ජල දුර්ග හමුවෙන කැළණී ගගේ කිතුල්ගල



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

කිතුල්ගල තානායමට පිටුපසින් ගලායන්නේ සුන්දර කැලණි නදී කොමලියයි. කිතුල්ගල පසුකර යන බොහොමයක් සංචාරකයන් මේ තානායම ළඟ නවතින්නේ නාන තොටුපොළ තිබෙන්නේ එතැන නිසාය. ඇත්තම කිව්වොත් මේ නාන තොටුපොළෙන් කැලණි ගඟට බැස වරක් හෝ දිය නොනෑ කෙනෙක් අපේ පුංචි රටේ සිටින්නට බැරි තරම්ය. 

ඒ තරමටම මේ නාන තොට ජනප්‍රියය. 

මෙතැන තුං මංසලක් වීමද විශේෂත්වයකි. ඒ දකුණු පසින් ගලා එන තවත් අතු ගංගාවක් කැලණි ගඟ සමඟ අතිනත ගැනීම නිසාය.
මෙතැන ගඟ පළල් වුවද ගැඹුරින් අඩුය. ඒ නිසා මරණ බිය අමතක කර නිදහසේ සුවසේ දිය නාන්නට පුළුවන. 

ගඟ මැදට වී මෙසේ දිය නාමින් සිටින අතරේ ගඟ ඉහළ සිට එන ඩිංගි බෝට්ටුවකට පහළට යන්නට ඉඩදීමටද සිදුවේ. පසෙක ඇති වැලි කන්දකට නැගී අර බෝට්ටුවෙන් යන ත්‍රාස ලෝලීන්ට අතක් ඔසොවා සුබ ගමන් පතන්නටද පුළුවන. 
මේ ත්‍රාස ලෝලීන් යනු කවුදැයි යන්න දැන් ඔබට ප්‍රශ්නයක් විය හැකිය. 

ඇත්ත වශයෙන්ම ඒ වයිට් වෝටර් රාෆ්ටිං ක්‍රීඩාවේ යෙදෙන්නවුන්ය. 

වයිට් වෝටර් රාෆ්ටිං යනු සුදු පෙණ දිය මත ලිස්සායාම ලෙස සිංහලෙන් පැවසිය හැකිය. ඉකුත් සියවසේ මැද කාලයේ එනම් 1970 දී පමණ ඇමරිකා එක්සත් ජනපදයේදී උපත ලද රාෆ්ටිං හෙවත් ගඟ දියේ ලිස්සා යෑම මේ වනවිට ලෝකය පුරා ජනප්‍රියව ඇති ක්‍රීඩාවකි. ඒ කොයිතරම් ද යත් ලෝකයේ ගංගා 174 ක් ආශ්‍රිතව රාෆ්ටිං ක්‍රීඩාව කෙරෙයි. විශාල පිරිසකගේ මන ලෝල කරන රාෆ්ටිං සුවිශේෂි සංචාරක ආකර්ෂණයක්ද වෙයි. රාෆ්ටිං ක්‍රීඩාවේ යෙදෙන්නටම සමහරු ලොව පුරා සංචාරය කරයි. 

රාෆ්ටිං සඳහා ලංකාව තුළ ඇත්තේ එකම එක තැනකි. එය නම් කිතුල්ගලයි. 

කළුගල නම් ස්ථානයෙන් ඇරඹෙන ඩිංගි බෝට්ටුවේ ගමන කිලෝ මීටර් පහමාරක දුරක් ගෙවා අවසන් කෙරෙන්නේ මෙතෙක් වේලා කී කිතුල්ගල නාන තොටුපොළට මඳක් පහළිනි. මේ දුර පරාසය තුළ කිරි පෙණ නංවමින් පහළට වැටෙන පුංචි දිය ඇලි නැත්නම් ජල දුර්ග හතක් තිබේ. මේ දුර්ගයෙන් දුර්ගයට වැටෙන ඩිංගි බෝට්ටුව එසේ වැටෙන හැම වාරයක් පාසා සංචාරකයා බියෙන් ත්‍රාසයටත් එමගින්ම ප්‍රීතිප්‍රමෝදයටත් පත් කරයි. 

