ආකර්ෂණීය කඳු ශිකරයක පිහිටා තිබෙන 'අම්බුළුවාව'
ස්වභාව ධර්මයේ මැවීම් සමග මිනිසුන්ගේ කුසලතා එක්තැන් වූ විට මතුවන්නේ විශ්වකර්ම නිර්මාණය. එවන් වූ විශ්වකර්ම නිර්මාණ ලෙස ගම්පොළ නගරයේ පිහිටා තිබෙන අම්බුළුවාව හඳුන්වාදිය හැකිය. ආකර්ෂණීය කඳු ශිකරයක පිහිටා තිබෙන මෙම අනගිභවනිය ස්ථානය දෙස්-විදෙස් සංචාරකයන්ගේ සිත්සතන් තුළ නොමැකෙන මතක සටහන් එක් කිරීමට සමත්වෙයි.
මහනුවර කියූ සැණින් අපහට සිහිපත් වන්නේ බෞද්ධයන්ගේ මුදුන්මල්කඩ බඳු ශ්‍රී දළදා මාලිගයය. එවන් නගරයක යම් වටිනාකමක් ගෙනදෙන ස්ථාන පිහිටා ඇත්තේ ඉතා අතළොස්සකි.
ගම්පොළ නගරයද වඩාත් ප්‍රසිද්ධ වූයේ එම ඉසව්වේ 'අම්බුළුවාව' නම් ස්ථානය ඉදිවූවාට පසුවය. ගම්පොළ නගරය තුළ සැරිසරද්දිත්, ගම්පොළ අවට පිහිටා තිබෙන ගම්මාන වෙත ගමන් කිරීමේදිත් අම්බුළුවාව කඳු ශිකරය ඉතා දර්ශනීය ලෙස දිස්වේ.
දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන ගම්පොළ නරගය, ඉතා කෙටි කලක් රට පාලනය කළ සිව්වන බුවනෙකබාහු රජතුමා විසින් ප්‍රථම වරට අගනුවර කරගන්නා ලද බව ඉතිහාසය පිළිබඳ ලියැවී තිබෙන පොත්පත්වල සටහන් වී තිබේ. පසුව වසර ගණණනාවක් යනතුරු ගම්පොළ රාජධානයේ අවසන් රජු ලෙසින් සැලකෙන පස්වන බුවනෙකබාහු රජතුමා විසින් රටේ රාජධානිය ලෙස ගම්පොළ අගනගරය කරගෙන සිට ඇත. සතුරු ආක්‍රමණ හේතුවෙන් පසුකාලීනව කන්ද උඩරට රාජධානි සංක්‍රමණය වීම හේතු කොටගෙන ක්‍රම‘යෙන් ගම්පොළ නගරකය පරිහානියට පත්වූවත්, වර්තමානයේ එම නගරයට නැවතත් %අම්බුළුවාව^ නිසා ජනප්‍රියත්වයක් ලැබී තිබේ.
මෙම සොඳුරු ඉසව්ව ජාතියට දායාද කරන ලද්දේ හිටපු අගමැතිවරයෙකු වූ දි.මු.ජයරත්න මහතා විසිනි. මෙම සොඳුරු ඉසව්වට පිවිසීම සඳහා මාර්ග ද්විත්වයක් තිබේ. ගම්පොළ නගරයට පිවිස එතැන් සිට හෙම්මාතගම මාර්ගයේ කිලෝමීටර් 03ක් පමණ ගමන් කිරීමෙනුත්, කොළඹ මහනුවර මාර්ගයේදී හමුවන මාවනැල්ල නගරයෙන් හෙම්මාතගමට පිවිස එතැන් සිට ගම්පොළ දක්වා දිවෙන මාර්ගයේ ගමන් කිරීමෙනුත් මෙම ස්ථතානයට ළඟාවීමට තිබෙන පිවිසුම් මාර්ගය හමුවේ.
