින්ම ගමන් අරඹන සංචාරක කණ්ඩායමකට නම් ගමන් විඩාව එතරම් නොදැනෙන බව අප එම මාර්ගයේ ගමන් කරනවිට අපට හැඟුණේ එහි තිබෙන පාරිසරික සුන්දරත්නය නිසාවෙනි.මෙම මාර්ගයෙහි මඳ දුරක් යන විට ගමන් මාර්ගයට පහළින් ගලායන දිය දහරාවක් අපට දිස්වේ. තුරුලතා අතරින් පෙනෙන කුඩා දුන්හිඳ නමින් හඳුන්වන එම දිය දහරාව ඉතා දැකුම්කලුය. මෙම මාර්ගය ආරම්භක ස්ථානයේ සිට අවසානය දක්වාම මග දෙපස හමුවන කඩමණ්ඩි ගමනෙහි නිරත වන ඔබගේ ගමන් විඩාව නිවාගැනීමට බොහෝ සෙයින් උපකාරී වේ.

එහි තිබෙන ඕනෑම කඩයකින් කිතුල් හකුරු කැබැල්ලක් හා බෙලිමල් වතුර පොදක් තොල ගෑමට ඔබට අවකාශය ලැබේ.ඒ හැරුණු කොට පැණි දොඩම්, ප්‍රසිද්ධ සන්නාමයන්ගෙන් යුත් පැණිබීම, වතුර බෝතල්ද ඔබගේ විඩාව නිවාගැනීම සඳහා පානය කිරීමට එම වෙළෙඳසැල්හී විකිණීමට තිබේ. බඩගින්න නිවා ගැනීම සඳහා පැටිස්, කට්ලට්, බඩ ඉරිඟු වැනි කෙටි ආහාරද, යන එන ගමන් සපයන්නට නිවෙස්වල සැදූ පිරිසිදු බවින් අනූන තල, වැලිතලප, මුරුක්කු, ඉඟුරුදෝසි, පුහුල් දෝසි වැනි කැවිලි වර්ගද, නිවෙස්වලට ගෙන ඒම සඳහා කුරක්කන්, කිතුල් වැනි පිටි වර්ගද හබලපෙති, තල, මෙනේරි වැනි දේශීය නිෂ්පාදනද ඔබට සාධාරණ මිල ගණන් යටතේ එහිදී මිලදී ගත හැක. මතක සටහන් ලෙස තබාගැනීමට පන්කොළවලින් කරන ලද පන්මලු, පන් තොප්පි, හැඹිලි වර්ගද, වීදුරු, මැටි, ලී වලින් සැදූ ආයිත්තම්ද, කුඩා දරුවන් සඳහා සෙල්ලම් බඩුද ඔබට එහිදී පහසු මිල ගනන් යටතේ මිලදී ගැනීමට හැකියාව ලැබේ.

ඔබ රැගෙන යන ආහාර වර්ග හෝ කඩවලින් මිලදී ගන්නා ආහාර එම මාර්ගයේ පිහිටා තිබෙන ගිමන්හල්වල සිට හෝ කඩමණ්ඩි තුළටම වී සප්පායම් වීමට ඔබට සිදුවේ. හීලෑ වූ වඳුරන් සහ රිළවුන් මග දෙපස සිටින හෙයින් ඇවිදයන අතරතුර ආහාර ගැනීමකදී ඔවුන් විසින් එම ආහාර ද්‍රව්‍ය කඩාවඩා ගන්නා නිසා එසේ කිරීම වඩාත් උචිතය. අපත් මුරුක්කුවක් කා වියළී තිබූ තොල කට පැණි දොඩම් වීදුරුවකින් තෙමාගෙන ඇල්ල වෙත පියනැගුවෙමු.