කළුගලෙන් කැලණි ගඟට එක්වන ඩිංගි බෝට්ටුව වූ කලී ඝනකම් පත්ලක් සහිත රබර් බෝට්ටුවකි. හබල් කරුවන් හතර දෙනෙකුගේ සමූහ පාලනයකට අවනත කෙරෙන මේ ඩිංගිය කැලණි ගඟේ ජල දුර්ග කරා යොමුකර වීමම දුෂ්කර ප්‍රයත්නයකි. එහෙත් මේ හබල් කරුවන් ඒ කටයුත්තටම මනා ලෙස පුහුණුව ලද අත්දැකීම් බහුල උදවියයි. 

මේ ගමනේදී හමුවන දුර්ග හතටම නම් හතක් දී තිබෙන්නේද ගමනට සුන්දරත්වයක් එක් කරන්නටය. නැත්නම් මේ හැම ජල දුර්ගයක්ම කිරි පෙණ විසිරුවන පුංචි පුංචි ඇල්ලක් පමණක් වන නිසාය. 

මේ ගමනේදී මුලින්ම හමුවන ජල දුර්ගය ටීසර් නමි. එතරම් ගැඹුරක් නැතිනම් උසක් නොමැති බැවින් මේ දුර්ගය තරණය කිරීමේදී ලැබෙන අත්දැකීම ඉදිරියේදී හමුවන උසැති දුෂ්කර ජලදුර්ග තරණය කිරීමට ශක්තියක් වේ. 

ටීසර් දුර්ගය පසුකර යළිත් නිසල දියේ ටික දුරක් යාත්‍රා කරන්නට ලැබීම හිතට අස්වැසිල්ලකි. එහෙත් ඊළඟට හමුවන්නේ එසේ මෙසේ ජල දුර්ගයක් නොවන බව නමින්ම හැඟවේ. වර්ජින්ස් බ්‍රෙස්ට් නැතිනම් කන්‍යා පියයුරු නමින් මේ ජල දුර්ගයට නම් දී තිබේ. පියයුරක හැඩය ගත් උසැති ගල් දෙකක් මැදින් සුදෝ සුදු දිය දහර ගලන්නේ කිරිපෙණ විසුරවාලමිනි. අන්න එතැනින් ඩිංගිය පහළට ඇදෙන්නේ. අර පියයුරු වලද තෙරපෙමිනි. එසේම බෝට්ටුව මධ්‍ය නිම්නය කරා නිවැරැදිවම යොමුකරන්නට නම් අර පියයුරු වලට හබල තබා තදකරන්නට සිදුවෙයි. මේ දෙපියයුරු ගල් බැවින් හබල් පහර දරා සිටීමට තරම් සවිමත් වීම වාසනාවකි. 

බෝට්ටුව නිවැරැදි ඉලක්කයටම නොගතහොත් එය මේ දෙපියයුරු අතර මොහොතක් හිරවී පවතින්නටද හැකිය. මන්ද යත් බෝට්ටුවේ පළලත් දෙපියයුරු අතර ඉඩ ප්‍රමාණයත් සමාන වන බැවිනි. 

හැබැයි මේ ජලදුර්ගය අතිශයින්ම අලංකාරය. දෙපියයුරු මැදින් වූ නිම්නයෙන් මතුවන සුදුම සුදු පෙණ පිඬු මවන්නේ අපූරුතම චමත්කාරයක් වන බැවිනි. එහෙත් ඒ චමත්කාරය විඳින්නට ලොකු කාලයක් ලැබෙන්නේ නැත. ඩිංගිය ගඟ දියේ පහළට ඇදීයන නිසාය. හබල් නොගෑවත් ගඟේ සැඩ පහර විසින් ඩිංගිය ගඟ පහළට රැගෙන යයි.

ඊළඟ දුර්ගය මෙතෙක් පසුවූ ජල දුර්ග දෙකටම වඩා අමාරු එකකි. බටර් ක්‍රන්ච් ෆෝටර් ලෙස නම්කර ඇති මේ දුර්ගයේදී බොහෝ විට බෝට්ටුව අනෙක් පැත්ත පෙරලෙන්නට ද පුළුවන. ඒ තරමටම මේ දුර්ගය දුර්ගයකි. එසේ වුවත් බිය විය යුතු නොවේ. හිසට හානියක් නොවන පරිදි හෙල්මට් පැළඳීමත් නොගිලෙන පරිදි ආරක්ෂක කබා පැළඳීමත් නිසාය. සිදුවන එකම දෙය ගත වතුරෙන් තෙත බරිත වීම පමණකි. එහෙත් රාෆ්ටිං ක්‍රීඩාවේ යෙදේ නම් අනිවාර්යයෙන්ම තෙමෙන්නටද සිදුවන බැවින් මේ තෙමීම ප්‍රශ්නයක් වන්නේ නැත. කෙසේ වෙතත් ගඟේ වතුර අඩු කාලයට බෝට්ටුවේ අනෙක් පැත්ත පෙරලීම සිදුවන්නේ එහෙමත් අවස්ථාවකය. 

