වේලි ඔයේ වේල්පට



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

අපේ රටේ සිවු මහා ගංගා වන මහවැලි කැලණි කළු වලවේ යන ගංගා උපදින්නේ සමනල කන්ද මුදුනේ සිට යැයි පී.බී. අල්විස් පෙරේරාගේ කවියක සඳහන්ය. එහෙත් මේ සිවු ගංගාවල සැබෑ ආරම්භය ඇත්තේ හෝටර්න් තැන්න සහ අවට වන පෙත් කඳුයාය වලය. හෝටර්න් තැන්නේ සිට ගලාගෙන එන වේලි ඔය වලවේ ගඟේ එක් ආරම්භක දිය දහරකි. ලෝකාන්තයේ සිට බේකර්ස් ඇල්ල වෙත යද්දී මේ දියදහර හමුවූ හැටි මතකය.

මේ වේලි ඔය ගලාගෙන ගොස් බඹරකන්ද මුදුනෙන් බිමට පනින්නේ සුදෝ සුදු වේල්පොටක් නිර්මාණය කරමිනි.

මේ වේල්පොට සොබාදහමේ නිර්මිත දිගම වේල්පොට යැයි  කිවහොත් එහි වරදක් නැත. හේතුව එහි උස අඩි 790 ක් වීමය.

අද ලංකාවේ උසම දිය ඇල්ල ලෙස සැලකෙන බඹරකන්ද දිය ඇල්ල වන මේ ‘වේලි ඔයේ වේල් පොට’ වූ කලී පුංචි පුංචි වීදුරු බෝලවලින් හැඩකළ සුන්දරම සළුවක් බව කිව යුතුමය.

මේ සුන්දරම හෝරාවේ මා රැඳී සිටින්නේ අන්න ඒ විසිතුරු විචිත්‍ර ‘වේල්පොට’ ඉදිරිපිටය.

මම එහි ඉහළ කෙළවර දෙස බලමි. මේ හිරු මුදුන් දහවලක් බැවින් මට පේන්නේ බඹරකන්දට ඉහළ රැඳී සිටින හිරු බෝලයයි. එහි ප්‍රචණ්ඩ රශ්මි දහරාවෙන් ඇස්වලට අපහසුවක් දැනුණෙන් මම වහා දෑස අඩි දෙතුන් සීයක් පහළට ගෙනාවෙමි. වේල්පොට හැඩ කළ අර පුංචි පුංචි වීදුරු බෝල මා දැක්කේ එවිටය. ඒ හැම වීදුරු බෝලයක්ම සැනෙකින් පහළට වැටෙයි. හැබැයි එසේ පහළට වැටෙන වීදුරු බෝලයක් බෝලයක් පාසා අලුත් අලුත් වීදුරු බෝල නිර්මාණය වෙයි.

ඒ වීදුරු බෝල අල්ලා එකතුකර ගෙන මල්ලක් පුරවා ගැනීමේ බොළඳ ළපටි ආශාවක් හිතේ ඉපදෙන්නේ ඇයි දැයි නොදනිමි. එහෙත් හිත කියන්නේම ඒ වීදුරු බෝල අල්ලා ගන්නා ලෙසය. එවිට ඒ වීදුරු බෝල මල්ල සිලිං බිලිං වැනි මිහිරි නාදයක් නගනු ඇත්තේය.
ඉතිං මම සැනින් වේල්පොට ළඟටම ගියෙමි. දෝත වේල්පොට වෙත යොමුකර වීදුරු බෝලවලින් දෝත පිරෙන තෙක් බලා සිටිමි.
හිසට මුහුණට පමණක් නොව මුළු ගතටම දැනුණේ සිහිලකි. ගත තෙත් වෙයි. දෝතට වැටෙන්නේ වීදුරු බෝල නොවේ. දිය බිඳුය.
ඉහින් කනින් වතුර බේරෙද්දී මම යළිත් වේල්පොටේ මැද්දට නෙත් යොමමි. වීදුරු බෝල ඕනෑ තරම් තිබේ.

මේ නම් පුදුමයකි. මෙතැන රකිනා අද්භූත බලවේගයක් බොහෝවිට බහිරවයෙක් විසින් වීදුරු බෝල වතුර බෝල කරනවාවත්දැයි මට සිතුණි.

මම වේල් පොටේ වීදුරු බෝල උපදින තැන සිට ටිකින් ටික නෙත් පහළට ගෙන එමි. අර වීදුරු බෝල අතුරුදන් වන්නේ එක් වරමය. එතැන බහිරවයාගේ නිවෙස වියයුතුය. වීදුරු බෝල සියල්ල වතුර බෝල බවට පත්වෙයි.

