ඇල්ල කපොල්ලේ පිහිටි අපූරු කඳුවැටිය



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-11-24-ent-45

කොළඹ සිට බදුල්ල දක්වා දිවෙන උඩරට මැණිකේ සහ පොඩි මැණිකේ දුම්රියන් වසරේ සෑම කාලයකදීම විදෙස් සංචාරකයන්ගේ අක්‍රමණයට ලක්වේ. මෙරටට පැමිණෙන සංචාරකයන් උඩරට දුම්රිය මර්ගයේ ගමන් කිරීමට රුචිකත්වයක් දක්වන බැවින්, එම දුමිරියන් එසේ ආක්‍රමණයට ලක්ව තිබේ. එම ගමනේ දී බෝහෝ සංචාරකයන්ගේ ගමනාන්තය වන්නේ කඳු, දියඇළි, ගංඟා, නිම්න බොහෝමයකින් වට වී තිබෙන ඇල්ල නම් සොඳුරු ඉසව්වයි. ඒ අනුව මෙවර ‘තරුණයා’ සංචාරය තුළින් ඔබව රැගෙන යන්නේ සංචාරකයන්ගේ දෑස් අමන්දානන්දයට පත් කරන්නා වූ ඇල්ල කපොල්ලේ පිහිටි පුංචි සිරිපාදය ලෙසින් හඳුන්වන අපූරු කඳු වැටිය වෙතය.

කොළඹ නගරයේ සිට කිලෝමීටර 220ක් පමණ දුරින් පිහිටි ඇල්ල යනු උඩරට කඳුකරයේ නැගෙනහිර හා දකුණට බෑවුම් වන කොටසේ කෙළවරට වන්නට පිහිටි ග්‍රාමයකි. කොළඹ සිට දුම්රියෙන් පැමිණෙන මගීන්ට ඉතා පහසුවෙන් මෙම ඉසව්වට ළඟාවිය හැකිය. නමුත් දුම්රියෙන් පැමිණෙන්නේනම්, රාත්‍රී තැපැල් දුම්රියෙන් පැමිණිය හැකිය. කොළඹ සිට බදුල්ල දක්වා දිවෙන දුම්රියේ ගමන ඉතා සුන්දර අත්දැකීමක් වුවත්, රාත්‍රී දුම්රියේ පැමිණීමෙන් එම සුන්දර අත්දැකීම විඳගැනීමට නොහැකිය. බස් රථයකින් හෝ පෞද්ගලික වහානයකින් පැමිණෙන්නේනම්, බණ්ඩාරවෙල නගරය පසුකර ඉදිරියට ගමන් කරන විට හමුවන කුඹුල්වෙල මන්සංදියෙන් හැරී ඇල්ල-වැල්ලවාය දක්වා දිවෙන මාර්ගයේ ඇල්ල නගරයට පැමිණ ඇල්ල මංසන්දියෙන් වම්අත දෙසට දිවෙන නමුණුකුල මාර්ගයේ කිලෝමීටර් 2ක් ගමන් කිරීමේන් පුංචි ශ්‍රී පාද මුදුනේ පිවිසුම වෙත ළඟා විය හැකිය. එතැන් සිට කන්දට ළඟාවීම සඳහා පියගැටපෙළක් සහ වක්‍රකාර වනගත අඩි පාරක්ද පිහිටා තිබේ. මෙම කුමන මාර්ගයක් භාවිත කළත්, කිලෝ මීටර් 1ක පමණ දුරක් පාගමනින් යා යුතුය. මෙම සොඳුරු ඉසව්ව පිහිටා ඇත්තේ ලොව ප්‍රකට තරු 5 පන්තියේ හෝටලයක් වන ‘98 Acres’ හෝටලයට අයත් භූමි භාගකය.

