ඇලි දහයකින් සෑඳුණු මේ සා දිය ඇල්ල



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-10-05-ent-49

 

වාහනය රථ ගාලේ නතරවුණු වහාම මම ඉන් බැස ගත්තෙමි. ඒ එතෙර රටකදී දිය ඇල්ලක් දැක ගැනීම සුන්දර අත්දැකීමක් විය හැකි බැවිනි.

සන් දොයි කඳුවැටියෙන් ඇරඹි දිස්ත‍්‍රික්ක දාහතක් මැදින් ගලා යන මේසා ගංගාව විටින් විට සුන්දර දිය ඇළි දාහතක් නිර්මාණය කරන්නේ්ය. ඒ දිය ඇළි අතරින් වෙනස්ම දිය ඇල්ලක් ලෙස නිර්මාණය කරන්නේ මේසා ය.

මම පසෙක වූ පුවරුව බලමි. එහි මේසා නදිය ගැනත් මේසා දිය ඇල්ල ගැනත් සඳහන් තොරතුරු හිතේ පොතේ ලියා ගතිමි.

මේසා යනු එක දිය ඇල්ලක් නොවේ. දිය ඇලි දහයක එකතුවකි. කිලෝමීටර් දෙකක පමණ දුර පරාසයක් තුළදී දහ වතාවක් ගලින් ගලට පනිමින් දිය ඇලි දහයක් නිර්මාණය කරන නිසාය. එහෙත් තායිලන්තයේදී මේ ඇලි දහයම සැලකෙන්නේ එකක් ලෙසය.

පෙත්මඟ වැටී ඇත්තේ ගංගාවට දකුණු පැත්තෙනි. තේක්ක ගස් වලින් පිරුණු සුන්දර වනය මැදින් ඇවිද ගියත් නෙත් දස අත දුවයි. නොවැම්බර් සිට පෙබරවාරි අවසන දක්වා චියැංමායි ප‍්‍රදේශයට ඇත්තේ අව්බර කාලගුණයකි. මඳ සීතලක් සහිත සොඳුරු දේශගුණයක් ද පවතින බැවින් චියැංමායි වෙත සංචාරය කිරීමට හොඳම කාල වකවානුව ලෙස සැලකෙන්නේ මේ කාලයයි.

එහෙත් වැහිබර කාලයක් නොවන බැවින් දිය ඇල්ලක සුන්දරත්වය අඩුය. ගංගාවට එකතුවන ජල ප‍්‍රමාණය අඩු බැවිනි.

පෙත්මගේ අතුරු මගක් වම්පසට යොමුවී තිබේ. එතැනම පුවරුවකි. එතැන වූයේ තුනේ ඉලක්කම සහ ‘පා ටැක්’ යන ඉංග‍්‍රීසි වචන දෙකයි.

මේසා දිය ඇල්ලේ පළමු සහ දෙවැනි ඇලි ඇත්තේ මීට පහළිනි. මෙහි රිය ගාල් තුනක් ඇත. අප පැමිණ සිටියේ තුන්වැනි රිය ගාලටය. එබැවින් දිය ඇල්ලේ පළමු සහ දෙවැනි ඇලි ඇත්තේ අපෙන් වසන්වය.

‘පා ටැක්’ යනු එතරම් සුන්දර දිය ඇල්ලක් නොවේ. ගඟ වැටෙන්නේ මහ ලොකු ගල් කුලකින් නොවන නිසාය. මෙය දිය ඇල්ලක් නම් ලංකාවේ දිය ඇලි දස දහස් ගණනක් සොයාගත හැකි නොවේදැයි මගේ සිත කීවේය.

කෙසේ වුවත් මේ ‘පා ටැක්’ ඇල්ල අසල ලීයෙන් තැනූ මේස සහ බංකුය. කැමැති සංචාරයකුට මේ බංකුවක ඉඳගෙන දිය ඇල්ල ගැන හෝ ගංගාව ගැන හෝ නොඑසේ නම් පරිසරය ගැන හෝ රචනයක් ලිවිය හැකිය. එහෙමත් නැත්නම් ගඟට බැස හිතේ හැටියට නා කියා ගත හැකිය. තේ උගුරකින් දිව කට තෙමාගත හැකිය.

