ඇල්ලට ගියොත්, නාන්න හොඳම තැන
තුමුල නමුනු කුල පේන ඉසව්වක නැත. එහෙත් නමුනුකුල කඳු මුදුනෙන් පුංචි උල්පතකක් සේ ඇරඹුණු දිය දහර, ගල් අස්සෙන් පහළට පහළට ගලාගෙනවිත් පිටපොලදී තාර පාරට යටින් ගලායයි.
එහෙත් පාර යටට රිංගන්නට මොහොතකට කලින් තැනූ නොගැඹුරු වළත් ගැඹුරුවළත් නිසා සංචාරකයන් අද්දන්නද සමත්වෙයි.
එකී නොගැඹුරුවළට ඇල්ලට එන බොහෝ පිරිස් පැමිණ ජල ස්නානය කරන්නේ මේ වතුර අතිශයින්ම පිරිසුදු වන නිසාය. ඕනෑම මද්දහනක වුවද සීතල රැුකගන්නටද මේ වතුර සමත්වීම තවත් වාසනාවකි.
අපේ මග පෙන්වන්නා වූ හල්පේ විද්‍යාලයේ නර්තන ආචාර්ය සුමනසේකර කීවේ තාර පාරෙන් මදක් ඔබ්බට අප කැඳවාගෙන ගොස්ය.
අඩි විස්සක් තිහක් තරමට දිගින්ද, පළලින්ද යුත් කොම්බුකාර වළේ නම්බුකාර ලෙස ස්නානයේ යෙදෙන බටහිර සංචාරකයකුද ඒ මොහොතේ සිටියේය. එහෙත් ඔහුගේ බිරිඳ සිටියේ ඒ වළට ඉහළින් වූ ගල් පව්වේ මඳක් දුරට වන්නටය. ඇය සිය දුරකථනයෙන් ඔහුගේ ඡුායාරූප ගනිමින් සතුටින් පුමුදිතව සිටියාය.
අපේ නඩයේ උදවියගෙන් සමහරෙක් කොම්බුකාරවළට බැස ගනිද්දී මම ඉදිරියෙන් වූ ගල්පව්ව දිගේ ඉහළට ඇවිද ගියෙමි.
ගල් අතරින් ඇඹරී ඇඹරී ගලා යන දිය දහර පාගමින් උඩටම ගියවිට තවත් නාන වළක් දැකගත හැකිවිය. තරුණයන් තුන් හතර දෙනෙක් පැමිණ එහි නාන්නට සැරසුණහ.
මම ගල් පව්ව මුදුනෙහි වාඩි ගත්තෙමි. එතැනට පෙනෙන්නේ අර සුදු කාන්තාව ඇගේ සැමියා ස්නානය කරන හැටි වීඩියෝ කරන අයුරුය. සිනා පිරුණු මුවින් යුතුව සිිටින ඇගේ සතුට පිටාර යන හැටි අපූරුය. ඇයත් ඔහුත් ඇල්ලට එන්නට ඇත්තේ දුම්රියෙනි. ඉන් බැස ඇල්ල ප‍්‍රදේශයේ ඇති සංචාරක ආකර්ෂණවල සැරිසරන දහසක් විදේශිකයන් අතරේ ඇයත් ඔහුත් දියනාන්නට මේ කොම්බුකාර වළට පැමිණීමේ අරුමයක් නැත.
අපේ නඩයේ පිරිස කොම්බුකාර වළේ සීතල වතුරේය. අයෙක් ගලක් උඩ වාඩිවී දෙපා වතුරට දමාගෙන සිටියි. කුඩා මසුන් පොදිකමින් කකුල්වලට කොටනු පෙනෙයි. මේ මසුන් සම්භාහනය පිටරටවල ප‍්‍රචලිතය. එහෙත් අපේ රටේ එවැනි කතන්දර අසන්නටවත් නැත. තවත් ටික වේලාවක් මේ සීතල දිය අතරේ වැදී සතුටු වූයෙමු. මෙතැන හැරයෑමේ හිතක් නූපදින නිසාය.
එහෙත් බඩගින්න කුසට කරදර කරන්නට විය.
වේලාව දහවල් එකට කිට්ටුය. ඇත්තෙන්ම මේ දිවා ආහාරය ගතයුතු වේලාවයි.. එහෙත් අපට නම් දිවා ආහාරය කීයට ලැබේදැයි සිතන්නටවත් නුපුළුවන. එහෙත් බඩගින්නට ඒ හුටප්පර වලින් වැඩක් නැත. එබැවින් දියෙන් ගොඩවීමු. පාර අද්දර ඇත්තේ කුඩා කඩයකි. රොටී ඇති බවට එහි කුඩා පුවරුවක් තිබේ.
