අප්සරාවෝ නිලූපුල් පුදන පිදුරංගල



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-03-27-ent-210

සීගිරියට වහින වැස්සේ අමුතු සුන්දරත්වයක් වෙයි. උස් වූ තුරුවලින් සෙවන වූ බිමට වැටෙන වැහි වතුර ගුරු පාට පාරවල්වල චිරි චිරි මඩ මතුකර ඇත. ඒ මඩ මතින් ඇවිද යෑම අපහසුය. එනිසාම සෙවණකට වී මම සීගිරියට වැටෙන වැස්ස දෙස බලා සිටිමි.

අඩ හෝරාව, හෝරාවක් බවට පත්විය. තවමත් වැස්සේ අවසානයක් නැත.

 

‘මේ වැස්සෙ තෙමි තෙමී සීගිරි ගලට නගින්නෙ කොහොමද?’2019-03-27-ent-203

මා ඇසුවේ අපේ නඩයේ අනෙක් අයගෙනි.

සියල්ලන්ගේ මුහුණුවල වූයේ නිහඬතාවයයි.

නිහඬ බව ප‍්‍රශ්නයකට පිළිතුරක් නොවේ. එහෙත් නිහඬතාවය, විරෝධයක් නොමැති බව හඟවන්නකි.

‘බලමු තව ටිකක් වැස්ස පායයිද කියලා.’

ඒ ද මා ය.

කාලය ගෙවී ගියේය. එහෙත් වැස්ස අවසන් වූයේ නැත. සීගිරියට මුදුන් වී තිබුණේ බරසාර මේ කුලකි!

බැරිම තැන සීගිරි යන්නට ආ අපි ආපසු හැරුනෙමු.

එහෙත් තුරු මැදින් විරාජමාන වී අහස දෙස බලා සිටින සීගිරි ශිඛරය විවිධ පැතිවලින් දැක බලා ගැනීම පිණිස අපි ඉදිරියට ගියෙමු. අපේ ගමන් මග වැටී තිබුණේ පිදුරංගල දෙසටය. අලි වැටවල්වලින් වෙන්වූ වනාන්තරය එක් පසෙකය.

‘මේ හරියට අලි එනව ඇති.’

මම මටම කියා ගතිමි.

අලි වැටෙන් වෙන් වූ පැත්තෙන් වැවක් දිස්විය. වනයට ඇරුණ වනගත වැවක් වූ එය වන රජදහනේ වෙසෙන අලි ඇත්තුන්ට පිහිනුම් තටාකයක් විය යුතුය.!

අපේ වාහනය නතර කර කෝකටත් කියා වැවට එබුනෙමු.

 

‘බැරිවෙලාවත් අලියෙක් හිටියොත්?’

එසේ නම් එය සොඳුරු අත්දැකීමකි.

අන්තිමේදී පිදුරංගල රජමහා විහාරය අපේ වම්පසින් විය. එහෙත් ඒ අවට හැමතැනකම වාහන නතර කර තිබුණෙන් පාරෙන් ඉවත තිබූ රථගාලට අපේ වාහනය හැරවීමු.!

අසලම තිබුණේ පොකුණකි.

සියල්ලට කලින් අපි ඒ වැව කරා ගියෙමු. අතීතයකට හිමිකම් කී එය, පිදුරංගල විසූ මහ තෙරුන්ට පැන් පහසුව සැලසූ දැවැන්ත පොකුණක් වීමට ද බැරි නැත.

ඉන් එහා ගල් පර්වතයකි. එහි නගින්නට ඇත්නම් එතැන අපූරු ගල් අසුනක්ද තිබේ.

පොකුණෙහි තැන තැන ඕලූ පඳුරුය. ඒ ඇතැම් එකක සුදු පාට මල් පිපී තිබිණි.

අතීතයේදී මේ පොකුණේ පිපි ඕලූ මල් පිදුරංගල කඳු මුදුන වෙත රැුගෙන යන්නට ඇතැයි මගේ සිත කීවේය.