 

දියඇල්ලේ සුන්දරත්වය

විවිධ වූ බාධක පසු කරමින් අප ගමනාන්තය වෙත ළඟා වුණෙමු. මගදී විඳගැනීමට වූ පීඩාවන් ඇල්ල අසලට ගිය විට නොදැනෙන තරමට දර්ශනීය රටා මවමින් සුකොමල දුන්හිඳ සුරතලිය කඩා හැලෙයි. අඩි 210 උස ගල් කුලක් මධ්‍ය‘යෙන් කඩා හැලෙන දිය කොමලියගෙන් වෑහෙන ජලයෙන් නිර්මාණය වන ජල තටාකය වර්ග කිලෝමීටර් 100ක් පමණ විශාලය. බදුල්ල නගරයේ වියළි දේශගුණයක් පවත්නා කාලවලදී එම තටාකය තුළ තිබෙන ගල් කුළු ඔස්සේ පය තබමින් දියඇල්ලේ එගොඩට ගමන් කිරීමටද හැකි බව දියඇල්ල නැරඹීමට විදේශීය සංචාරක කණ්ඩායමක් සමග පැමිණ සිටි මාර්ගෝපදේශකයෙකු අපත් සමග පැවැසීය. අප එහි යන විට ඉතා විශාල ජල ස්කන්ධයක් ගලා හැලෙන දිය දහරාවේත්, තටාකයෙත් පැවතුණි. ඇල්ල නැරඹීම සඳහා නිර්මාණය කොට තිබෙන නැරඹුම් මැදිරියටද ජල තටාකයෙන් විසිරෙන පිනිබිඳු මෙන් ජල බින්දු අපගේ ගත දැවටුනේ අපට පහළට පැමිණෙන්නටයි කෙරෙන ආරාධනාවක් පරිද්දෙනි.

ඒ අනුව නැරඹුම් මැදිරියට දකුණු පසින් සැදී තිබෙන ලිස්සෙන සුළු අඩිපාර ඔස්සේ අපි පහළට ගමන් කළෙමු. තටාකය අසලට ගමන් කිරීමට නොහැකි ලෙස දියඇල්ලෙන් වැටෙන දිය පහර වැටී විසිරෙන ජලයෙන් අපව නැහැවුණි. එතරම් වේගවත් ලෙස ඇල්ල කඩා හැලෙයි. දිය තටාකයෙන් ජලය විසිරෙන්නේ ගින්නකදී බුරබුරා නගින දුම් ජාලාවක් පරිද්දෙනි.

අප සිටි සීමාවෙන් පහළට ගමන් කිරීමට නොහැකි නිසා එහි සොඳුරු දසුන් විඳගනිමින් නැවතත් නැරඹුම් මැදිරිය වෙත අපි ගමන් කළෙමු.

 

ඇල්ල සමග බැඳුණු ජනප්‍රවාද

අප නැවතත් නැරඹුම් මැදිරියේදී මුලින් හමුවූ මාර්ගෝපදේශකයා සමග කතාවකට මුල පිරුවේ ඇල්ල හා බැඳුණු යම් ජනප්‍රවාද පිළිබඳව යම් හෝඩුවාවක් දැනගැනීමේ බලාපොරොත්තුවෙනි. ඔහු පැවසූ ආකාරයට පෙර රජ දවස දුන්හිඳ පතන හා කොස්ගොල්ල අතර පුස්වැලක් තිබී ඇත. කාලයක් ගත වෙද්දී එම පුස්වැල විශාල වී ඊට කුණුරොඩු එකතු වී බදුලු ඔයේ ජල මාර්ගය අවහිර වී ඇත.

ඉන්පසුව එය බේසමක් ආකාරයට සැදී, එය පිටාර ගලා බදුල්ල නගරයට යටවී ඇත. මෙම ව්‍යසනයෙන් බදුලු නගරය බේරා ගැනීම සඳහා එවකට බදුල්ලේ ප්‍රා‘දේශීය රජතුමා වූ කුමාරසිංහ රජු අඬබෙරකරුවන් යවා පුස්වැල කපා දැමීමට සමත් පුද්ගලයන් ගෙන්වාගෙන එය කපා දැමීමට කටයුකු කර තිබේ. පුස්වැල කැපූ ස්ථානයෙන් පහළට ජලය ගලා ගිය බවත්, එම ජල දහරාව පසුකලෙක මෙලෙස දුන්හිඳ ඇල්ල ලෙස ප්‍රසිද්ධියට පත්ව ඇත. ඊට අමතරව ඇල්ල අසල ජීවත් වන ජනතාව වසරකට වරක් අප්‍රේල් මස අග භාගයේදී ගලේ බණ්ඩාර දෙවියන්ට පූජා පැවැත්වීමට පුරුදු වී සිටින බවත්, ඊට හේතුව කුමක්ද කියා නොදන්නා බවත් ඔහු අප හා පැවසීය.

