ශ්‍රී වික්‍රම රාජසිංහ රජු හැංගි සිටි උඩවලව්ව
විඩාබර තෙහෙට්ටු ජීවිතයෙන් මොහොතකට මිදී වෙනස්ම ආකාරයේ ගැමි දිවියක අමතක නොවන සුන්දර අත්දැකීමක් ගන්න මෙවර අපේ සංචාරය යෙදුනේ මී මුරේට මධ්‍යම කඳුකරයේ නකල්ස් කඳුපන්තියට මායිම්ව අති ශ්‍රී ලාංකීය ඉපැරණි ගති පැවතුම් සිරිත් විරිත් ආහාර ඇදහිලි විශ්වාස ආදී සිංහල සංස්කෘතියේ හරි අපූරු වූ ජීවන රටාවක් ගෙන යන ගැමියන් ජීවත් වන මී මුරය අති සුන්දර ගම්මානයකි.
දිය ඇලි මෙන්ම විශාල බෑවුම් කඳුමුදුන් අතුරින් ගමට යන මාර්ගය වචනයෙන් විස්තර කළ නොහැකි තරම් මනරම්ය.
මී මුරය ගම්මානයට පිවිසෙත්ම සතර අතින් දිස්වෙන ස්වභාවධර්මයේ අපූර්වත්වය සංචාරකයින්ගේ නෙත් සිත් පැහැරගන්නාසුළුය. දිය මතුපිට ලිස්සා යා හැකි සේ ස්වභාවිකව නිර්මාණය වූ දිය ඇලි ස්වභාවික නාන තටාක පිහිනුම් ක්‍රියාකාරකම්, රිසි සේ නැගිය හැකි කඳු පන්ති ගම්මැද්දේ ගොවිකම හා බැඳුණු ක්‍රියාකාරකම් සමග සොබාව සෞන්දර්යයේ මේ අපූර්ව නිමැවුම සංචාරකයින්ට ලබා දෙන්නේ පෙර නොවූ විරූ සොඳුරු අත්දැකීම් සමුදායකි.
දර්ශනීය කඳුවැටි සිපගෙන හමා එන සුළං රැල්ල ගමනේ වෙහෙස නිවනවා විතරක් නෙමෙයි හිත ආදරයෙන් පිරිමදිනවා වගේ. මී මුරය ගම මැදින් ගලාබසින දිඹිගොල්ලේ ඔය හීන් ගඟ වගේම මී මුරය ගමේ ඉඳලා කිලෝ මීටර් හතරක පමණ දුරින් වනාන්තරය ඇතුළට වන්නට පිහිටි අඩි දෙසීයකට විතර ආසන්න දිය කැරැල්ල මේ ගම්මානයට එක් කරන්නේ විශ්මයජනක චමත්කාරයකි. එමෙන්ම මී මුරයට ආවේණික දුම්බර කැහිබෙල්ලා, වගේම නීළ කොබෙයියා, පොළොස් කොට්ටෝරුවා, ගිරා විශේෂයන්ද ගල්පර මුවා, පළාපොළඟා, ඇහැටුල්ලා, දිවියා, ඕලුමුවා, ගෝනා වැනි සතුන්ද බහුලව සැරිසරන අතර එම කිසිදු සතෙකුගෙන් මිනිසුන්ට කෙදිනකවත් හානියක් කරදරයක් සිදුවී නැත. ගමටම ආවේණික ඖෂධ වර්ගද රැසකි. බිං කොහොඹ, මහහැඩයා කුඩා හැඩයා අරලු, බුළු, නෙල්ලි, නවහන්දි, මුරුරාජ වන රාජ ඒ අතරින් විශේෂය.
මී මුරේට ආරක්ෂාව සලසන කඳු රැසක් පිහිටා ඇත. හිරිගල් පොත්ත, ගොම්බෑණිය, නකල්ස්, දොතළුගල, කළු පහන, වමාරපු ගල, දුම්බානාගාරය, ලබු පැලැස්ස පතන, බටදනුලෙන, ඇඳිරිගල, උඩුවන්නිමාන අලුත් දෙයියන්ගේ ගල, ලකේ ගල යන ඒ කඳු පෙළ දර්ශනීය චිත්‍රයක් වැනිය. මින් මී මුරේ ගමේ අනන්‍යතාවය බඳු ලකේගල හෙවත් යකුන්ගේ ගල ගම්මුන් සලකන්නේ ගමට ආශිර්වාදයක් ගෙන දෙන දේවතාවියක් ලෙසිනි. රාමා සීතා පුරාවෘත්තයේ එන රාවණා දඬු මොණරය පැදවූ ගමන්මාර්ගයේදී ලකේගල මාර්ග සලකුණු කළ ස්ථානයක් ලෙසද ගම්මු සලකති.