දැන් වැස්ස අවසන්ය.

අපි පිදුරංගල රජමහා විහාරයට පියවර තැබීමු.

එතැනට පිදුරංගල අපූරුවට පෙනේ. අහස හරහා බැඳි දැවැන්ත පවුරක් මෙන් නැගී සිටින පිදුරංගල ගිරි ශිඛරයේ එක ගසක්වත් දක්නට නැත. එය තනිකරම ගලකි.

පිදුරංගල ගල මුදුන ලිස්සන්නේ නැද්ද? ගල අද්දරටම පැමිණ මිනිසුන් ‘සෙල්ෆි’ ගහන්නේ ඇයි? වැනි ප‍්‍රශ්න හදවතේ තෙරපෙන්නට විය. එහෙත් අපි බොහෝ වේලාවක් තිස්සේ මේ ගල මුදුන දෙස බලා උන්නෙමු.

ඊළඟට පිදුරංගල පන්සල මැදින් වූ පාර දිගේ පිදුරංගල ගල මුදුනට යන්නට පිටත්වීමු. ධාතු මන්දිරය එක් පසෙකය. බෝධිය අනෙක් පැත්තේය. අඩු ඇඳුම් සහිත සුදු ළඳුන්ට සළු පළඳවන ස්ථානයද එතැනමය.

මඳක් ඉදිරියට ගිය විට බුදුගෙය හමුවේ. ගල මුදුනට යන පාර ඇරඹෙන්නේ එතැනිනි.

වැස්සට තෙත බරිත වූ ගස් අතරින් යනවිට නෙතට අසුවන්නේ අඳුරය. එහෙත් පඩියෙන් පඩිය නඟිමින් යනවිට ආපසු බසින උදවියගේ මුහුණු පෙනේ. ගලට නගින අයගේ පසුපසද පෙනේ.

ටික දුරකදීම පෙනෙන්නේ ගල් ආරුක්කුවකි. ඒ ගල් ආරක්කුවෙන් ඇතුල් වී පඩිපෙළ දිගේ නගින විට හැෙඟන්නේ වෙනම ලෝකෙකට යන බවකි.

මට හිතෙන්නේම මේ කවුළුව අතීතයට ඇරුණු විවරයක් කියාය. දැන් අපි ඇතුලූ වන්නේ අතීතයට කියාය.

මම මොහොතකට දෙනෙත පියා ගතිමි. අතීතයට යන්නට කලින් දෙනෙත වර්තමානයෙන් ගලවා ගත යුතු බැවිනි.

ගල් පඩි කැඞී බිඳී ගොස්ය. ඇතැම් තැනක පාසිද බැඳී තිබේ. විවිධ වර්ගවල ගස් ද වැල් ද එකිනෙකාට පෙමින් බැඳී කොඳුරති. ඒ ගස්වල පේ‍්‍රම කතා සිහින් ශබ්ද ලෙසින් විටින් විට ඇසෙයි.

වැහි පොදයක් වැටෙයි!

හැබැයි ඒ දැන් වහින වැස්සක නොවේ. මීට දෙහෝරාවකට පමණ පෙර වැටුණු වැස්සෙන් ගසක කොළයක ඉතිරිව තිබූ වැහි පොදයකි.

ඉදිරියෙන් සුදු ජාතික යුවලකි. යුවතිය ඇඳ සිටින්නේ කෙටි ගවුමකි. එතුළින් ඇගේ සුදු දඟ යුග පෙනෙයි.

විය නොහැක!

අපි මේ ඇවිද යන්නේ අතීතයට නම් හමුවිය යුතු සුදු ළඳුන් නොවේ. සීගිරි අප්සරාවන්ය. නිල් මහනෙල් දෝතින් ගත් අප්සරාවන්ය!

මම විපිළිසර වෙමි.

අප ඇතුළු වූ අර ගල් කවුළුව අතීතයට මඟක් නොවේ. මේ වර්තමානයේ ඉතිරිව ඇති පිදුරංගලකි.

අතීතයට යන පාර මට වැරැුදී තිබේ.