මෙම ස්ථානය බැලූ බැල්මට රාජකීය උද්‍යානයක් ලෙස පෙනුණද, එය අපගේ අතීත සංස්කෘතිය විදහාපාන කැඩපතක් බඳුය. මෙහි පිවිසුම් දොරටුව ඉදිකර තිබෙනුයේ මහනුවර යුගයේ ගෘහ නිර්මාණ ශිල්පයට අනුවය. එය මහල් තුනකින් යුක්ත වන අතර, අපූරු සුන්දරත්වයකින් හෙබි එහි නිමැයුම් අපගේ ප්‍රෞඪ ඉතිහාසය සහ සංස්කෘතිය මැනවින් විදහාපායි.
පිවිසුම් දොරටුවෙන් එම භූමියට ඇතුල් වූ පසු ජීවිතයේ වැඩි කාලයක් කොන්ක්‍රීට් වනාන්තරවල දිවිගෙවන අපගේ විඩාබර වූ ගතත් සිතත් ක්ෂණයෙන් සන්සිදුවා ගැනීමට හැකියාව ලැබේ. ආනත වූ මාර්ගය ඔස්සේ මද දුරක් ගමන් කරන විට අපහට මුලින්ම හමුවන්නේ කුරුඳු, එනසාල්, කෝපි, ගම්මිරිස් වැනි බෝග සරුවට වගා කර තිබෙන භූමියකි. ඒ අසලින් ගලා හැලෙන දොළ පහර එම බෝගයන්ගෙන් පිරී ඉතිරී ගිය භූමියට තවත් අලංකාරයක් එක් කරයි.
ස්වභාවිකව නිර්මාණය වී තිබෙන ජෛව විවිධත්වයෙන් අනූන මෙම වනාන්තරය මැදින් ගමන් කිරීමේදී ගතට සහ සිතට දැනෙන සැහැල්ලුව, නිදහස වචනයෙන් විස්තර කිරීමට නොහැකිය. එය විදගැනීමට නම්, ඔබ එහි යා යුතුමය. එම මාර්ගය ඔස්සේ අවට පරිසරයේ තිබෙන සුන්දරත්වය විඳගනිමින් ඉදිරියට යාමේදී පොලිස් මුරපොළක් හමුවේ. එම මුරපොළ පසුකරනවාත් සමගම අපට හමුවන්නේ අම්බුළුවාව ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවය. දෙමහල් ගොඩනැගිල්ලක් වූ එහි පහත මාලයේ මුළුතැන් ගෙයක් සහිත සියලු පහසුකම්වලින් අනූන වූ නිදන කාමර 17ක් පවතී. එමෙන්ම ඉහළ මාලයේ 400 දෙනෙකුට පමණ අසුන්ගත හැකි සම්මන්ත්‍රණ ශාලාවක් පවතී. ඊට අමතරව පහත මාලයේ කොටසක අම්බුළුවාව ජෛව විවිධත්ව සංකීර්ණයේ ආකෘතිය ප්‍රදර්ශනයට තබා ඇති අතර, කුඩා කාමරයක පුස්තකායලයක්ද ඉදිකර තිබේ.
මෙම සම්මන්ත්‍රණ ශාලාව පසුකර කළුගල් පර්වතයක් හරහා ඉදිකර තිබෙන මාර්ගය ඔස්සේ ගමන් කිරීමේදී ශෛලමය උද්‍යානයක් හමුවේ. ස්වභාවිකව නිර්මාණය වී තිබෙන ගල්පර අතරේ වගාකර තිබෙන අනේක වර්ණයන්ගෙන් සමන්විත වූ මල්වර්ග එම උද්‍යානයට අමුතුම අලංකාරයක් ගෙන දෙයි. එම අලංකාර ඉසව් පසුකරමින් ගමනාන්තයට ළඟාවීමට පයින් ගමන් කරන්නේ නම් පැය 1 ½ ක් පමණ ගතවේ. වාහනයකින් කන්ද ඉහළටම ගමන් කිරීමට හැකි වුවත්, එවිට පරිසරයේ සුන්දරත්වය විඳගැනීමට අවකාශය නොලැබේ.