‘‘රොටී තියෙනවද?’’
මම කඩපිලට හිස පෙවීමි.
‘‘තියෙනවා, ඉක්මනට පුච්චල දෙන්නම්.’’
කඩ හිමි කාන්තාව පැවසුවෙන් අපි පසෙක වූ පුටුවල වාඩිවීමු. මේ කොම්බුකාර වළ ගැන සැඟවුණු තොරතුරක් වෙතොත් දැනුගනු පිණිස හොඳම තැනැත්තිය මේ කාන්තාවයි. ජනප‍්‍රවාද මෙන්ම මේ ඉසව්ව ගැනද ඇය යමක් කමක් දන්නා නිසාය. ‘‘දවසකට හුඟක් අය එනවද නාන්න?’’
මම කතාව ඇරඹීමි.
‘‘එනවදත් අහනවා.’’
ඇය කීවේ සතුටිනි. ‘‘දැන් මේ කොම්බුකාර වළ සංචාරකයන් අතර ප‍්‍රසිද්ධයි. වතුර ටිකත් සීතලයි. ඒ වගේම පිරිසුදුයි. ඒ නිසා හුඟක් අය ඇවිල්ලා නාලා යනවා... සමහර දාට ලැයිම්වල ඉන්න දෙමල ගෑණු ඇවිත් වළට බැහැලා නාලා දිය රෙද්ද පිටින්ම යනවා. අර අතන තියෙන දේවාලෙට. බාර ඔප්පු කරන්න යන්නෙ. බාර හාර හරියටම ඔප්පු නොකළොත් ඔය ඉමේ තියෙන බඹර ගහේ ඉන්න බඹරු ඇවිස්සෙනවලූ. මේ ළඟදිත් බඹරු ඇවිස්සිලා පන්න පන්න විද්දා...’’
‘‘බඹරු නිතරම ඇවිස්සෙනවද!’’
මම කුහුලින් විමසුවෙමි.
‘‘එහෙමත් නැහැ... හැබැයි බඹර ගහ යට තියෙන දේවාලෙට හරියට බාරහාර ඔප්පු කළේ නැත්නම් බඹරු ඇවිස්සිලා දඬුවම් කරනවා කියලා විශ්වාසයක් නම් තියෙනවා.’’
කඩයේ ගැහැණිය කීවේ රොටී දෙක තුනක් පිඟානකට දමා අපට දෙන ගමන්ය. ඊළඟට ලූණුමිරිස් පිඟානකට දමා ගෙනැවිත් දුන්නාය. උණු උණු රොටිය අතට ගෙන කෑල්ලක් කඩා ලූණු මිරිස් බිඳක් සමග කටට දාගෙත්තෙමි. වෙලාවේ හැටියට එය රස බොජුනකි. ඊළඟට තේ කෝප්පයකින්ද කුස සනසාගත් අපි අර බඹර ගස දෙසට ඇවිද ගියෙමු.
එය රූස්ස ගසකි. දස දෙසට විහිද ගිය අතුපතරේ බමර වද දෙක තුනක් දකින්නට තිබිණි. එය ඡුායාරූපයකට නගන්නට උත්සාහ කළත් එම උත්සාහය අසාර්ථක වූයේ කැමරාවේ කාචයට ඒ තරම් දුරක් අල්ලා ගන්නට නොහැකි වූ නිසාය.
‘‘ජූලි මාසෙදි විතර බඹර වද බඳිනව වැඩියි. ඒ කාලෙට ඔය ගහෙන් එකක්ම බඹර...
අර කඩපිලේ සිටි මිනිසෙකු කී කතාව මට සිහිපත් විය.
මොහොතකට පසු අපි එම ගහ යටින්ද නික්මුණෙමු.
ඉතින් ඔබට කියන්නට ඇත්තේ මෙපමණකි. ඇල්ලට ආවොත් කොම්බුකාර වළෙන් දිය නාන්නට අමතක කරන්නට එපා...! එසේම කොම්බුකාර වළ පසුපස ඇළ දිගේ ඉහළට ගොස් පරිසරයේ සෞන්දර්ය දැකබලා ගැනීමද ඔබට සතුටක්වනු නියතය.
ශාන්ත කුමාර විතාන
සේයාරූ- දිනේෂ් පෙරේරා