 

ජෛව විවිධත්වය

වඳ වීමේ තර්ජනයට ලක්ව තිබෙන ශාක ගණනාවක් මෙහි පවතී. ඊට අමතරව ශ්‍රී ලංකාවට ආවේණික වූ රිළවා, කැළෑ හික්මීයා, නිය දිඟු හික්මීයා වැනි ක්ෂිරපායී සතුන් ගණනාවක්ද, දඟර දණ්ඩා, පිනුම් කටුස්සා, තලගොයා වැනි උරග විශේෂද, වළිකුකුළා, කෑදැත්තා, දෙමලිච්චා, සැළලිහිණියා වැනි මෙරටට පමණක් ආවේණික වූ පක්ෂීන් සහ නොයෙක් ආකරයේ සමනලුන්ද අපට මෙහි දී දැකගත හැකිවිය.

 

විනෝදාස්වාදය

පවුලේ සැමට අතිශය සුන්දර වූ පරිසරයක මිහිර විඳගැනීමට අවකාශය මෙහිදී උදාකරගත හැකිය. පෙම්වතුන්ට නිදහසේ පෙම්බස් දෙඩීමට ඇල්ල දක්වා තිබෙන ගමන් මාර්ගයේ පිහිටා තිබෙන ගමන්හල් තුළදී අවකාශය සැලසේ. ඊට අමතරව තරුණ පරම්පරාවට එම පරිසරයේ සොඳුරු බව විඳගනිමින් අන්අයට බාධාවක් නොවන අයුරින් ගීතයක් මිමිනීමටද, වනගත ඡායාරූපකරණයේ යෙදෙන ඡායාරූප ශීල්පීන්ට අලංකාර වටිනා ඡායාරූප ගැනීමටත් මෙම ඉසව්ව කදිම තෝතැන්නකි.

 

සංචාරක ආකර්ෂණය

පාසල් නිවාඩු සමයන් වන අප්‍රේල්, අගෝස්තු, දෙසැම්බර් යන මාසවලදීද ඊට අමතරව දීර්ඝ නිවාඩු යෙදෙන මාසවලදීද දේශීය සංචාරකයන් වැඩි වශයෙන් පැමිණෙන බව මෙහි පාලන කටයුතු පවත්වාගෙන යන සොරණාතොට ප්‍රා‘දේශීය සභාව පවසයි. බදුලු පුරවරය සංචාරක ඉසව්වක් වෙන හෙයින් විදේශීය සංචාරකයන් නිතැතින්ම මෙහි පැමිණෙන බව ඔවුහු පැවසූහ.

 

සැලකිලිමත් බව

මෙහි දිය නෑම ඉතා භයානක බව ඇල්ල අවට ප්‍රදර්ශනය කර තිබෙන නාම පුවරු ඔස්සේ අපට පැහැදිලි විය. එම නිසා මෙහි දිය නෑමෙන් වැළකී සිටිය යුතුය. ඇල්ලේ පහළ කොටසට ගමන් කරන්නේ නම්, එම මාර්ගය සහ දිය තටාකයේ ගල් ලිස්සන සුළු බැවින් ජංගම දුරකථන, කැමරා උපකරණ, මුදල් පසුම්බි පරිස්සමින් රැගෙන යා යුතුය. විශේෂයෙන්ම ඔබ එහි යන්නේනම් අනාගතයටත් මෙහි සුන්දරත්නවය එලෙසින්ම දායාද කිරීම සඳහා පොලිතීන්, ප්ලාස්ටික් එම භූමියට රැගෙන නොයාමටද, රැගෙන යන්නේනම් එහි දමා නොයාමටද සැලකිලිමත් විය යුතුය.

 

සටහන සහ ඡායාරූප - මංජු ප්‍රදීප් කුමාර

 

2017-06-01-ent-01 2017-06-01-ent-02 2017-06-01-ent-03 2017-06-01-ent-04  2017-06-01-ent-06 2017-06-01-ent-07 2017-06-01-ent-08 2017-06-01-ent-09 2017-06-01-ent-10 2017-06-01-ent-11 2017-06-01-ent-12 2017-06-01-ent-13 2017-06-01-ent-14 2017-06-01-ent-15