අඹන් ගඟ සහ වස්ගමු වනය මැදින් සෙවණ වුණු බුදුරුවයාය විහාරය
පොළොන්නරුව යුගය පිළිබඳව ඉතිහාසයේ සඳහන් වන්නේ ආගමික, සංස්කෘතික, ආර්ථික සහ සමාජීයව ඉතා දියුණු, විශිෂ්ට රාජධානියක් ලෙසය. ඒ බව පොළොන්නරු යුගයේ නටඹුන් අදටත් සාක්ෂි දරයි. පොළොන්නරු යුගයේදී බුද්ධ ශාසනයට විශාල වශයෙන් රාජ්‍ය අනුග්‍රහය ලබා දී තිබේ. එකල වෙහෙර විහාර විශාල වශයෙන් ආරම්භ කර තිබෙන අතර බුදුරුවයාය පුරාණ විහාරයද එකළ ආරම්භ කළ විහාරයකි. නමුත් බුදුරුවයාය විහාරය පිළිබඳව සහ එහි අතීතය පිළිබඳව දන්නේ සුළු පිරිසක් වන අතර මෙම විහාරය සියවස් ගණනාවක්ම කාලයේ වැලිතලාවෙන් වැසී ගොස් තිබිණි.
දඹුල්ල - බකමූණ මාර්ගයේ කිලෝමීටර් කිහිපයක් ගමන් කරන විට බුදුරුවයාය පුරාණ විහාරයට පිවිසෙන මාර්ගය හමුවේ. බුදුරුවයාය පුරාණ විහාරයේ ඉතිහාසය ලියැවෙන්නේ ලංකාවේ විශිෂ්ඨතම රාජධානියක් ලෙස සැලකෙන පොළොන්නරුව යුගයේදී වන අතර එකළ පොළොන්නරුවෙහි පාලකයන් මෙම විහාරයට පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ලැබූ බවට විහාරභූමියේ දක්නට ලැබෙන පුරාවිද්‍යාත්මක සාධක සාක්ෂි සපයයි. විශේෂයෙන් බුදුරුවයාය විහාර භූමියේ නිර්මාණය කර තිබෙන සැපපෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ හේතුවෙන් අතීතයේ සිටම මෙම විහාරය බෞද්ධයන්ගේ ප්‍රධාන වන්දනීය ස්ථානයක් වූ බවට පැවසෙයි. මෙම විහාර භූමිය පුරාවටම දැකිය හැක්කේ පුරාවිද්‍යා වටිනාකමින් අනූන පොළොන්නරු යුගයෙහි ශීල්පීය නටඹුන්ය. පොළොන්නරුවේ අග්‍රගන්‍ය පාලකයෙක් වූ මහා පරාක්‍රමබාහු රජුගේ රාජධානි සමයේදී ඉදිකෙරුණු බවට සාක්ෂි සපයන සැතපෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් බුදුරුවයාය විහාරයේ තිබෙන අතර එම ප්‍රතිමා වහන්සේ සම්පූර්ණ වශයෙන් නිම කිරීමට නොහැකි වූ හෝ මොනයම් හේතුවක් නිසා සම්පූර්ණයෙන් නිම කර නොමැත. ගම් වැසියන්ගේ මතය වන්නේ මෙම සැතපෙන පිළිම වහන්සේ කටු සටහනක් උදෙසා නිර්මාණය කර ඇති බවයි. අඩි විසි පහක් පමණ දිග මෙම සැතපෙන පිළිමය දිගු ගල් පර්වතයක් තුළම කැටයම් කොට ඇති අතර තන්තිරිමලේ සැතපෙන පිළිමයට සහ පොලොන්නරුව ගල් විහාරයේ සැතපන ප්‍රතිමා වහන්සේට යම් සමානකමක් දක්වන බව කිව හැකියි. කෙසේ වූවත් මෙම ප්‍රතිමා වහන්සේ එකල සිටම බෞද්ධයන්ගේ වන්දනීයත්වයට ලක් වූ බවට ඇති ප්‍රධානතම සාධකය වන්නේ ඊට පසෙකින් වන පැරණි චෛත්‍ය රාජයා නිසාය. එබැවින් අතීතයේ සිටම මෙම ස්ථානයේ ඉපැරණි විහාරයක් තිබෙන්නට ඇති බවට සිතිය හැක. දැනට සිදු කර ඇති කැණීම් තුළින් බුදුරුවයාය විහාරය භූමිය තුළින් ඉපැරණි සෙල්ලිපි දෙකක් පමණ සොයාගෙන තිබෙන බවද අපට දැනගන්නට ලැබුණු අතර මෙහි එකළ අංග සම්පූර්ණ වූ සංඝාවාසයක් තිබුණු බවටද අවට දැකිය හැකි ගල්කණු සහ අනෙකුත් නටඹුන් තුළින් සිතිය හැක.
