ඉරබැස යන සැන්දෑවක කපුටු දූපතේ ඇවිද යමු



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-10-29-ent-15

අතීතයේ සිටම කාලාන්තරයක් තිස්සේ අපරාධ අධික ප්‍රදේශයක් ලෙස සහ දැඩි පරිසර දූෂණයක් සහිත ප්‍රදේශයක් ලෙස ප්‍රකටව තිබූ මට්ටක්කුලිය, මෝදර පිහිටා තිබෙන කපුටු දූපත (Crow Island) වර්තමානය වනවිට පවුලේ සියලු දෙනාටම විවේකය ගත කිරීම හැකි උද්‍යානයක් බවට පරිවර්තනය වී තිබේ.2018-10-29-ent-10

අක්කර 19ක පමණ භූමියක පැතිරී පවතින මෙම වෙරළ උද්‍යානය දකුණු ආසියාවේ විශාලතම වෙරළබඩ විනෝද උද්‍යානය ලෙසින් සැලකෙයි. ලෝක බැංකුවේ ආධාර ඇතිව ආරක්ෂක සහ නගර සංවර්ධන අමාත්‍යාංශය මගින් මෙම දූපත උද්‍යානයක් ලෙසින් සංවර්ධනය කර 2016 වසරේ අප්‍රේල් මාසයේදී මහජනතාව වෙනුවෙන් පිළිගන්වනු ලැබීය.

මෙම වෙරළ උද්‍යානය එළිමහන් රංග පීඨයකින්, නැරඹුන් කුළුනු ද්විත්වයකින් සහ ළමා උද්‍යානයකින් සමන්විත වේ. පිවිසුම් දොරටුවෙන් ඇතුල් වී ඉදිරියට යන විට හමුවන දෙපසින් පිහිටා තිබෙන නැරඹුම් කුළුණු ද්විත්වය ඉහලට නැගුණාම අප නිතර දෙවේලේ දකින කොළඹ නගරයේ වෙනස්ම වූ දර්ශන තලයක් මෙහිදී දැකගැනීමට අවකාශය හිමිවේ. කොලඹ වරායේ ඉදිකිරීම් සහ එහි යන්ත්‍ර සූත්‍ර, නුදුරේදීම විවෘත කිරීමට නියමිත නෙළුම් කුළුන, ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය එම දර්ශන තලයේ කැපී පෙනෙන පසුතලයන්ය.

පිවිසුම් දොරටුවෙන් ඇතුල් වූ විට දකුණු දෙසින් පෙනෙන්නේ දරුවන් වෙනුවෙන් වෙන් කර තිබෙන ළමා උද්‍යානයයි. මෙම උද්‍යානය උදෑසන සිට රාත්‍රී කාලය දක්වාම කුඩා දරුවන්ගෙන් පිරී ඉතිරී යයි. මෙය තනා ඇත්තේ නවීන පන්නයේ විනෝදකාමී අංග උපාංග යොදාගෙන බැවින් කුඩා දරුවන් මෙහි විනෝද වීමට දැඩි කැමැත්තක් දක්වයි. මෙහි පිවිසුම් දෙරටුවට මුහුණලා තිබෙන්නේ මුහුදු තීරය නැරඹීමේ වේදිකාවකි. එම වේදිකවේ සිට රුදුරු ලෙස රැලි නගන මහ මුහුදේ අසිරිය විඳගැනීමට හැකියාව ලැබේ.

ඊට අමතරව මෙහි ආහාර පාන, අච්චාරු වර්ග, ජල බොතල් සහ සිසිල් බීම වර්ග, සෙල්ලම් බඩු ආදිය මිලදී ගැනීම සඳහා කඩ කිහිපයක් නැරඹුම් කුළුණු ද්විත්වයට ඇවිඳ යන මාර්ග දෙපස ස්ථාපිත කර තිබේ. දෙහිවල පිහිටා තිබෙන සුප්‍රසිද්ධ වෙරළබඩ නිවාඩු නිකේතනයක් වන Barracuda ආයතනයේ අංග සම්පූර්ණ ශාඛාවකුත් මේ තුළ පිහිටා තිබෙනවා. ඒ තුළින් සුමිහිරි ආහාර පාන රසවීදීමේ හැකියාවද මෙහි පැමිනෙන සංචාරක ඔබට හිමිවනවා.

අතිශය ජනාකීර්ණ වූ කොළඹ නගරය තුලදී යම්තාක් දුරට හෝ සිතට මෙන්ම ගතට මානසික සුවයක් ලබා ගැනීමට හැකි ඉසව්වක් වන කපුටු දූපතට ඔබත් යන්න. මෙම ඉසව්වේ එතරම් ජනගහනයක් නොගැවසෙන හෙයින් ඔබට රිසිසේ සතුටු වීමේ අවස්ථාව උදාවනවා. මේ තුළදී මංගල ඡායාරූප ගැනීමටත් අවස්ථාව හිමිවන අතර ඒ සඳහා අවසර ගත යුතුයි. එමෙන්ම මෙම ඉසව්වේදී කැමරා උපාංග භාවිතා කිරීමටත් අවසර ගත යුතුවනවා. ඔබ මෙහි යන්නේනම් පරිසරයට හානිදායි කිසිවක් මෙහි රැගෙන නොයාමටත්, ඔබ රැගෙන යන ද්‍රව්‍ය එහි දමා නොයාමටත් කටයුතු කරන්න.

 

සටහන සහ ඡායාරූප - මංජු ප්‍රදීප් කුමාර

 

 

 

2018-10-29-ent-07 2018-10-29-ent-08 2018-10-29-ent-09  2018-10-29-ent-11 2018-10-29-ent-12 2018-10-29-ent-13 2018-10-29-ent-14  2018-10-29-ent-16 2018-10-29-ent-17 2018-10-29-ent-18 2018-10-29-ent-19