මෙම කන්ද ‘ශ්‍රී පාද’ යන නාමයෙන් හැඳින්වුවත්, මෙයට බුදුරදුන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැත. මෙම කන්ද එම නාමයෙන් හඳුන්වනු ලබන්නේ මෙය ප්‍රධාන ශ්‍රී පාද කන්දෙයි ආකෘතියමය ස්වභාවයට බොහෝ දුරට සමාන බැවිනි. නමුත්, ප්‍රදේශවාසීන් පවසන පරිදි මෙම කඳුගැටයට අවුරුදු 6000 කටත් එපිට ඉතිහාසයක් තිබේ. ඔවුන් පවසන ආකාරයට මෙම කන්ද එකල යක්ෂ ගෝත්‍රික හෙළයා විසින් සූර්යයා වන්දනාව කිරීමට භාවිත කර තිබෙන බවය. නමුත් එය විද්‍යාමානව තහවුරු කිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂියක් නොමැත. තවද, අතීතයේ මහියංගණය ප්‍රදේශයේ ධනවත් මහලු කාන්තාවක් ශ්‍රී පාදය වන්දනාමාන කිරීමට ගොස් මඟ වැරදී මෙම කන්ද තරණය කර තිබේ. එම නිසාද මෙම කන්ද පුංචි සිරිපාදය ලෙසින් හඳුන්වනු ලබන බවටද මතයක් පවතී.

මෙය පුංචි ශ්‍රී පාදය ලෙසින් හැඳින්වුවද, කඳු මුදුනට නැගී පසුව මෙය තනි කන්දන් නොව කඳු මුදුන් 5කින් සමන්විත කඳු පන්තියක් බව මනාව දැකගැනීමට හැකිවේ. ප්‍රධාන කඳු මුදුනට පැමිණ, එම කඳු මුදුනින් බැස ‘මාන’ ශාඛයන්ගෙන් වටවී තිබෙන කුඩා අඩි පාර ඔස්සේ තරමක් අසීරු පාගමනකින් අනතුරුව 5 වන කඳ මුදුනටත් ගමන් කළ හැකිය. එම අවසාන කඳු මුදුනෙහි සිට පහත බලන විට ඇල්ල කපොල්ල දිස්වේ. ඊට අමතරව රාවණා ඇල්ල ඇරඹෙන ස්ථානය සහ එම දිය පහර ඇල්ල කපොල්ල ඔස්සේ ගලා යන ආකාරයද දැකබලා ගැනීමට අවකාශය ලැබේ. මෙම කඳු පන්තියට ඉදිරි පසින් දිස්වනුයේ ‘ඇල්ල ගල’ කන්දය. රාවණා ගුහාව පිහිටා ඇත්තේ එම කන්ද තුළය. ඊට අමතරව වැල්ලවාය මාර්ගයේ වහාන ගමන් කරන ආකාරයත්, බදුලු දුම්රිය කඳු අතරින් සෙමින් සෙමින් ගමන් කරන ආකාරයත්, ‘98 Acres’ හෝටලයත් මනාව දිස්වේ. ප්‍රධාන කන්ද මුදුනේ බුදු පිළිම දෙකක් තැම්පත් කර තිබෙන අතර, එම පිළිමවලට සංචාරකයෝ වන්දනාමාන කරති. මෙහි තිබෙන අපූර්වත්වය හා නිදහස ජීවිතයට නව ජීවයක් එක් කරන සොඳුරු ඉසව්වක් බැවින් පුංචි සිරිපා කඳුවැටිය පොලිතීන්, ප්ලාස්ටික් දමා අපවිත්‍ර නොකර පා සටහන් පමණක් ඉතිරි කර මතකයන් පමණක් රැගෙන ඒමට වගබලා ගන්න.

 

සටහන සහ ඡායාරූප - මංජු ප්‍රදීප් කුමාර

 

2017-11-24-ent-41 2017-11-24-ent-42 2017-11-24-ent-43 2017-11-24-ent-44  2017-11-24-ent-46 2017-11-24-ent-47 2017-11-24-ent-48 2017-11-24-ent-49 2017-11-24-ent-50 2017-11-24-ent-51