හොඳටෝම නැහැවුණු මම ඇල්ල අසලින් මදක් ඔබ්බට ගොස් අව්ව වැටෙනා තැනක නතර වීමි.

සියල්ල මට වැටහෙමින් තිබේ. අර කඩා වැටෙන්නේ වීදුරු බෝල නොවේ. කඳුමුදුනේ සිට වැටෙන වතුර පාරට හිරු එළිය වැටෙන විට වතුර බෝල වීදුරු බෝල ලෙස පෙනෙයි. හිරු එළිය නොවැටුණු විගස වීදුරු බෝල වතුර බෝල මෙන් පෙනෙයි.

සොබාදහමේ අපූරුව.

මෙම ආශ්චර්යය ලියා තබන්නට අවශ්‍ය වචන සොයමින්ම මම නැවත නැවතත් දෙනෙත අඩි 790 ක් පුරාවටම ඉහළට ද පහළට ද ගෙනෙමි.

ලෝකයේ ලස්සනම කවිය ඇත්තේ මෙතන යැයි මගේ සිත කොඳුරා කියයි.

ඇත්තටම දුඹුරු පැහැගත් ඍජු ගල් බිත්තියකට ඇලී ගෙන පහළට වැටෙන වේලි ඔයේ දිය දහර දිය ඇල්ලක් නොවේ. වේල් පොටකි. දුඹුරු පසුබිමේ එය පැහැදිලි සුදු පැහැතිය ඊළඟට අවට ඇත්තේ හරිත පැහැගත් වනගහනයකි. කොළ දුඹුරු සහ සුදු පාට පමණක් ගෙන සොබා දහම් සිත්තරා නිර්මාණය කළ චිත්‍රයකි.

මම ඒ චිත්‍රයට කවියක් ලියන්නට වෙහෙසෙමි. එහෙත් ඊට සුදුසුම මිහිරිම වචන කිසිවක් මා සතුව නැත.

එනිසාම මම කවිය නොලියා ඉතිහාසයේ සඳහන් පුවතක් දෙකක් පමණක් ලියා තබමි. අතීත සිංහල රජදරුවෝ තම රාජ්‍යයේ ආරක්ෂාව වෙනුවෙන් මේ කඳුකරය යොදාගත්තේය. ඉංග්‍රීසිහු උඩරට රාජ්‍යය ආක්‍රමණය පිණිස පැමිණ මිටියාවතේ කඳවුරු බැඳගත්හ. පසුදා උදෑසනින්ම කන්දට නගින අරමුණ ඔවුන් සතුවිය. රැය පහන් විය. උදෑසන හිරු එළිය වැටෙන විටම ඔවුන් දුටුවේ කඳු මුදුනෙහි රැඳී සිටි සිංහල සේනාවයි. ඔවුන්ගෙන් මිදුණු ඊතලයක් දෙකක් කඳවුරු භූමියට පතිත විය. ඉංග්‍රීසීහු කළේ කඳුමුදුනේ රැඳී සිටි සිංහල හමුදාවේ හැම භටයකුටම වෙඩි තබා මරා දැමීමය. අන්තිමේ දී ඉංග්‍රීසින්ගේ තුවක්කු නිහඬ වූයේ වෙඩි බෙහෙත් අවසන් වූ නිසාය. එවිටම කඳු මුදුනෙන් පමණක් නොව මිටියාවතෙන් ද සිංහල හේවායෝ මතුවූහ.

ඔවුන්ගේ විෂ පෙවූ ඊතල එකක් පසු පස එකක් විත් ඉංග්‍රීසි හමුදා ඛණ්ඩයම සමූල ඝාතනය විය. ඒ වනවිටත් කඳු මුදුනේ සිටි හේවායින්ගෙන් ඉතිරිව සිටි එකා දෙන්නා අතක් පයක් පවා නොසොල්වා පෙර සේම බලා සිටියහ. ඒ පඹයන්ය. හේවායන් මෙන් වෙස් ගැන්වූ පඹයන්ය. එදා වේලිඔයේ වේල්පොටට පහළින් වූ ජලධාරාවට ඉංග්‍රීසි හේවායන්ගේ ලේ බිඳු ද මුසුවී ගලා ගොස් වලවේ ගඟට වැටෙන්නට ඇත.

කලින් තෙතබරි වූ ඇඳුම් දැන් තරමක් වේලී තිබේ. එබැවින්ම මම වනපෙත අතරින් වැටුණු අඩි පාර දිගේ ඉහළ නගින්නට තීරණය කළෙමි. වේල්පොටට වම් පැත්තෙන් එකට වෙලී ගුලිවී සිටින පෙම් යුවළ මගේ නෙත ගැටුණේ ඒ මොහොතේය. එය ද සොබාදහමේ නිර්මාණයකි. කාලාන්තරයක් තිස්සේ අව්වට වේලුණු වැස්සට තෙමුණු ඒ ගල් ශිඛරය පෙම්වතුන්ගේ කැටයමක් මෙන් පෙනෙන හැටි අපූරුය.