ගමට අපූර්වත්වයක් ගෙන දෙන ‘තාලිකට’ නාන තටාංගය මී මුරයට එන සංචාරකයින් වඩාත් ප්‍රියකරන ස්ථානයයි. සුදු පෙණ පිඩු නගමින් පහළට ගලා හැලෙන විශාල දිය පහරේ පහළට ලිස්සා යා හැකි මෙම ස්ථානය ත්‍රාසජනක ජල ක්‍රීඩාවලට ප්‍රියකරන බොහෝ දෙනාට මිහිරි විනෝදයක් ගෙන දෙන්නකි.
ගම තුළ ඇති ඉපැරණි මී ගස මෙම ගමට සුවිශේෂිය. ගම්මුන් පවසන අන්දමට මේ මී ගසට අවුරුදු දෙතුන් සීයක වයසක් ඇත.
මී ගස නිසා මී මුරේ වූවාද කඳු වළල්ලෙන් වටවූ මිහිතලය ආරක්ෂා කරන මිහියෙන් මුර කරවූ යන අදහස ඇති බැවින් මී මුරය වූවාද කියා ගම්මුන් කිසිවෙක් නොදනිති. කෙසේ වුවද මී මුරේ ගම නිර්මාණය වීමට තවත් ජනප්‍රවාද රාශියක් තිබෙන බව ගම්මු පවසති.
කන්ද උඩරට රජකළ සිංහලේ අන්තිම රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ඉංග්‍රීසින්ගෙන් බේරී පළා යන්නටත් දුම්බර කඳුයායේ සැඟවී සිටින්නට රජු සැලසුම් කර තිබුණේ මී මුරේ බවද ගම්මු පවසති ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ බිසෝවරුන් සහ කුමරියන් සැඟවී සිටි මැද මිදුලක් සහිත වරිච්චි බිත්තියෙන් තැනූ වලව්ව අදටත් මී මුරේට පැමිණෙන සංචාරකයන්ට දැක බලාගත හැකිය. එය උඩවලව්ව ලෙස ගම්මු හඳුන්වති.
එසේම රාජසිංහ රජුගේ බිසෝවරුන්ට දිය නෑමට හැදූ කටු පඳුරේ ළිඳ අදටත් දැකගත හැකිය.
මී මුරේ සාමාන්‍ය කෘෂිකාර්මික ජීවන රටාවක් සහිත ගමක් වූ ඉතා වෙනස් විවිධ ප්‍රණීත ආහාර ගණනාවක රස බලන්නද සංචාරකයන්ට පුළුවන.
මඩු පිට්ටු කියන්නේ මීමුරේ ගමට ආවේණික ඉතා ප්‍රණීත උදෑසන ආහාරයක්. පහසුවෙන් සකසා ගන්න පුළුවන් මෙම ආහාරය දවසේ වැඩ කරන්න අවශ්‍ය ශක්තිය ඉක්මණින් ලබාදෙන ආහාරයක්. මඩු පිට්ටු, මඩු දළු මාලුව, වෙල්අල කොළ, අල කොළ මාළුව, දිය රොටි, කිරි රොටි, පුච්චපු බඩඉරිඟු කුසට ලැබුණු දිව්‍ය භෝජනයෝය. එමෙන්ම පිරිසිදු කිතුල් රාවලින් සප්පායම් වීමටත් මී මුරේ ගම්මානය කදිම තෝතැන්නකි.
2004 වසරේ සෝමරත්න දිසානායකගේ සිනමා නිර්මාණය සූරිය අරණේ බොහෝ දර්ශන රූගත කළ මී මුරේ ගම්මැද්දෙන් ගලා බසින දිඹිගොල්ල ඔය ජනප්‍රිය වීමත් සමග වර්තමාන මී මුරේ නව සංස්කෘතියක් බිහිවෙමින් තිබේ. ඒ අතර කෑම්ප් සයිට් මීමුරේට ඇදෙන තරුණ ගැටව් අතර ඉතා ජනප්‍රියයි.
මී මුරේ ගමේ මිනිසුන් හරිම අහිංසකය. සරලය, බොහෝ මිත්‍රශීලීය, ලෙන්ගතුය, ආගන්තුක සත්කාරයට අතිශය ලැදිය. බුලත් කහට පිරුණු දසන් විදහා නගන මේ ගම්මුන්ගේ අහිංසක සිනාව කිසිදා අමතක නොවන තරම්ය.
ඇත්තටම මී මුරේ කියන්නේ හැමෝම එන්නේ නැති හැබැයි හිතනවට වඩා හරිම නිදහස් තැනක්. ත්‍රාසය භීතිය සතුට විනෝදය රැගත් කිසිදා අමතක නොවන මී මුරේ අසිරිය වචනයට නැගීම අපහසුය. එය විඳිය යුතුමය. එහෙනම් මී මුරේට ගලේ බණ්‍ඩාර දෙයියන්ගේම ආරක්ෂාවයි. මේ නිස්කලංක පරිසරයට බාධාවක් නොවන විදිහට සෞන්දර්ය විතරක් අත්විඳලා පියසටහන පමණක් ඉතිරි කරලා එන්න අමතක කරන්න එපා.
නදීශා අතුකෝරළ