එහෙත් ඒ ලී බංකු යායම පාළුවට ගොසිනි.

මම පෙත්මග දිගේ ඉදිරියට යමි. තවත් මීටර් දහයකට පහළොවකට ඔබ්බෙන් හතරවැනි දිය ඇල්ල කඩා වැටෙන මියුරු රිද්මය සවන ගැටේ. ‘වැගන් සැම් මියුන්’ යන නම දී තිබෙන හතර වැනි දිය ඇල්ල ගල් කුලෙන් පහතට වැටෙන්නේ දිය දහරා දෙකක් ලෙසය.

මෙතන සිට බලනවිට ළඟින්ම පෙනෙන්නේ පාලමකි. එය ගඟ හරහා ලීයෙන් කළ පාමකි. මම මෙහි සිට එම පාලමේ පින්තූරයක් ගත්තේ පෙනෙන අපූරුව නිසාය.

එහෙත් ඒ පාලම මේසා දිය ඇල්ලේ පස්වැනි පියවර බව පසක් වූයේ පෙත්මග ඔස්සේ තවත් ඉදිරියට ඇවිද යද්දීය.

මම වහාගොස් පාලමට ගොඩවීමි. එතැන සිට මා පැමිණි මඟ දෙස බලනවිට මේසා ගංගාවේ පස්වැනි ඇල්ල අපූරුවට පෙනෙයි. ගඟ, ගල් කුලකින් පහතට වැටෙන විට නැගෙන මියුරු හඬ ගීතයක් වැන්න. එහෙත් එය තායි වචනවලින් ඇසෙන නුහුරු නුපුරුදු ගීතයක් නොවේ. ලංකාවේදී කොතෙකුත් අසා ඇති අන්දමේ විචිත‍්‍රවත් කන්කළු ගීතයකි. ඉතින් මේ නුහුරු රටේදී හමුවූ හුරු පුරුදු ගී හඬට සවන් පුදා මොහොතක් ගත කළෙමි.

පාලම පහළින් ඇත්තේ නවාතැන් පොළකි. එහි සුදු ජෝඩුවක් නතරවී දිගු කතා බහක නියැලෙනු පෙනිණි.

‘ති ඕ ප්‍රොම්මා’ ලෙස නම්කර තිබෙන මේ සා දිය ඇල්ලේ පස්වැනි පියවර ඡුායාරූප සැසියකට නගාගත් මම යළිත් පෙත්මග දිගේ ඉදිරියට ගමන් කළෙමි.

ඊළඟට හයවැනි පියවර.

එතැන ගඟ හරහට වැටුණු විසල් ශාකයකි. ඉකුත් වැසි සමයේදී ඇද වැටෙන්නට ඇති ඒ තුරු කඳ ඉවත් නොකළේ සොබාදහම මෙය බව සංචාරකයන්ට පසක් කිරීමටවත්ද? ගසේ හැදෙයි. සුළෙඟ් වෙලී එහාටත් මෙහාටත් වැනෙමින් කල් ගෙවයි. මහා වනස්පතියක්ව වනයේ රජකම් කර, කිසියම් දවසක සුළඟකට අසුව ඇද වැටෙයි.

‘ටාඞ් මුවෙයි’ ලෙස නම් ලද මේ දිය ඇල්ල මෙතෙක් දුටු ඇලිවලට වඩා විසිතුරුය. ඇල්ල පාමුල ඇති පොකුණ වෙත දිය ඇල්ල පනින්නේ සිතල පිනි වරුසාවක් හාත්පස විහිදුවමිනි. එතැන කිරිපෙළ ගොඩකි. ඒ විතරක් නොවේ. නානවා නම් නාන්නටද කදිම තැනකි. සැදුණු පොකුණ වෙත ගොස් සීීතල දියෙන් සැනසෙන දෙතුන් දෙනෙකි.