මේ අගෝස්තුව නොවේ අගෝස්තුව වී නම් මේ පරිසරයේ තිබෙන්නෙ වෙනම හැඩයකි. සුළඟේ ඝෝෂාව හතර පැත්තෙන්ම ඇසේ. වන වදුලේ තුරුලතා අතරින් හමන සුළඟ බඹරකන්දේ වැදී දෝංකාර දෙයි.

විශ්වාස කරන්න.

අගෝස්තුවේ සුළඟ එපමණටම වියරුය. එනිසාම අතීතයේ සිංහල රජ දවසේ මිනිසුන් මෙතැනට කීවේ සුළංතොට කියාය. ඉපැරණි සුපතල  කවියකු වූ වීරකෝන් මුදලි වාසය කළේ ද මේ ඊමමය. මෙතැනට  සුළං තොට වැනි නිර්මාණශීලී නමක් දෙන්නට ඇත්තේ ඔහු වීමට ද බැරි නැත.

කෙසේ වෙතත් වැඩි දෙනෙක් එදා සුළංතොට වෙනුවට කීවේ දුල්තොට කියාය.

එනිසාම කාලයක් මේ දිය ඇල්ල හැඳින් වුණේ ද දුල්තොට ඇල්ල යනුවෙනි.

 එහෙත් පසුකලෙක බඹරුන් රොද බැඳී ඔවුන්ගේ කූඩු මේ කන්දේ තැන් තැන්වල බැඳගත්හ. සුළං තොට දුල්තොට වූ පරිද්දෙන්ම මිනිසුන්ට මේ කන්ද බඹරකන්ද බවට ද පත්විය. අද දුල්තොට භාවිතයේ නොමැත. ලෝකයටම මෙතැන බඹරකන්දය.

මම කන්ද නගිමි. මීටර් දෙසීයකටත් වඩා වැඩිවූ මේ දුෂ්කර ගමන යා යුත්තේ සොඳුරු ගස් කොළන් අතරිනි. ලියන්, මිල්ල, දඹ, පිහිඹිය, හැඩවක, ගිනිතොට වැනි දේශීය ශාක වර්ග මෙහිදී හඳුනාගත හැකිය.

විටෙක පය ලිස්සා යයි එවැනි මොහොතක මගේ පිහිටට වූයේ වැලක් පමණි. නමක් නොදන්නා ඒ වැලේ එල්ලී නොවැටී බේරුණෙමි. එහෙත් ඒ සමගම දෝතට දැනුණේ රිදුමකි. මම වැල අත හැරියෙමි. වැල කටු සහිත එකකි. ඒ කටුවලට මගේ අත සිදුරු වී ලේ මතු වෙමින් තිබිණි.

කෙසේ හෝ වේවා අවසානයේ මම කන්ද නැග්ගෙමි. මේ වේලි ඔය සමීපවම දැක ගත හැකි මොහොතය. වේල්පොට කඩා හැලෙන ආරම්භක ස්ථානය දැකගත හැකි මොහොතය.

ගල් අතරින් ඇඹරි ඇඹරී ලැසිගමනින් එන වේල්ඔයේ සුන්දරත්වය දැකගත හැකි මොහොතය.

ඊටත් වැඩියෙන් පහළ මිටියාවතක සුන්දරත්වය දැකගත හැකි මොහොතය.

මේ සොබාදහමේ තවත් විචිත්‍රම සිත්තමකි. හරිත පැහැති වන ගොමුවයි. තැනින් තැන ජලාශය ඒ අතරේ සමනල වැව ජලාශය ද නෙතට හසුවෙයි. එහෙත් කඳුයායක් මැද හුදෙකලා වූවෙකුගේ හිතට දැනෙන බිය නොදැනෙන්නේ අඩිපාර දිගේ ඉදිරියටම ගියොත් ඔහියටත් ආපසු ගියොත් කළුපහනටත් යා හැකි බව හිත දන්නා නිසාය. එහෙත් මම ඒ පාරවල් දෙකෙන් එකක්වත් තෝරා නොගනිමි. තවත් හෝරාවක් වත් මෙතනම සිටිමි.

සොබා සිත්තමට ගැලපෙන මිහිරිතම කවිය ලිවීම මගේ එකම පැතුම වන නිසාය.

ශාන්ත කුමාර විතාන