අංගම්මැඩිල්ල ජාතික වන උද්‍යානය - පොළොන්නරුව



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-09-13-ent-88

'අංගම්මඩිල්ල' ඔබ බොහෝ දෙනෙකුට නුහුරු නුපුරුදු නමක් විය හැකිය. ඇතැම් විට ඔබ මෙහි සංචාරයෙහි නිරත වූවෙකු විය හැකිය. ඒ කෙසේ වූවද ඔබ සංචාරය කළ යුතුම අපූරු තැනක් ලෙස අංගම්මැඩිල්ල ජාතික වන උද්‍යානය හඳුන්වාදීමට හැකිය.

මෙම වන උද්‍යානය සොඳුරු මෙන්ම ජාතික හා ඓතිහාසික ලෙස ශ්‍රී ලාංකික අපට ඉතාමත් වැදගත් ස්ථානයක් වන නිසාම මෙහි සංචාරය කිරීම කාටවුවද ඉතා මිහිරි අද්දැකීමක් වනු නියතය.

අංගම්මැඩිල්ල පාරම්පරික මිනිසුන් ජීවත් වූ පුරාණ ගම්මානයකි. මෙහි ඓතිහාසික වටිනාකම වන්නේ මහා පරාක්‍රමබාහු රජතුමා විසින් අඹන් ගඟේ සුවිශේෂ ස්ථානයක් ඉදිකළ අමුණ "අංගම්මැඩිල්ල" ආශ්‍රිතව පිහිටා තිබීම බව ඉතිහාසයෙහි සඳහන් වෙයි.

පරාක්‍රමබාහු රජතුමා මෙරට කෘෂිකාර්මික නවෝදයක් ඇති කළ රජ වරයෙකු ලෙස ඉතා ප්‍රසිද්ධියක් උසුලයි. එරමුදු වැව, දුඹුකුළුවැව, තෝපා වැව එක්කරමින් ඉදිකරන ලද පරාක්‍රම සමූද්‍රයට ජලය ගෙන ආ පැරණි ආකාශ ගංගාව (යෝධ ඇළ) ආරම්භ වූයේ අංගම්මැඩිල්ල අමුණෙනි. ඒ අනුව මෙය ඉතා විශිෂ්ට නිර්මාණයක් ලෙසයි සැලකෙයි.

අංගම්මැඩිල්ල මෙරට ජාතික වන උද්‍යාන අතරට එක්වූ 20 වැනි වන උද්‍යානයයි. 2006 වසරේදී මෙය ජාතික වන උද්‍යානයක් ලෙස ප්‍රකාශයට පත් කොට තිබේ. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තමන්කඩුව හා හිඟුරක්ගොඩ ප්‍රා‘දේශීය ලේකම් බල ප්‍ර‘දේශ තුළ හෙක්ටයාර් 7500ක් පමණ භූමි ප්‍ර‘දේශයක් අංගම්වැඩිල්ල ජාතික වන උද්‍යානයට අයත් වෙයි.

මෙම වන උද්‍යානය කවුඩුල්ල හා මින්නේරිය යන ජාතික වන උද්‍යාන වලට සමාන පාරිසරික සමානකම් සහිතයි. ඒ නිසාම වල් අලින් බහුලව දැක ගත හැකි ජාතික වන උද්‍යානයක් ලෙස මෙය හඳුන්වාදීමට හැකිය.

එමෙන්ම අංගම්මැඩිල්ල වඩාත් ප්‍රචලිතව ඇත්තේ කුරුල්ලන් නැරඹීම සඳහායි. කුරුලු විශේෂ 150ක් පමණ මෙහි දැක ගැනීමට හැකි බව සඳහන් වෙයි. ඒ අතරින් මල්කොට්ටෝරුවා, හබන් කුකුළා, හිස කළු කොණ්ඩයා, ගිරා මලිත්තා, හබන් කුකුළා, කළු කෑදැත්තා, මොණරා, රාජාලියා, පහුරු මානාවා, දියකාවා, සුදු කොකා ඇතුළු පක්ෂීන් ප්‍රධාන තැනක් ගනියි.

