අපූරු ජනප්‍රවාද රැගත් පහන්ගල
මෙම චාරිකා සටහන තැබෙන්නේ ඓතිහාසික රිදී විහාරය ආසන්නයේම පිහිටි අපූරු ජනප්‍රවාද රැසක් සහිත පහන්ගල පිළිබඳවයි.
රිදී විහාරයේ සැරසුම් ගල චෛත්‍ය ආසන්නයෙන් වැටී වනාන්තරය ඔස්සේ ගමන් කර පැය 2කට ආසන්න කාලයකින් පහන්ගලට ළඟා වීමට හැකියාව පවතියි. මෙම දුෂ්කර ගමනින් අඩක් පහන්ගලට ආසන්නයේ ස්ථාපනය කර ඇති සන්නිවේදන කුළුණට ජලය සපයන බට යොමුවන දිශාවට ගමන් කිරීමෙන් අපහසුවකින් තොරව නිමා කල හැකිය.
පහන්ගල පිළිබඳවද ඇති ජනප්‍රවාද කිහිපයකි. රිදී විහාරය ඉදිකරන සමයේ කුමාර බණ්ඩාර දෙවියන්ට භාර වෙමින් පහන් දැල්වූ ස්ථානයක් ලෙස පහන්ගල සළකනු ලබයි. මේ නිසා මෙම ස්ථානය පහන්ගල ලෙස නම් තැබුණු බව ගම්මුන්ගේ මතයයි. පහන්ගලේ සිට බලන විට බතලගොඩ වැව ඇතුළුව කඳු හා හරිතාවරණයෙන් වැසී ගිය මනස්කාන්ත දර්ශනයක් හොඳින් දැකබලා ගැනීමට හැකි අතර බතලගොඩ වැව ඉදිකරන සමයේදී ද දෙවියන්ට මෙම ස්ථානයේ පහන් දැල්වූ බවට ඇතැමුන් මත පළ කරති.
තවත් අපූරු ජනප්රවාදයකින් කියැවන්නේ පහන්ගල මුදුනේ ස්ථාපනය කළ ප්‍රභල දර්පණ භාවිතා කරමින් සෑදූ විශේෂ උපකරණයක පහනක් දල්වා ඉන් නිකුත් වන ආලෝකය ආධාරයෙන් රාත්‍රී කාලයේද බතලගොඩ වැවෙහි ඉදිකිරීම් සිදුකල බවයි. පහන්ගල ආශ්රිත වනාන්තරය තුළ ඉහළ ජෛව විවිධත්වයක් දැකගත හැකිය. ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ දුර්බභ මීමින්නන් මෙම පරිසරයේදී දැක ගැනීමට හැකියාව පවතියි. මෙම පහන්ගල කොටස් දෙකකින් යුක්ත වන අතර අනෙක් කොටසට යාමට කොටස් දෙක යා කරමින් ස්වභාවිකව පාලමක් ලෙස වැඩුණු ගසක් ආධාරකරගත යුතුය.
සටහන සහ ඡායාරූප - නඳුන් ශ්‍යාමාල්