සිතේ කවි සිතුවිලි මතු වන්නට ඉඩ නොදී මම ගල් පඩියෙන් පඩිය නඟින්නට වෙමි. බහින අයගේ මුුහුණ බලමින්ද, ඉහළට යොමුවුණු මාර්ගය බලමින්ද ගියෙමි.

අඩි දෙසීයක් පමණ ගමන් කළ පසු හමුවන්නේ රූස්ස ගලේ පාමුලයි. ඒ ගල යට දිගු ලෙනකි. ඒ ලෙන සිංහල රජ කාලයට, හරියටම කිවහොත් කාශ්‍යප රජ සමයට අපව කැඳවා ගෙන යයි. රහත් හිමිවරු බවුන් වැඩූ කුටි සේම දිගු සැතපෙන බුදුරුවක් සහිත ලෙනක් ද තිබේ. කිසියම් කාලයක නිදන් හොරුන් විසින් කඩා බිඳ දමන ලද බුදු බඳ ගඩොල් යොදා පිළිසකර කර ඇති අයුරුද පෙනේ. කිසිවෙක් මල් පුදා නොතිබුණද දෝත් එක්කර බුදු සිරිපා නැමදීමි.

මැටියෙන් සහ ගඩොලින් තනන ලද ලංකාවේ දිගම සැතපෙන බුදුරුව මෙය බව ඉතිහාසයේ සඳහන් වේ. අඩි හතළිස් අට හමාරක දිගින් යුතු මේ බුදුරුව සහිත ලෙන පිදුරංගල තිබෙන දිගුම ගල් ගෙය බවද සඳහන් වේ.

දුෂ්කර ගමනේ වෙහෙස නිමෙන්නට මෙතැන සොඳුරුම ඉසව්වයි. බුදුරුව මුහුණ යොමුකර තිබෙන්නේ ප‍්‍රපාතයකටය. එතැනට පෙනෙන දසුන අතිශය සුන්දරය.

ඈතට ඈතට විහිදුනු වනාන්තරයේ හරිත පැහැය යටකරගෙන සුදු පාට මීදුම් රොටු අහසට නඟින හැටි බලන්නට අපූරුය. දිවා කාලය වුවත්, හිරු විවේක ගත් දවසක් බැවින් මේ මිහිදුම් සේල මොනවට පෙනෙයි.

එතැන ඇති ගල් පව්ව ලෝකාන්තයක් නිර්මාණය කළා සේය. බෑවුම් සහිත ගල් පව්වෙන් ලිස්සා ගියහොත් නතර වන්නේ ලෝකාන්තයකය. ඒ නිසා අයින දිගේ ගමන් නොකරන්නැයි ඉල්ලීමකි.

මම ඉහළ බලමි.

පිදුරංගල ගල් පව්වේ සිරස පෙනේ. එහෙත් ඒ වෙත යන්නට නිරවුල් මඟක් නැත. ගල් අතරින් පනිමින්, ලිස්සමින් පරිස්සමට යා යුතු ගමනකි. සෙනඟ තදබද දාට මේ ගමන වඩාත් දුෂ්කර වන්නේ යා යුතු මාර්ගයේ දෙදෙනකුට මාරුවීමට නොහැකි නිසාය.

ගලට ගිය පිරිස ආපසු එනතුරු මිනිත්තු දහයක් තරම් බලා ඉන්නට සිදුවිය. ඊළඟට පිරිසක් ගලට යන්නට පටන් ගනියි. අපිදු ඒ පිරිසේ පසුපසට එක්වීමු. වැස්සට පෙඟුණු ගල් පතුරුවල මතුපිට ලිස්සනසුළුය. එනිසා ගමන අනතුරුදායකය. බැරිවෙලාවත් පයක් ලිස්සුවොත්? ගමනාන්තය කොහි වේදැයි කියන්නට කිසිවෙකුටත් නුපුළුවන.

ඒ ලිස්සන ගලට ඔබ්බෙන් සිටි පිංවතෙක් අතක් පෑවේය.