මෙහි හමුවන සතුන් අතර අලියා ප්‍රධාන වන අතර ගෝනා, මුවා, මීමින්නා, වල් ඌරා, තිත්මුවා, දිවියා, වලහා වැනි සතුන් ද මෙහි දැක ගත හැකියි. මෙයට අමතරව අංගම්වැඩිල්ල ඔය ආශ්‍රිතව අව්ව තපින කිඹුලන් සුලභ දසුනක් බවට පත්ව තිබේ.

"අංගම්මැඩිල්ල" විශේෂිත වන තවත් සුවිශේෂී කාරණයක් වන්නේ මෙහි ඇති වටිනා වෘක්ෂයන්ය. පලු, වීර, මිල්ල, සියඹලා, කෝන්, බුරුත, දිවුල්, කළු මැදිරිය මෙහි බහුල වශයෙන් දැක ගත හකිය.

 

2017-09-13-ent-83

 

මෙවන් බොහෝ වැදගත් අංග රාශියකින් සමන්විත වන මෙම වන උද්‍යානයෙහි සංචාරය කරන ඔබට තවත් කදිම වූ අත්දැකීමකට මුහුණදීමට හැකියාව ලැබේ. ඒ මෙම වන උද්‍යානයේ ගලාබසින කුඩා ඔය පාරවල් දෙකක් එක්වන මහා ඔය නිර්මාණය වන ස්ථානයයි. මෙය මෙහි සංචාරය කරන කාහටත් මනස්කාන්ත වූ ස්ථානයක් ලෙස හඳුන්වා දීමට හැකිය.

එමෙන්ම මෙම ස්ථානය දිය නෑමට කදිම ස්ථානයකි. රූස්ස කුඹුක් ගස්වලින් වසා පැතිරී තිබෙන මෙහි පරිසරය සිසිල්ය. ජලය ඉතා සීතල බවක් ඇති අතර, අව්රශ්මියෙන් විඩාපත් වන ඔබට දියනෑමට විනෝදයෙන් කාලය ගත කිරීම අපූරු ස්ථානයකි.

මේ වනවිට සැලකිය යුතු සංචාරකයන් මෙහි පැමිණෙන අයුරු දැක ගත හැකියි. ඉන් බොහෝ දෙනෙකු ආහාර ගැනීමට, දියනෑමට හා විවේක සුවයෙන් කාලය ගත කිරීමට පුරුදුව සිටිති. එසේ පැමිණෙන බොහෝ දෙනා තමන් රැගෙන ආ අපද්‍රව්‍ය මෙහිම තබා ගොස් ඇති අයුරුද එහි යන්නෙකුට දැක ගැනීමට ද හැකියි. තවමත් කිලිටි නොවූ "අංගම්මැඩිල්ල" සුරැකීම ඔබ සතුයි. අනාගත පරපුරට "අංගම්මැඩිල්ල" දැක ගැනීමට සුන්දරත්වය අත්විඳීමට ඉඩහසර ඇති කිරීමට ඔබගේ වගකීමකි.

"අංගම්මැඩිල්ල" ජාතික වන උද්‍යානයට පරාක්‍රම සමුද්‍රය වේල්ල ඔස්සේ හා ගිරිතලේ බකමූණ පාර ඔස්සේ අත්තනකඩවල හංදිය ඔස්සේද ළඟාවීමට හැකිය.

 

ඡායාරූප විස්තර - ශාන් බන්දු වීරසිංහ

 

2017-09-13-ent-78 2017-09-13-ent-89  2017-09-13-ent-87 2017-09-13-ent-86 2017-09-13-ent-85 2017-09-13-ent-84  2017-09-13-ent-82 2017-09-13-ent-81 2017-09-13-ent-80 2017-09-13-ent-79