ආදී මානවයින්ගේ නිජ බිමක් වූ පොත්ගුල්ලෙන් විහාරය
ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ලට නුදුරින් වූ අලවල ගම බොහෝ දෙනෙක් හඳුනන්නේ අලවල පොත්ගුල්ලෙන් විහාරය නිසා ය. මෙම විහාරය ඓතිහාසික වටිනාකම් කිහිපයක් නිසා අපට වැදගත් වේ. පෞරාණික වටිනාකම පමණක් නොව ඊට පෙර ජීවත් වූ ආදී මානවයින්ගේ නිජ බිමක් වූ මෙම ලෙන් සංකීර්ණය තුලින් ආදී මානවයින් ජීවත් වූ බවට සාක්ෂි සාධක හමු වී තිබේ. මේ එම විහාර භූමියේ ඓතිහාසික වටිනාකම් පිළිබඳ කෙරුණු විවරණයකි. සංචාරයට හෝ පුරාවිද්‍යා විශ්වාසයන් දැකබලා ගැනීමට කැමති ඔබට මෙම විහාරය බොහෝ වටින බව කිව යුතුය.
අලවල පොත්ගුල්ලෙන් විහාරය අක්කර හැටක වපසරියක් තුල පිහිටා ඇත. මෙම විහාරයට අයත් ඉපැරණි ලෙන් තුනක් මෙම භූමිය තුල ඇත.මෙම ලෙන් විහාරයේ බෞද්ධ වටිනාකම පිළිබඳ කතාකරන විට එහි ඉතිහාසය අනුරාධපුරය යුගය දක්වා ඈතට විහිදී යයි. එකළ මෙම ප්‍රදේශය භාරව සිටි ගම් ප්‍රධානියාගේ පුත් තිස්ස නැමැත්තා විසින් මෙම ලෙන් සංකීර්ණයක් සහිත භූමිය බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් පූජා කර තිබේ. ඒ පිළිබඳ සඳහන් කෙරුණු සෙල්ලිපියක් මෙම විහාරයට අයත් ලෙනක කටාරමට ඉහළින් කොටා ඇත. එම ලෙන වර්තමානයේදී පොත්ගුල් ලෙන ලෙසින් හඳුන්වයි.
ඉන් අනතුරුව අනුරාධපුරයේ වලගම්බා රාජ්‍ය සමය වනවිට මෙහි ලෙන් තුල විහාර ඉදි වී ඇත. මෙම ලෙන් විහාර සංකීර්ණයම ලෙන් තුනකින් සමන්විත වේ. විහාර ලෙන, පොත්ගුල් ලෙන, තාපස ලෙන එම ලෙන් තුනයි. විහාර ලෙන නමින් හැඳින්වෙන ලෙන තුල අනුරාධපුර යුගයේ සහ මහනුවර යුගයේ විහාර සිතුවම් දක්නට ලැබේ. මෙම යුග දෙකෙහිම නිර්මාණය කරන ලද බුද්ධ ප්‍රතිමා වහන්සේලා මෙම ලෙන තුළ වැඩ සිටියි. ගල සම්පූර්ණයෙන්ම මටසිළුටු කිරීමෙන් පසුව ලෙන තුල චිත්‍ර නිර්මාණය කර ඇත. එම චිත්‍ර අදටත් දකින්නට ලැබෙන අතර බිත්තියේ තිබෙන සිතුවම් ජලයට ඛාදනය වීම හේතුවෙන් දිය වී විනාශ වී ඇත. මෙම විහාරය සැතපෙන පිළිමයකින් හා සමාධි පිළිම දෙකකින් සමන්විත වේ.
මෙම විහාර භූමියට අයත් තෙවන ලෙන වන්නේ තාපස ලෙනයි. අතීතයේදී ස්වාමීන් වහන්සේලා වැඩ සිටි බවට විශ්වාසයක් ඇත. නමුත් අද වනවිට මෙම ලෙන තුලට ගමන් කිරීමට නොහැකි ලෙස ලෙන වනයෙන් වැසී ඇත. මෙම විහාරය තුල පැරණි සංඝාවසය හා පෞරාණික බණ මඩුව අදටත් දකින්නට ලැබේ. විහාරය තුල පැරණි ගල් පඩිපෙළක් ද දක්නට ලැබේ. ඉපැරණි නා ගසක් හා ඉපැරණි බෝධීන් වහන්සේ මෙම විහාර භූමිය තුළ අදටත් බෞද්ධයන්ට වන්දනාමාන සිදු කිරීමට වැඩ සිටියි. පොත්ගුල්ලෙන් විහාරයේ පුරාවිද්‍යාත්මක පසුබිම ගැන සඳහන් කළොත් මෙම විහාර භූමිය ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් වේ. මෙම භූමියේ පිහිටි ලෙන් වසර 37000කට වඩා ඉපැරණි ආදි මානවයින් වාසය කළ ස්ථානයක් බව සාධක මගින් හෙලි වී ඇත. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කරන ලද කැනීම්වලින් මෙම ස්ථානය බලංගොඩ මානවයා ජීවත් වූ ස්ථානයක් බවට හඳුනාගෙන ඇත. වසර 37000කට වඩා ඉපැරණි ආදී මානවයින්ගේ ඇටසැකිළි හා අවුරුදු 14000ට වඩා ඉපැරණි මානවයින්ගේ ඇටසැකිලි පුරා විද්‍යා කැනීම්වලදී මෙම භූමියේ තිබී සොයාගෙන තිබේ. මෙහිදී සොයාගත් ඇටසැකිලි ඇමරිකාවේදී කාබන් 14 නමැති පරීක්ෂණයට භාජනය කර ඉන්පසුව මෙම සාධකයන්හි කාල ගණනය කිරීම් කර ඇත.
ඔබ මෙම විහාරයේ ඓතිහාසික හා බෞද්ධ වටිනාකම නරඹන්නට යන්නේ නම් යා හැකි පහසුම මග වන්නේ නිට්ටඹුව අත්තනගල්ල මාර්ගය ඔස්සේ අලවලට පැමිණීමෙන්ය. ඔබ මෙවැනි ස්ථාන නරඹන්නේ නම් එහි ඇති වටිනාකම පළුදු නොකරන මෙන් සහ එහි ඇති දේපල වලට හානි නොකරන මෙන් ඔබෙන් ඉල්ලා සිටිමු.
සටහන - කැළුම් දේවින්ද / ඡායාරූප - කවීත් මිලින්ද