කිසියම් සුදු ජාතික යුවළක් ද එතැනට ගියහ. මඳක් අයිනට වූ යුවතිය ඇය ඇඳ සිටි බ්ලවුසය ගලවා දැමුවාය. මා සිතුවේ ඇය මේ සීතල දිය දහරේ ගිලී සැනෙහෙන්නට හදනවා කියාය. එහෙත් ගඟට බැස සිසිල් දිය දෝතකින් මුහුණ දොවා ගත්තා මිස ඇය නාන්නට සූදානම් වූයේ නැත.

මම යළිත් පෙත් මගෙහිය. මේසා දිය ඇල්ලේ හත්වැනි පියවරේ සිට දහවැනි පියවර දක්වා වන දිය ඇලි අසල ‘ඬේන්ජර්’ යන ඉංග‍්‍රීසි වචනය සවිකර තිබේ. ඒ විතරක් නොවේ මෙතැන් සිට ඉදිරියට යන්නට තිබෙන්නේද දුෂ්කර මාර්ගයක්ය. මෙතෙක් වේලා තිබුණු පෙත්මග වෙනුවට වඩාත් පටු පඩි කිහිපයක් හමුවිය. ඉතින් ගමන පරෙස්සමෙනි. අවසානයේදී හත්වැනි ඇල්ලද හමුවිය.

ටාඞ්. නම් ගත් මෙතැන වඩාත් සුන්දරය. සුන්දරත්වය සැඟව ඇත්තේ දුෂ්කර වටපිටාවකය. මෙතැන් සිට ගංගාව තෙක් යා යුත්තේ ලිස්සන මතුපිටකය. වස්සානයේදී නම් මේ මතුපිට ආඳෙකුගේ පිටක් තරම් ලෙස්සනවා නියතය. එහෙත් මා ගියේ කිඹුල් පිටකය. වාසනාවකට ලෙස්සුවේ නැත.

මට කලින් ඇල්ල බලන්නට ගිය සංචාරක යුවලක් ආපසු යමින් සිටියහ. කොල්ලා කොට කලිසමකින් ගත සරසාගෙන සිටියත් කෙල්ල ඇඳ සිටියේ කොට කලිසමක් සහ තිසර පටකි. මම ඇල්ල දෙස බලමි. එය දිය දහරා දෙකක් ලෙස ගල් කුලෙන් පහළට පනියි. එහෙත් ඒ එකම ඇල්ලය. ගල් කුල උඩ ඇති බාධකය විසින් ඇල්ල දෙකට පලා තිබේ. කොටින්ම එය සොබා දහමේ හපන්කමකි.

අටවැනි පියවර සොයා තවත් පියවර සියයකට වැඩි ගණනක් තැබීම්, පුස්වැල් බඳු යෝධ වැල්වලින් සැදුණු ආරුක්කුවකි. දකුණු පැත්තෙන් කඳු මුදුනක සිට ගලා ආ ඇළ මගක ගල් දොරුවකි. වස්සාන කාලයේදි තවත් ඇළ මගක ගල් දොරුවකි. වස්සාන කාලයේදී තවත් ඇළ මගක් වූ මෙය වතුර පොදක් නැති තරමට වියලූණේ කවදාක විය හැකිද? මට නම් හිතෙන්නේ මීට මාස දෙක තුනකටවත් කලින් විය යුතුය. මන්ද යත් හාත්පස පරිසරය සහමුලින්ම වියැලී තිබෙන බැවිනි. වස්සානය නිමා වන්නට ඇත්තේ මීට දෙතුන් මසකට පෙරය.