ඊළඟ ජලදුර්ගය කිලර් ෆෝල් නමි.

මරණයේ ඇල්ල යන අරුතැති මේ ජල දුර්ගයට එබඳු නමක් දුන්නේ ඇයි දැයි නොදනිමි. සමහර විට ත්‍රාස ලෝලීන්ගේ හිතේ තිගැස්ම වැඩි කරන්නට විය යුතුය. මේ ජල දුර්ගයෙන් ඩිංගිය පහළට වැටෙද්දීත් එය අනෙක් පැත්ත පෙරළීමේ සම්භාවිතාව වැඩිය. එහෙත් හබල් කරුවන්ගේ දක්ෂකම වන්නේ ඩිංගිය නොපෙරළී පැන්නවීමය. 

මේ ජල දුර්ගයට මරණය ගෑවීමටද හේතුවක් තිබේ. ජල දුර්ගය ඇරඹෙන ගලට යටින් තවත් දිය පහරක් ගලා එයි. එවිට යම් හෙයකින් යම් කිසිවෙක් මේ දුර්ගයේදී ඩිංගියෙන් ගඟට වැටුණොත් ඔහු සංසුන් ලෙස පහළට ඇදී යන්නේ නැත. ගලට යටින් ගලන වේගවත් ජල පහරට අසුවී කරකැවෙන්නට වෙයි. එසේ වූ විට ඔහුට සිදුවන්නේ මරණය සමඟ සටන් කරන්නටය. බැරිවෙලාවත් ආරක්ෂිත කබාය පැළඳ නොසිටියහොත්  මරුවා සමඟ කරන පොර බැදිල්ල වඩාත් අමාරුවන්නේය. 

මාරයාගේ ග්‍රහණයෙන් ගැලවුණු පසුව හමුවන්නේ වයිට් ක්වාටර් ජල දුර්ගයයි. හැබැයි මෙය කිලර් පෝල් හෝ බටර් ක්‍රන්ච් හෝ තරම් භයානක නොවේ. එයට වයිට් යන නම දී ඇත්තේද ඒ නිසාය. 

මින් එපිට ගංඟාව සංසුන්ය එහෙත් ගැඹුරුය. ගල් නැති බැවින් ජල දුර්ග කිසිවක්ද හමු නොවේ. ඒ නිසා මෙතැන් පටන් ත්‍රාස ලෝලීන්ට ලැබෙන්නේ විවේක කාලයකි. මේ විවේකය ගත කළ හැක්කේ ඩිංගියෙන් ගඟට පැනීමෙනි. හැබැයි මේ ඉසව්වේ ගඟ මොනතරම් ගැඹුරුදැයි කිවහොත් ගඟ මැද සිටගන්නටවත් නුපුළුවන. එහෙත් ජීවිතාරක්ෂක කබායට පින්සිදුවන්නට ත්‍රාසලෝලීන් කිසිවෙක් ගඟේ ගිලෙන්නේ නැත. ඒ වෙනුවට උඩුකුරු ලෙස ගඟ දියේ දිගාවීමට නැත්නම් ගඟ දිය මත සැතපීමට පුළුවන. ගඟ ගලන වේගයට අනුව ත්‍රාස ලෝලියාවද පහළට පහළට ඇදී යයි. 

එය වෙනස්ම අත්දැකීමකි. වෙනස්ම වින්දනයකි. ගඟ දිය මත පාවීම මොනතරම් අපූරුද? නිල් අහස යට පර්වත වලකුළු මවන සුන්දර සිත්තම් නරඹමින් සංසුන්ව පාවී යාහැකිය. හැබැයි ඉර මුදුන් හෝරාවක නම් ඉර එළිය කෙලින්ම වැටෙන්නේ මුහුණටය. හිරු බෝලයද ඇසටම ඉහළින් නම් ඇසට දැනෙන්නේ වෙහෙසකි. 