මෙම විහාරයට අතීතයේ භාවිත කළ නාමයන් හෝ මෙහි නිවැරදිම නාමය කුමක්ද යන්න තවමත් සොයාගැනීමට කිසිවෙකුත් සමත් වී නොමැති අතර 'බුදුරුවයාය' යනු හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා විසින් ගම් වැසියන්ගේ සහයෝගයෙන් තැබූ නමයි. මෙම ප්‍රදේශයේ බොහෝ ගම්බිම් සදහා 'යාය' යන නම භාවිතා කරන බැවින් මෙම ස්ථානයට බුදුරුවයාය යන නම තැබූ බව පැරණි ගැමියන් පවසයි.
තවද අතීතයේ රජවරුන් විදේශීය රාජ්‍යයන් සමග මැණික් වෙළඳාම් සිදු කළ ප්‍රදේශයක් ලෙස මෙම ග්‍රාමය පිළිබඳව ඉතිහාසයේ සඳහන් වේ. පොලොන්නරු යුගය බිඳ වැටීමෙන් පසු මෙම පුදබිමට නිසි රාජ්‍ය අනුග්‍රාහය නොලැබී යාම හේතුවෙන් ක්‍රම ක්‍රමයෙන් බැතිමතුන්ගෙන් ඈත් වන්නට පටන්ගෙන ඇත. කෙසේ නමුත් පසුකාලයේදී මෙම විහාරය සොයා ගෙන ඇත්තේ දිඹුලාගල මහා නායක හිමියන් විසිනි. උන් වහන්සේ බුදුරුවයාය විහාරයේ වසර දොළහක් පමණ වැඩ වාසය කර ඇත.
අඹන් ගඟ හා වස්ගමුව ජාතික වනෝද්‍යානය මැද මෙම විහාරය පිහිටා තිබේ. විහාරයට කිලෝමීටර් කිහිපයක් ඈතින් වස්ගමුව රක්ෂිතය තුළ ඉපැරණි රජ මාළිගයක් තිබෙන බවට ද ගම්වැසියන් පවසයි. එම මාලිගය පොලොන්නරු යුගයේ පාලනය කළ බොහෝ රජවරු සහ රාජ කුමාරවරු විසූ බවට සාධක තිබෙන අතර එම මාලිගයේ සිට දිය නෑමට පැමිණි කුමාරවරයෙකු පර්වතයකින් පෙරළී වැටී මිය ගිය හේතුවෙන් එම ස්ථානයට 'කුමාර ඇල්ල' නමින් හඳුන්වන බවද ජනප්‍රවාදයේ සඳහන් වේ. මෙම කුමාර ඇල්ල නම් ස්ථානය බුදුරුවයාය ගමට නුදුරින් පිහිටා ඇත.
ඉදිරියේදී බුදුරුවයාය පුරාණ විහාරයේ පුරාවිද්‍යාත්මක සහ පූජනීය වටිනාකම පිළිබඳව ග්‍රන්ථයක් රචනා කිරීමට සහ මෙම විහාරස්ථානය බෞද්ධයන්ට වැඳ පුදා ගැනීමට හැකිවන ලෙස ද සකස් කිරීමට මෙම විහාරයේ විහාරාධිපති පොල්වත්තාකන්දේ සද්ධානන්ද හිමියන් අපට පැවසීය.
කැළුම් දේවින්ද / ඡායාරූප සුපුන් උදයංග