මෙම ගමන සොඳරු වූ මතක සටහන්වලින් සපිරි ගමනාන්තයක් කරගැනීමට නම් ඔබ ඒ වෙතට ළඟාවිය යුත්තේ දෙපයෙනි. එය තරමක් විඩාබර වුවද, කණ්ඩායමක් සමග ගමන් කිරීමේදී එය ඉතා විනෝදාත්මක අත්දැකීමකි.
ශාක වර්ග 200ක් පමණ අපට එම ගමනේදී දැකබලා ගැනීමට අවකාශය ලැබේ. සන්සුන්ව ගමන් කරන්නේ නම් සාවුන්, මුවන් වැනි සතුන්ද වනාන්තරය තුළදී දැකගැනීමට හැකියාව ලැබෙන බව එහි සේවකයෙක් අප හා පැවසීය. මුළු ගමනෙන් ¾ක් පමණ සම්පූර්ණ කළ පසු අවන්හලක් හමුවේ. එය විඩාව නිවාගැනීමට හැකි අපූරු ස්ථානයකි. උණු උණු කහට කෝප්පයකින් හෝ කෝපි කෝප්පයකින් සප්පායම් වී මෙතෙක් වේලා විඳගැනීමට හැකිවූ සොඳුරු අත්දැකීම්වලටත් වඩා සොඳුරු වූ අත්දැකීම් විඳගැනීමට හැකි අපගේ ගමනාන්තයට ප්‍ර‘බෝධයෙන් යුතුව ගමන් කිරීමට හැකියාව ලැබුණි.
අම්බුළුවාව වඩාත් ප්‍රසිද්ධ වී තිබෙනුයේ මෙය සර්ව ආගමික මධ්‍යස්ථානයක් හෙයිනි. මෙහි පැමිණෙන ඕනෑම කෙනෙකුට කඳුමුදුනේ තනා තිබෙන ප්‍රවිෂ්ට දොරටුව දෙස බැලීමේදී එය මනාව වටහා ගැනීමට හැකිය.
මෙම භූමියට ඇතුල් වූ විට විචුර්ත ශ්‍රවනාගාරය තුළින් අහස උසට විහිදෙන ස්තූපයත්, ඊට ප්‍රතිවිරුද්ධ උයනේ පිහිටි මුස්ලිම් පල්ලිය, කෝවිල, දෙව්මැදුර, බෞද්ධ මන්දිරය හා බෝධිය යන සර්ව ආගමික මධ්‍යස්ථානයකුත් සංචාරය කරන ඔබට දැකගැනීමට අවකාශය ලැබේ. අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ශාඛාවක අංකුරයක් මගින් රෝපන්‍ය කර තිබෙන හරිත පැහැයෙන් දිදුලන අභිමානවත් බෝධීන් වහන්සේත්, යාබදව පිහිටි බුද්ධ මන්දිරියත් වන්දනාමාන කරගැනීම මෙහි සපැමිණෙන දේශීය සංචාරකයන්ගේ අවධානය නිතැතින්ම ලැබෙන ස්ථානයකි.
ඒ සියල්ලටම වඩා එහියන සෑම කෙනෙකුගේම දැඩි අවධානනයට ලක්වෙන්නේ මෙහි අඩි 243ක උසින් යුතුව නිර්මාණය කර තිබෙන චෛත්‍යය වෙතය. කෘෂිකර්මය පදනම් කර ගනිමින් නිර්මාණය කොට තිබෙන මෙම චෛත්‍යය නම්කර තිබෙන්නේ 'ගොවිජන සෑය' නමිනි.
මෙම චෛත්‍ය‘යේ මුල් කොටස වී බිස්සක හැඩයෙන් නිර්මාණය කර ඇති අතර, ගර්භය වට්ටක්කා ගෙඩියක හැඩයෙන්ද, ඉහළ කොටස කොකෝවා ගෙඩියක හැඩයෙන්ද යුක්ත වේ. අවසාන කොටස චූඩා මානික්‍යයයි. මෙය අපරටේ ගොවිතැන, එළවළු හා පලතුරු වගාව සංකේතවත් කරයි. මෙම චෙත්‍ය‘යේ කොත් වහන්සේගේ උස ප්‍රමාණය අඩි 17 ½ කි. චෙත්‍ය‘යේ ගර්භය තුළ එකවර 500කට අධික පිරිසකට රැඳී සිටිය හැකිය. ගර්භය තුළ තිබෙන පඩිපෙළ ඔස්සේ ඉහළටම ගමන් කිරීමට හැකිවීම මෙහි තිබෙන විශේෂත්වයකි.