ඔහුගේ අතේ එල්ලූනෙමි.

ඔහු අත දුන්නා නොවේ. මගේ ශරීරයේ සියලූ බර ඔහුගේ අතින් ඇද ගත්තේය. ඇසිල්ලකින් මා නතර වූයේ අර ලිස්සන ගලෙන් එහා පැත්තේය.

‘මම පුංචි කාලෙ ඇවිත් තියෙනවා නේද?’

මගේ දුව පවනි එක්වරම ඇසුවාය.

මා පිදුරංගලට මීට පෙර පැමිණි බව මතකය. හැබැයි ඒ කිසි දවසක පිදුරංගල නඟින්නට මේ තරම් සෙනඟක් පැමිණ සිටියේ නැත. දුෂ්කර ගල්පව් අතරින් එදා ආ ගමන මේ තරම් දුෂ්කර වූ බවක් ද මතක නැත. එකක් පරිසරය වියැළී තිබීමය. එනිසා අද මෙන් මේ ගල් ලිස්සුවේ නැත.

ගල් උගුල් අතරින් අවසානයේදී පිදුරංගල මුදුනට නැග ගත්තෙමු.

නීල් ආම්ස්ට්‍රෝං සඳට ගිය දවස, එඞ්මන් හිලරි හිම ගිරට නැගුණ දවස මෙන් ජයග‍්‍රාහී හැඟීමක් හිතට දැනේ. හැබැයි මට කලින් පිදුරංගලට ආ පිරිස් බොහෝය. ඔවුහු ගල් ශිඛරය මත කෙටි අඩි තබමින් ඇවිදින හැටි, ගලේ කෙළවරට ගොස් ඡුායාරූප ගන්නා හැටි මට පෙනෙයි.

පි¥ ආරණ්‍ය ගල යන වචන තුන එකට එක්ව පිදුරංගල යන නම හැදුණු බව ඉතිහාසඥයෝ සැක පහළ කරති.

විය හැකිය!

කාශ්‍යප රජු සීගිරියට පැමිණෙන විට එය භික්ෂු ආශ‍්‍රමයකි. බවුන් වැඩූ රහත් හිමිවරු එහි විවේකීව සංසුන්ව ජීවත්වූහ.

‘‘මේ ගල මට රාජධානියකට සුදුසුයි.’’

කාශ්‍යපයන්ට සිතෙන්නේය.

එහෙත් ඒ සඳහා බවුන් වඩන හිමිවරුන් එතැනින් ඉවත් කළ යුතුය. එසේ නම් පළමුව ඒ හිමිවරුනට ආශ‍්‍රමයක් තනාදිය යුතුය.

රජු පිදුරංගල දකින්නේ ඔය අතරතුරය.

රාජ පුරුෂයන් යවා පිදුරංගල ගවේෂණය කරවන විට එය මිනිස් වාසයෙන් තොර සංසුන් වන අරණක් බව පෙනිණි. අවසානයේ ඒ ගල ආරණ්‍යයක් සේ පූජා කළේය. එලෙස පිදූ ආරණ්‍ය ගල එතැන් පටන් පිදුරංගල විය.

ඉනික්බිති සීගිරිය රජ මාළිගයක් විය. රජුගේ අන්තඃපුරයේ සිටි විවිධ බිසෝවරු නිල් මහනෙල් මල් දෝතින් ගෙන පිදුරංගලට වන්දනාවේ ආහ.

අදටත් ඔවුන් අප්සරාවන් සේ සීගිරි ගලට නැඟී බලා සිටින්නේ මෙන්න මේ පිදුරංගල දෙසය!

 

ශාන්ත කුමාර විතාන

සේයාරූ- දිනේෂ් පෙරේරා

 

2019-03-27-ent-201 2019-03-27-ent-211  2019-03-27-ent-209 2019-03-27-ent-208 2019-03-27-ent-207 2019-03-27-ent-206 2019-03-27-ent-205 2019-03-27-ent-204  2019-03-27-ent-202