මා ඉදිරියේ තවත් සංචාරක යුවළකි. ඔවුන් මා ඉදිරියෙන් වූ පාලමක් දිගේ මා ඉදිරියට එති. මම ඔවුන් පසුකර ගියෙමි. දිය ඇල්ලේ නවවෙනි පියවර ළඟමය. නවවැනි පියවර සඳහන් නාම පුවරුව ළඟින් පහළට බැස යන්නට සිදුවිය. සංචාරක පිරිසක් නා කියාගෙන ගල් තලාවක් උඩ ගිමන් හරිති. එක් ගැහැණියක් ගල් තලාව මුනින් අතට නිදයි. පිරිමියෙක් ඇගේ පිට පිරිමදිනු පෙනෙයි. එතනම තවත් ගැහැණියක් ගලක් මත වාඩිවී සිටියි. එහෙත් ඒ ගල්තලාව ඇත්තේ මට වඩා මීටර් දහයකට පමණ දුරිනි. ඊට මෙහායින් මේසා දිය ඇල්ලේ නවවැනි පියවරයි. එහෙත් එය අලංකාර ඇල්ලක් නොවේ. හැබැයි එතන එහා ඉවුරේ ඇති වනගහනය තරමක් ගණකමය. මෙහා ඉවුරුද එසේමය. එතැන සිට පෙත්මගට මීටර් පහක පමණ දුර තනිකරම වන ගහණය. පෙත්මඟට මේ ගල් තලාව සම්පූර්ණයෙන්ම වහං වෙලාය.

තවත් ටික වේලාවක් මෙතන පමාවූ මම යන්නට හැරුණෙමි. දහවැනි පියවර මේසා දිය ඇල්ලේ අවසන් පියවරයි. එතැනින් පෙත්මග අවසන්ය. මෙතනින් ඔබ්බෙහි මේසා ගංගාව සංසුන්ව පාඩුවේ ගලා එනවා විය යුතුයි.

මම දහවැනි පියවරට ගියෙමි. මට ඉදිරියෙන් සුදු පැහැති සම් ඇති යුවතියන් දෙදෙනෙක් ගල් තලාවේ වාඩිවී ගඟට දෙපා ඔබාගෙන සිටිති.

අනිත් පැත්තෙන් මීටර් පහළොවකට පමණ ඔබ්බෙන් අර ගල් තලාවය. නවවැනි පියවරේදී පිටුපසින් දුටු ගල් තලාවේ ඉදිරිපස පැත්තය. එතැන පෙර සිටියාට වඩා පිරිසක් සිටින බවක් පෙනේ. ඔවුන් ගෙඟන් දිය නාගෙන නිදහසේ අව්ව තැප්පා විය යුතුය. දැන් අපේ ගමනට හෝරාවකට වඩා ගෙවී තිබේ.

දැන් ඉතින් ආපසු ගමන ඇරඹිය යුතුය. හත්වැනි පියවරේදී හමුවූ යුවතිය හා තරුණයා දැන් දහවැනි පියවරේය. ගඟ අද්දරටම ගිය ඔවුහු පැදුරක් එළා ඒ මත වාඩි වූහ. තරුණයා කිසියම් ක‍්‍රීම් වර්ගයක් ගා යුවතියගේ පිට පිරිමදින්නට වූවේය.

මේසා ගඟට මේ සා සංචාරකයන් පැමිණෙන්නේ නා කියාගෙන විවේකීව කල් ගෙවන්නටය. ඒ අතින් අපි අවාසනාවන්තයෝ වෙමු. අප මෙතන ගත කළේ හෝරාවකටත් වඩා අඩු කාලයකි. සුන්දරත්වය හෝරාවකින් විඳ ගත හැක්කක් නොවේ. ඊට බොහෝ කාලයක් අවශ්‍යය.

එහෙත්?

 

ශාන්ත කුමාර විතාන

 

2018-10-05-ent-45 2018-10-05-ent-46 2018-10-05-ent-47 2018-10-05-ent-48  2018-10-05-ent-50 2018-10-05-ent-51 2018-10-05-ent-52