කිලෝමීටර් දෙක තුනක් මෙසේ පාව ගිය පසු යළිත් ගල් හමු වෙයි. ඒ ගල් වලින් ගඟ පහළට පනින්නේ ජල දුර්ග මවමිනි. එසේ නම් මේ යළිත් ඩිංගියට ගොඩවන්නට කාලයයි. මින් ඔබ්බට ඩිංගිය ඇදී යන්නේ ගඟ මැද ඇති දූපතක් අද්දරිනි. පේර කැටිය ලෙස නම් ලද මේ දූපත පසුකර ටික දුරක් ගියවිට කිතුල්ගල නාන තොට හමුවෙයි. ගඟ මැදට වී නාන උදවිය ඩිංගියට පහළට යන්නට ඉඩදී පසෙකට වෙති. 

ඔවුන්ට අත වනා අපි තවත් ඉදිරියට යන බව ඔවුන්ට පැවසීමද සතුටකි. 

හැබැයි එමොහොතේ අපේ ගමන ඉතාම කෙටි බව දැනුණා නම් හිතට එන්නේ දුකක්මය. 

එහෙත් කළ හැකි දෙයක් නැත. තව ඇත්තේ එකම එක ජල දුර්ගයකි. එහි නම රාෆ්ටර්ස් රැපිඩ් ය. සිංහලෙන් කිවහොත් පාරුකාරයාගේ දුර්ගයයි. මේ ජල දුර්ගය නිමා වූ පසුව ඩිංගිය ගං ඉවුරට ළංවෙයි. ඉවුරේ නතර කළ පසුව ත්‍රාස ලෝලීහු එකිනෙකා ඩිංගියෙන් බැස ගනිති. 

මේ චාරිකාවකට යටත් පිරිසෙයින් පැය තුන හමාරක් පමණ ගතවෙයි. මේ එද්දී හමුවන තවත් සුවිශේෂ ස්ථානයක් ගැනද ලියා තැබිය යුතුය. ඒ ක්වායි ගඟේ පාලමය. ක්වායි ගඟේ පාලම යනු බටහිර ලෝකයේ ජනප්‍රිය වූ චිත්‍රපටයකි. එහි එන එක් දර්ශනයක් වන්නේ ක්වායි ගඟේ පාලම පුපුරුවා හැරීමයි. ඉතින් මේ පාලම තනා තිබුණේ කැලණි ගඟ හරහාය. 

ඩිංගියෙන් බැස ආපසු කැලණි ගඟ දෙස බලනවිට පෙනෙන්නේ සංසුන්ව ගලායන ගංගාවයි. මේ ගඟ මෙතෙක් දුර ආවේ මොන තරම් භයානක ජල දුර්ග අතරින්දැයි සිතන විට ත්‍රාස ලෝලියකුගේ වුවත් හද ගැස්ම වැඩිවන්නේය. ආයේමත් දවසක් රාෆ්ටිං කරනවාදැයි සිතන්නට තවමත් වේලාසන වැඩිය. දැන් අවශ්‍ය වන්නේ සීතලේ ගැහෙන ගත උණුසුම් කර ගැනීමට හා බඩ පුරවා ගැනීමටය. 
ඔය අහු අස්සේ අපට අලුත් පාඩමක්ද ඉගෙන ගත හැකිය. ඒ ජීවිතය සම්බන්ධයෙනි. ඇතැම් විට ජීවිතයටද ගැටලු එයි. ඒ ගැටලු හරියට අර ජල දුර්ග වැනිය. අප කළ යුත්තේ ජීවිත යාත්‍රාව හරියටම ජල දුර්ගය අතරින් ඉදියට පදවා ගැනීමය. යාත්‍රාව යම්තමට ඇලවිය හැකිය. වතුර පිරෙන්නටද පුළුවන. හැබැයි එය නොපෙරෙලී තබා ගත යුතුය. 

එක් දුර්ගයකින් එතෙර වූ විට මද අස්වැසිල්ලක් ලැබේ. හැබැයි දුර්ග අවසන් නොවේ. 

ජීවිතය ප්‍රශ්න පත්‍රයකැයි කියති. මේ හැම ප්‍රශ්නයකටම සාර්ථකව මුහුණ දුන් පසුව දිනෙක එළඹෙන්නේ ප්‍රශ්න අවම වූ ජීවිතයකි. ඒ ජීවිතයද ජල දුර්ග අවසන සංසුන්ව ගලායන ගංගාව වැනිය.