එම චෛත්‍ය‘යේ ඉහළටම ගොස් සිටිය හැක්කේ එක් අයෙකුට පමණකි. මන්ද පඩිපෙළ ඉහළට යන්න යන්න පටුවේ. පඩිපෙල් ළඟින් ළඟින් පියහිටා තිබෙන හෙයිනුත්, තරබාරු කෙනෙකුට එහි යාමට නොහැකිය. රාත්‍රී කාලයේදී විදුලි බුබුළුවලින් ආලෝකමත් වන මෙම සෑය දුර සිට බලන්නෙකුට දිස්වන්නේ අහසේ පාවෙන කේතුවක් ලෙසිනි.
ගොවිජන චෙත්‍යයට ඔබ්බෙන් පිහිටි විවෘත දෙමහල් ගොඩනැගිල්ල මෙහි තිබෙන නැරඹුම් මැදිරිය වෙයි. එහි දිග මීටර් 20ක් හා පළල මීටර් 15කි. ඉහළ මාලයේ මහනුවර ගෘහ නිර්මාන ශිල්පයට අනුව නිමවූ වහලක් ඇත. එහි දුරදක්න සහ කඳු මාපක උපකරණ සවිකර තිබෙන අතර, එක මහලක එකවර 200ක පමණ පිරිසකට ගැවසිය හැකිය. මැදිරිය සිට අවට කඳු 40කට අධික සංඛ්‍යාවක සිරි නැරඹිය හැකිය. මෙහි තිබෙන බුදු මැදුරේ අඩි 18ක පමණ භූගත කොටසක උපාසක උපාසිකාවෝ 500කට පමණ සහභාගී විය හැකි පරිදි භාවනා මධ්‍යස්ථානයක්ද පිහිටා තිබේ. එමෙන්ම ජාති, ආගම්, කුල භේදයකින් තොරව ඔබට අවශ්‍යනම් මෙහි පිහිටා තිබෙන හින්දු කෝවිල, ක්‍රිස්තියානි පල්ලිය සහ මුස්ලිම් පල්ලිය වෙතද ගොස් වන්දනාමාන කිරීමට හැකිය.
කන්දක් තරණය කර කදු මුදුනේ තිබෙන අඩි 400ක පමණ උස්න් යුතු කුලුනේ ඉහළට ගමන් කිරීම ඉතා සුන්දර මෙන්ම, ත්‍රාසජනක අත්දැකීමක් වන බව නොඅනුමානය. ගතත් සිතත් සිසිල් කරවන සීත සුළඟත්, විටින් විට අප වසා ගන්නා මීදුම් පටලයත් මෙම ඉසව්වේ සුන්දරත්වය තවත් ඉහළ නංවයි. ස්වභාවික පරිසරයක කෘතීමව තනා තිබෙන මෙම සොඳුරු ඉසව්ව ලොකු කුඩා කාහටත් සංචාරය කිරීමට හැකි කදිම තෝතැන්නකි. ඔබත් එහි යන්න, ගොස් එහි අසිරිය විඳගන්න. මෙය සර්ව ආගමික මධ්‍යස්ථානයක් බැවින් හැකි තරම් දුරට සන්සුන් මනසින් එහි පියනගන්න, හැසිරෙන්න. ඔබ එහි යන්නේ නම් පා සටහන් පමණක් එහි ඉතිරිකර මතක සටහන් පමණක් රැගෙන එන්න.
සටහන සහ ඡායාරූප - මංජු ප්‍රදීප් කුමාර / සුපුන් සම්පත්